Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැක්රොන් පිස්සෙක් ද?

තුර්කි ජනාධිපතිවරයා වන තයියිප් එර්ඩොගන් මහතා විසින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා අතිශය පිළිකුල් සහගත ලෙස හෙළා දැක තිබේ. ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ මැක්රොන් හට නියත වශයෙන් ම මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන බව ය. 

මේ සියලු අලකලංචි ආරම්භ වූයේ ප්‍රංශයේ සිදු වූ මරණයකින් පසු ය. එරට පාසල් ගුරුවරයෙකු වූ සැමුවෙල් පැටී නමැත්තා එක් දිනෙක සිය පන්තියේ දී ඉස්ලාමීය ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමාගේ ඡායාරූපයක් සහිත කාර්ටූනයක් ළමුන් හට පෙන්වමින්, මඳක් විහිළුකාරී අන්දමින් අදහස් ප්‍රකාශ කර තිබේ. මෙයින් කෝප වූ ඉස්ලාම් සිසුන් කිහිප දෙනෙකු එකතු වී එම ගුරුවරයා හිස ගසා මරා දමා තිබේ. මේ වන විට එම අපරාධයට ඍජු ව සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු ඇතුළු තවත් හත් දෙනෙකු රිමාන්ඩ් භාරයේ සිටින අතර, ඝාතකයා වූ 18 හැවිරිදි අබ්දුල්ලාක් අන්සොරොව්, අදාළ මිනීමැරුමෙන් පැය කිහිපයකට පසු පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය. කෙසේ වුවත් අකාලයේ මරා දැමුණු සැමුවෙල් පැටීගේ මළගමට සහභාගී වූ ජනාධිපති මැක්රොන්, එහි දී සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ මිය ගිය පැටී මහතාගේ ක්‍රියාකලාපයේ කිසිදු වරදක් තමා නොදකින බව ය. 

ඉස්ලාම් නීතියට අනුව නබීතුමාගේ හෝ අල්ලාහ් දෙවියන්ගේ කිසිදු ඡායාරූපයක් කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධ නොකළ යුතු ය. එහෙයින් පැටී මහතා කළ දෙය වැරදි බව ප්‍රකාශ කරන තුර්කි ජනාධිපතිවරයා කියා සිටින්නේ එවැනි දෙයක් අනුමත කළ මැක්රොන් ද පිස්සෙකු බව යි. යුරෝපයේ වැඩි ම ඉස්ලාම් ජනගහණයක් ජීවත් වන ප්‍රංශයේ එම ගහණය 10%ක් පමණ වෙයි. එර්ඩොගන් කියා සිටින්නේ මෙසේ ය. 

“කිසියම් ආගමිකයන් පිරිසකට සිය විශ්වාසයන් ආරක්ෂා කිරීමේ නිදහස ලබා නොදෙන, වෙනස් ඇදහිල්ලක සාමාජිකයන් වන තම රටේ වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවක් පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති ආකාරයෙන් හැසිරෙන රාජ්‍ය නායකයෙකු සම්බන්ධයෙන් වෙන කුමක් කිව හැකි ද? මේ මැක්‍රොන් නම් පුද්ගලයාට ඉස්ලාමය හා මුස්ලිම්වරුන් පිළිබඳ ඇති ගැටලුව කුමක්ද?”

එහෙත් ප්‍රංශය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ප්‍රංශයේ ජාතික අනන්‍යතාවයේ කේන්ද්‍රය වන්නේ රාජ්‍ය ඒකත්වය වන බැවින් එක්තරා ප්‍රජාවක හැඟීම් ආරක්ෂා කිරීම සඳහා සියලු ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැඬපැවැත්වීමෙන් රටේ සමඟිය අඩපණ වන බව රජය පවසයි.

“ජනාධිපති එර්ඩෝගන්ගේ අදහස් අපට පිළිගත නො හැකි ය. ආගමික හෝ වෙන යම් ගැටලුවක් සම්බන්ධයෙන් හෝ මිනීමැරීම යනු නිවැරදි ක්‍රමවේදයක් නොවේ. එර්ඩෝගන් හා ඔහුගේ මූලධර්මවාදීන් හට සිය ගමන් මඟ වෙනස් කර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම ගමනේ අනාගතය සෑම අතින්ම භයානක ය.”