2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මරණයේ දොරටුව – අවුෂ්විට්ස්.

 සෝවියට් හමුදා නිළ ඇඳුම් 377,000ක්, කාන්තා ඇඳුම් 877,000ක්, මිනිස් කොණ්ඩා කිලෝග්‍රෑම් 7,700ක්, ඇස් කණ්ණාඩි රාත්තල් 88ක්, කෘතිම අත් පා සිය ගණනක්,  භාජන හා බඳුන් 12,000ක් හා සපත්තු යුගළ 44,000 සමඟ පෝලන්තයේ පිහිටා තිබූ “අවුෂ්විට්ස්” වධ කඳවුර හමු වන විට එය කුමක්දැයි සෝවියට් හමුදා නිළධාරීහු දැන නොසිටියහ. කෙටියෙන් කියතොත් එම ස්ථානයේ එවැනි භයානක මරණයේ දොරටුවක් පවත්වාගෙන ගිය බව පවා සෝවියට්වරුන් දැන සිටියේ නැත. 

සෝවියට් හමුදාව සමඟ සිටි බාලදක්ෂයින් පිරිසක් කඳවුර පිහිටි ප්‍රදේශයට පා ගමනක් ගොස් තිබූ අතර, කටු කම්බි ගසා වෙන් කොට තිබූ ගොඩනැඟිලි සමූහයත්, එම වැට අතරින් එබී බලමින් අත වැනූ අතිශය කෘෂ වූ ද අසරණ වූ ද මිනිසුන් පිරිසත් දුටු විට, මෙහි කිසියම් වැරැදි සහගත ක්‍රියාවක් සිදුවෙමින් පවතින්නට ඇති බව ඔවුහු වටහා ගත්හ. ඇතුළට ගොස් බැලූ විට නුදුරේ දී ම විනාශ කරනු ලැබූ වධ කඳවුරක නටඹුන් සොයා ගැනීමට හැකිවූ අතර, මළ සිරුරු 600ක් හා සිරකරුවන් 9,000ක් පමණ දක්නට ලැබිණි. මරා දමන ලද මිලියන 1.1කට වැඩි පිරිසකට අයත් බඩු බාහිරාදියෙන් සමහරක් ද වධ කඳවුරේ සාක්ෂි වශයෙන් සොයා ගත හැකි විය. කලක් මිනිස් සිරුරු බවට පත් ව තිබූ අළු ගොඩවල්, මළ බැහැර කරන ලද බැරැක්කවල ජීවත් වන මිනිසුන් ද දක්නට ලැබිණි. තමන් පිරිනමන ලද ආහාර අනුභව කරන විට රෝගාතුර වූ රෝගීන් දුටු විට සෝවියට් හමුදාව පුදුම වූහ. එයට හේතුව නම් එතරම් කාලයක් ඔවුනට සැලකිය යුතු මට්ටමේ ආහාර වේලක් ලැබී නොතිබීම යි. 

අවුෂ්විට්ස් කඳවුර මුල දී නිහඬ ව අතහැර දමා ඇති බවක් පෙනෙන්නට තිබුණ ද, එය මිනිසුන්ගෙන් පිරී ඇති බව ඉක්මනින් වටහා ගැනීමට සෝවියට්වරුන්ට හැකි විය. සොල්දාදුවන් දුටු විගස සිරකරුවෝ ඔවුන් බදාගෙන සිප ගනිමින් අඬන්නට වූහ. අවුෂ්විට්ස් වෙත පිවිසි පළමු රතු හමුදා සොල්දාදුවන්ගෙන් එක් අයෙකු වන “ජෝර්ජි එලිසාවෙට්ස්කි” අතීතය සිහිපත් කරමින්, “ඔවුන් කෑ ගසමින් දණ ගසා, අපේ කබායන් සිපගෙන, අපේ කකුල් වටා දෑත් යවමින් අප බදා ගත්හ.”යනුවෙන් පවසයි. මන්දයත් අවුරුදු පහක අපා දුක් විඳීමෙන් පසු අවුෂ්විට්ස් වධ කඳවුරේ සිටි අහිංසක සිරකරුවන් නිදහස් වූයේ එවෙලෙහි වූ බැවිනි. ඒ, 1945 ජනවාරි 27 දින ය. 

