2022 දෙසැම්බර් 4

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහතීර් මොහොමඩ් රට ගොඩනැගූ හැටි.

රටක් වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ මොනවාදැයි ඇසුවහොත් ඔබගේ පිළිතුර කුමක්ද? පළමුවැන්න ආකල්පමය සංවර්ධනය යි. දෙවැන්න ප්‍රතිපත්ති මාලාවයි. ස්වාභාවික සම්පත් අවම වශයෙන් පිහිටා ඇති මැලේසියාව වර්තමාන තත්ත්වය දක්වා දියුණු කිරීම සඳහා එදා මෙදා තුර එරට බිහි වූ ප්‍රබලතම අගමැතිවරයා වන මහතීර් මොහොමඩ් මහතා අනුගමනය කළේ ද එම ක්‍රියා පටිපාටිය යි.

මැලේසියාව මෙපමණ සංවර්ධනය වීමට හේතු වී ඇති බලවත් ම සාධකය වන්නේ ජාතික ප්‍රතිපත්ති මාලාව යි. මුල දී එය එතරම් ලෙහෙසි පහසු වූයේ නැත. තම තමන්ගේ බල අරගලය උදෙසා පමණක් ඉලක්කගත වීමට පුහුණු වී ඇති දේශපාලන සමාජයක්, එවැනි ප්‍රතිපත්තියක් පිළි ගන්නේ ද නැත. කෙටියෙන් කිවහොත් මේ සම්බන්ධයෙන් ඔහු ලියන ලද “ද මැලේ ඩිලේමා” යන ග්‍රන්ථය ද සමාජය වැරදි මඟට ගෙන යන්නකැයි චෝදනා කොට, තහනම් කෙරිණි. තහනම් පොතක් ද සමඟින් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත් එක ම ජන නායකයා මහතීර් විය.

මහතීර් අගමැති බවට පත් වූ පසු රට සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ නීති මාලාවක් සකස් කොට, එය කෙටුම්පත් කරවීය. පසු ව නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල එම පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේ ය. මෙයින් පසු තම පක්ෂය පමණක් නොව, මොනයම් පක්ෂයක් බලයට පැමිණියත්, තමා ජීවතුන් අතර සිටියත්, නැතත් රට කරවිය යුත්තේ එසේ සම්මත කර ගත් නීති මාලාවට අනුව පමණක් බව ප්‍රකාශ කෙරිණි. නගරයේ කෞතුකාගාරය තුළ මැලේසියාව පෙර දී පැවති ආකාරය, මේ වන විට සිදු වී ඇති වෙනස හා අනාගතයේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ කුමන අන්දමේ වෙනස්කම් ද? යන වග ඡායාරූප මගින් දක්වා ඇත.

මෙම නීති මාලාව ද ඔහුගේ තනි පුද්ගල කැමැත්තට සකස් කෙරුණක් නොවීය. රටේ සෑම අංශයක් ම නියෝජනය වන ලෙස තෝරා ගත් සාමාජිකයන් බොහෝ පිරිසක් සමඟ එකතු ව, දින ගණනාවක් පුරා සාකච්ඡා කොට සකස් කර ගත්තකි, එම ජාතික ප්‍රතිපත්ති මාලාව. සෑම දෙනාට ම ප්‍රතිලාභ හිමි වන බැවින් මේ සඳහා වූ විරෝධතා ද අවම විය. කෙටියෙන් කියතොත් මේ වන විට ජනතාව සිය ඡන්දය ලබා දෙන්නේ ද කෙටුම්පත් කර ඇති ප්‍රතිපත්ති මාලාව නියමාකාරයෙන් ඉදිරියට ගෙන ගිය පුද්ගලයින් හට පමණි. එබැවින් මහතීර් බලාපොරොත්තු වූ ආකල්පමය සංවර්ධනය වර්තමානය වන විට මිනිස් සිත් තුළ ඇති වී තිබෙන බව පිළිගත හැකි ය.

රැකියාවෙන් වෛද්‍යවරයෙකු වූ ඔහු ඒකාධිපතියෙකි. එසේ නොවූවා නම් මැලේසියාව මෙතරම් ඉහළ මට්ටමකට ගෙන ඒමට නොහැකි වනු ඇත. මන්දයත් සාමාන්‍ය ජනතාව පමණක් නොව පාර්ලිමේන්තු සභිකයන් ද රට සංවර්ධනය කිරීමට වඩා තමන්ගේ සංවර්ධනය උදෙසා පමණක් සිත වෙහෙස වූ බැවිනි.

