Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මළවුන්ගෙන් නැගිටි කිම් ජොන් අන්.

මිය ගොස් ඇති බවට සැක කෙරුණු උතුරු කොරියානු නායක කිම් ජොන් අන් නැවත සබයට පැමිණ සිටියි. 

ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ අප්‍රේල් මස 12 වන දින ය.  එයින් පසු දින විස්සක් පමණ සැඟවී සිටි ඔහු මිය ගිය බවට ලොව සිව් දෙසින් ම ආරංචි පළ විය. එහෙත් දින කිහිපයක් ගත වන තුරු උතුරු කොරියාව ඒ පිළිබඳ කිසිදු අදහසක් දැක්වූයේ නැත.

මීට මාස කිහිපයකට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වූ බවත් අධික ස්ථූල භාවය හේතුවෙන් දියවැඩියාවෙන් ද පෙළුණු බවත් කොරියාවෙන් කියවිණි. තව ද ඔහු පසුගිය මාසයේ දී දිය යට සිදු කෙරුණු හදවත් සැත්කමකට ද භාජනය වූ බව ඔත්තු සේවා අනාවරණය කළේ ය. 

මෙම සැත්කමින් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිවක් සඳහන් කිරීමට උතුරු කොරියානු රජය උත්සාහ කළේ නැත. කිම් ජොන් අන් කිසිවෙකුට හෝ පෙනී සිටීම සඳහා පිටතට පැමිණියේ ද නැත. බොහෝ දෙනෙකු සැක කළේ ඔහු මිය ගොස් ඇති බව ය. ඒ පිළිබඳ අදහස් පළ කළ දකුණු කොරියාව කීවේ කිම් ජොන් මිය නොගිය බවත්, ඔහු කොරෝනා වෛරසයට බියෙන් සැඟවී සිටින බවත් ය. 

කෙසේ වුවත් කිම් පරම්පරාවට අතිශය වැදගත් උත්සවයක් වූ එරට ආදි කර්තෘවරයාගේ උපන් දින උත්සවයටවත් ඔහු සහභාගි වූයේ නැත. ජීවතුන් අතර සිටියා නම් රෝද පුටුවක නැගී හෝ ඊට සම්බන්ධ වීම මඟ නොහරින කිම් ජොන්ගේ අතුරුදන් වීම ලොව පුරා අවධානයට ලක් වූයේ එතැන් පටන් ය. කෙටියෙන් කියතොත් ඔහු මිය ගිය පසු බලයට පත් වන්නේ කවුරුන්ද යන වග කතා බහට ගැනීමට තරම් ජාත්‍යන්තර මාධ්‍ය නිර්භීත විය. කිම් ජොන්ගේ පරම්පරාගත පාලනය අනුව මීළඟට ඔහුගේ වැඩිමහල් පුතු පත් විය යුතු වුව ද, ඔහුට තවම වයස දහයක් වන බැවින් භාරකාර ආණ්ඩුවක් යටතේ කිම් ජොන්ගේ නැගණිය වන කිම් යෝ ජොන්ග් බලයට පත් වනු ඇති බවට අනාවැකි පවා පළ කෙරිණි. 

පැතිර යන කටකතාවල සත්‍ය අසත්‍යතාව සොයා බලනු පිණිස වඩාත් යුහුසුළු වූයේ ඇමරිකා එක්සත් ජනපදය යි. ඔවුන් ඒ සඳහා ඔත්තු සෙවීමේ ගුවන් යානා පහක් ද (බීච්ක්‍රොෆ්ට් ආර්.සී. 12 යානා තුනක් හා ඊ.ඕ. 5සී ක්‍රේසි හෝක් යානා දෙකක්) යොදවා තිබිණි. සිය රටෙහි කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවා යමින් තිබියෙ දී එම වසංගතය අවම කිරීමට හැකි ආකාර සොයා නොබලා, අනුන්ගේ කිල්ලෝටවල හුණු සෙවීමට ඇමරිකාව ගත් වෑයම ලොව පුරා හාස්‍යයට ලක් විය. 

ස්වභාවයෙන් ම උතුරු කොරියාව යනු තමන්ගේ ගිනි පිටට නොදෙන, අනුන්ගේ ගිනි ගෙට නොගන්නා රටක් වන බැවින් කිම් ජොන් අන්ට සිදු වූයේ කුමක් ද යන්න සොයා බැලීම බොහෝසෙයින් දුෂ්කර විය. ජාත්‍යන්තරයේ විමසිලිමත් දෑසින් හිරිහැරයට පත් ඔවුන් අවසානයේ දී දැනුම් දුන්නේ සිය නායකයා රටෙන් පිටත නැවක නිවාඩුවක් ගත කරමින් සිටින බව යි. තව ද ඔහු දින දෙක තුනකට කලින් පොහොර කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ බව ද කියවිණි. කිම් ජොන් එහි දී පීත්ත පටියක් කපනා අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක් පවා ප්‍රසිද්ධ කර තිබිණි. 

එබැවින් මේ වන විට ඔහුගේ මරණය පිළිබඳ කටකතා පැතිරීම අවම වෙමින් පවතී. එහෙත් ඡායාරූපයේ, ඔහුගේ මුහුණ බොහෝ තර වී තිබෙන හෙයින් මේ සිටින්නේ සැබවින් ම උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ද? නැතහොත් ඔහුගේ අනුරූපකයෙක් ද? යන්න සැකයට බඳුන් විය. එහෙත් ඔහු සිය අශ්වයාගේ පිටෙහි නැගී ප්‍රසිද්ධියේ සංචාරයක් සිදු කළ හෙයින් දුටු දුටු අය පවසන්නේ “මේ නම් කිම් ජොන් අන් ම ය” යැයි සිතිය හැකි බව ය. 

මේ වන විට කිම් ජොන්ගේ පැමිණීමටත් වඩා ලොව අවධානය දිනාගෙන තිබෙනුයේ උතුරු හා දකුණු කොරියාව අතර නැවත සටන් ඇවිළී යාම ය. මෙයට දිනකට පමණ පෙර එම රටවල් දෙක අතර පිහිටි යුධ මුක්ත කලාපයේ දී දරුණු වෙඩි හුවමාරුවක් සිදු වී තිබීම ගැටලුවකි. එසේ ම ප්‍රථමයෙන් වෙඩි තැබීම ආරම්භ කර ඇත්තේ උතුරු කොරියානුවන බවත් ඔවුන්ගෙන් බේරීම පිණිස තමන් ද වෙඩි තැබූ බවත් දකුණු කොරියාව චෝදනා කරයි. අවසන් වරට මෙවැනි සටනක් ඇති වී තිබෙන්නේ 2017 වසරේ දී වන අතර අද දක්වා ම සාමය ආරක්ෂා කර ගැනීමට තමන් බෙහෙවින් යත්න දැරූ බව දකුණු කොරියානු රජය කියා සිටියි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author