මැලේසියාව මුල දී සම්පූර්ණයෙන් ම පෙනුණේ මඩ වගුරක් මෙනි. මහතීර් එහි නගර නියමිත පරිදි සැලසුම් කළේය. ඕනෑ ඕනෑ තැන්වල ගොඩනැගිලිවත් පාරවල්වත් සෑදීමට ඉඩ දෙනු නොලැබිණ. සැලසුමකට අනුව ගොඩ නංවා ඇති බැවින් ගුවනේ සිට පහළ බැලූ කල, අතිඅලංකාර ලෙස දිස් වේ. මාර්ග, ගොඩනැගිලි, නිවෙස් පමණක් නොව විදුලි බල්බ ද සවි කර ඇත්තේ සැලැස්මකට අනුව ය. ඒ සියල්ල මහතීර්ගේ වුවමනාවට සිදු කෙරුණු ඒවා ය.

මැලේසියාවේ නගර, වසර ගණනාවක ඉදිරියට සකස් කොට ඇති බැවින් කිසිදු දේශීය හෝ විදේශීය ගොඩනඟන්නෙකුට ඒවා වෙනස් කිරීමට ඉඩ දෙනු නො ලැබේ. නගරයේ ඒ ඒ ස්ථානවල ගොඩනැඟිය යුත්තේ කුමන අන්දමේ ගොඩනැගිල්ලක් ද යන වග අනුරුවක් මගින් ප්‍රදර්ශනය කර තිබේ. අදාළ පුද්ගලයාට ඉතිරි වී ඇත්තේ තමන් කැමති ස්ථානයක් තෝරා ගෙන, එම ස්ථානයට අදාළ අනුරුවට අනුකූලව ගොඩනැගිල්ල ඉදි කොට, කටයුතු කරගෙන යාම පමණි. එය යම් ප්‍රමාණයකට මානව හිමිකම් කඩ වීමකැයි සිතුණ ද, මැලේසියාව මෙතරම් සැලසුම් සහගත ව ඉදිරියට යාමට එවැනි නීති හේතු වී තිබේ. 

මහතීර් නගරය වෙනම ම වෙන් කොට ගෙන මිනිසුන් ඒ තුළ පමණක් පදිංචි කරවා තිබේ. එවිට නගරය වටා සම්පූර්ණ ඉඩකඩ ඉතිරි විය. වැවිලි කර්මාන්තය සඳහා එම ඉඩ බෙහෙවින් ප්‍රයොජනයට ගැනිණි. 

ජනතාවගේ ශරීර සෞඛ්‍යයට කිසිදු හානියක් ඇති නොවන පරිදි නගරයෙන් පිටත කර්මාන්ත පුරයක් පිහිටුවනු ලැබිණි. එම පුරයේ ආයෝජනය කිරීම සඳහා දේශීය පමණක් නොව විදේශීය ආයෝජකයන්ට ද ඉඩ හසර ලබා දීම නිසා, රට තුළට විදේශ විනිමය ගලා එන්නට විය. 

මේ වන විට මැලේසියාවේ ජනප්‍රියතම කර්මාන්තය පලතුරු ය. ඇපල්, මිදි, අන්නාසි, ලෙමන් ආදී බොහෝ පලතුරු වර්ග ඕනෑ තරම් එහි තිබේ. රටෙහි ජනතාව ඇති තරම් පරිභෝජනය කොට ඉතිරි වන පලතුරු වෙනත් රටවලට යැවීමෙන් ද විදේශ විනිමය ලැබේ. තව ද චොක්ලට්, මොටර් රථ (“ප්‍රෝටෝන් පෙරඩුආ”), ඔරලෝසු ආදිය ද ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති කර්මාන්ත ලෙස සැලකිය හැකි ය.

මහතීර්ගේ ප්‍රතිපත්ති අනුව මැලේසියාවේ වාහන තදබදය අවම කෙරිණි. එහි බොහෝ දුරට ඇත්තේ එක් පැත්තකට පමණක් වාහන ගමන් කිරීමේ නීතිය යි. එහෙත් එම පැත්ත උදෑසන හා සවස් කාලයේ දී වෙනස් කෙරේ. මැලේසියාවේ සියලුදෙනාට ම පාහේ මෝටර් රථයක් ඇත. එබැවින් සියලු දෙනා රැකියාවට යන උදෑසන නගරයෙන් පිටතට යාමට පමණක් ප්‍රධාන මාර්ග භාවිත වන අතර, ඔවුන් නිවෙස කරා එන සවස් කාලයේ දී එම මාර්ගය ම භාවිත වන්නේ නගරය තුළට ඒමට පමණි. කන්දෙන් කන්දට ගමන් කිරීම සඳහා සකසා ඇති කේබල් කාර් පද්ධතිය හේතුවෙන් ද මාර්ග තදබදය අඩු වී තිබේ.

සංචාරක කර්මාන්තය පිළිබඳ සලකන විට එරටෙහි විදේශිකයින් ගෙනැවිත් පෙන්වීමට තරම් ආකර්ෂණීය ස්ථාන පිහිටා ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. මැලේසියානු ආදිවාසීන් ජීවත් වූ ස්ථානයක් ලෙස සැලකෙන “බටු කේව්ස්” යනු එයින් එකකි. එහි පිහිටා ඇති අතිවිශාල පිළිමයක් සහිත ස්කන්ධ කුමාර දේවාලය සංචාරකයින් අතර ජනප්‍රිය වී ඇත. තව ද කඳු දෙකක් යා කොට ගෙඩනංවා ඇති සුපිරි වෙළෙඳසල නැරඹීමට ද විදේශිකයින් පැමිණෙනු දක්නට ලැබේ. එම වෙළෙඳසල විදේශීය ආයෝජකයින් හට අවස්ථාව ලබා දීමේ අරමුණින් මහතීර් විසින් සකස් කෙරුණු නීතියක ප්‍රතිඵලයක් වශයෙන්, චීන ජාතිකයෙකු අතින් ගොඩ නැඟුණකි. වසර ගණනාවක් පුරා ලොව උස ම ගොඩනැගිල්ලේ වාර්තාව ඉසිලූ “ට්වින් ටවර්ස්” ද සංචාරක අවධානය දිනාගෙන තිබේ. මැලේසියාවේ බොහෝ ලාංඡනවල මුද්‍රණය කර තිබෙන්නේ එම කුලුණු දෙක යි. එතරම් අවම ආකර්ෂණීය ස්ථාන ප්‍රමාණයක් මධ්‍යයේ වුව ද සංචාරක කර්මාන්තය හරහා  ශ්‍රී ලංකාවට වඩා ආදායමක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

ලොව ඉතිහාසය අධ්‍යයනය කළ විට මනුෂ්‍යයන්ගේ වෙන් වීමට හා ඔවුන් අතර ගැටුම් ඇති වීමට ප්‍රධානතම හේතුව භාෂාව බව පෙනේ. මහතීර් එරට තුළ භාෂා ගැටුම අවම කළේ ය. ඒ අනුව එහි අධ්‍යාපනය ලබා ගත හැක්කේ මැලේ භාෂාවෙන් පමණි. ප්‍රාථමික පන්තිවල දී තමන් කැමති බසක් භාවිත කිරීමට අයිතිය දී තිබුණ ද ද්විතීය අධ්‍යාපනය ආරම්භ කළ පසු මැලේ පමණක් යොදා ගත යුතු ය. එබැවින් එරට ජනවාර්ගික ගැටුම් හේතුවෙන් කෝලහාල ඇති වීමත්, රට සංවර්ධනය සඳහා යෙදවිය හැකි මුදල් නිරපරාදේ යුධ කටයුතු වෙනුවෙන් වැය වීමත් නතර වී තිබේ. 

මහතීර් බලයට පත් වූ පසු ගත් එක් විශේෂ ක්‍රියාමාර්ගයක් වූයේ වෘත්තීය සමිති තහනම් කිරීම යි. තම ප්‍රතිපත්ති තුළින් ජනතාවගේ අවශ්‍යතා හැකි තරම් ඉටු කිරීමට ක්‍රම සකස් කර ඇති හෙයින්, වෘත්තීය සමිතියකින් සටන් කොට ලබා ගැනීමට තරම් කිසිවක් ඉතිරි වී නැති බව ඔහුගේ අදහස විය. වසර කිහිපයක් සංවර්ධනය වෙනුවෙන් දුක් විඳීමට ජනතාවට ආරාධනා කළ ඔහු, දළ දේශීය ආදායම වැඩි වූ පසු ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම ද වැඩි කිරීමට පියවර ගත්තේ ය. එබැවින් රාජ්‍ය සේවකයින් අතර විරෝධතා අවම වී ඇති අතර, රට ගොඩනැංවීම සඳහා සියලු දෙනාගේ ම කැපවීම ලැබෙමින් පවතී. 

ශ්‍රීනි ලංකා ජයකොඩි