මෙම කඳවුර 1, 2, 3 යනුවෙන් කොටස් තුනකට බෙදා තිබිණි. ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය තිබුණේ 1 කොටසේ ය. “ඔස්විඒචිම්” නම් වූ මෙය මුල් අවධියේ භාවිත කෙරුණේ දේශපාලන සිර කඳවුරක් වශයෙනි. 2 කොටස “බිර්නකනාවු” නම් වූ අතර 3 “මොනොවිට්ස්” නම් විය. මෙම කඳවුරු තුනට ම අනුබද්ධ ව, එහි ගාල් කර සිටි සිරකරුවන්ගේ වහල් සේවය ලබා ගැනීම සඳහා ගොඩ නඟා තිබූ තවත් කර්මාන්ත ශාලා 45ක් ද විය. ජර්මානු හමුදාව හෙවත් “එස්.එස්.”හි අනුඛණ්ඩයේ ප්‍රධානී “හෙන්රිච් හිම්ලර්”ගේ අණින්, “රුඩොල්ෆ් හුස්” යටතේ සිර කඳවුර ගොඩ නැඟී තිබිණි. ප්‍රථමයෙන් තිස් දෙනෙකුගෙන් යත් ජර්මානු අපරාධකරුවන් පිරිසකට සිර කඳවුරක් වූ මෙය, පසුව යුදෙව්වන්, පෝලන්ත සිරකරුවන්, කතෝලිකයින්, අහිගුණ්ඨිකයින්, සමලිංගිකයින් සහ ප්‍රධාන වශයෙන් සොව්යට් හමුදා සිරකරුවන් හට ද සිර ගෙය ලෙස භාවිත කරන ලදී. සිරකරුවන් වැඩි වත් ම ඔවුන් ගෑස් කාමරවලට දමා සමූහ වශයෙන් මරා දැමීමට කටයුතු කෙරුණු අතර, පසුව එම මළ මිනී ද සමූහ වශයෙන් ම පුළුස්සා දමන ලදී. ස්වල්ප දිනකින් ම ගෑස් කාමරයේ දැවීමට නියම වී සිටි හෙයින් අලුතින් ගෙන එන සිරකරුවන්ගේ හෝ දැනට සිටින සිරකරුවන්ගේ අවම සනීපාරක්ෂක පහසුකම් සැලසීමටවත් ඔවුන් උත්සාහ කළේ නැත. මෙම සිරකරුවන් අතර පිරිමින් පමණක් නොව කාන්තාවන්, දරුවන් මෙන් ම ළදරුවෝ ද සිටියහ. 

ගෑස් කාමරවල සේවයට යොදවා සිටියේ ද යුදෙව්වන් ම ය. “සොන්ඩර්කොමාන්ඩෝ” නම් වූ ඔවුහු සිය ඥාති හිතවතුන් සිය අතින් ම මරා දැමූහ. ඒ සඳහා යොදා ගැනුණේ “සයික්ලොන් බී” නම් වූ විෂ වායුව යි. වධකාගාරය ක්‍රියාකාරී තත්ත්වයෙන් පවතිද්දී ම ඉතා සුළු පිරිසක් ඉන් පැන යාමට සමත් වූහ. එහෙත් එම පැන ගිය පිරිස වෙනුවෙන් දඬුවම් මරණයකට මුහුණ දීමට සිදු වූයේ ද අසරණ සිරකරුවන්ට ය. එක් අවස්ථාවක හෙම්ලර්, ගෑස් කාමරවල තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි අතර, ඒවා හොඳින් ක්‍රියා කරන බව පෙන්වීම සඳහා අසල සිටි යුදෙව් සිරකරුවන් පිරිසක් කාමරය තුළට දමා නිකරුණේ මරා දමන ලදහ. මන්දයත්, එස්.එස්. නිළධාරීන් හට මිනී මැරීමට නිශ්චිත හේතුවක් අවශ්‍ය නොවූ බැවිනි. 

මඳින් මඳ යුද්ධය අවසන් වන ලකුණු පෙනිණි. අවුෂ්විට්ස් ඉක්මනින් ම අතහැර දැමිය යුතු වන බව ජර්මානුවන් බොහෝ කලක සිට දැන සිටිය ද, හැකි තාක් කල් එය භාවිතා කිරීමට ඔවුහු සැලසුම් කළහ. ඔවුන් රසායනික ද්‍රව්‍ය, ආයුධ සහ වෙනත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් සඳහා සිරකරුවන් වහලුන් ලෙස යොදා ගත් අතර ඔවුන් තවදුරටත් සූරාකෑමට ලක් කළහ. 1944 අග භාගය වන විට මිත්‍ර පාක්ෂිකයින් “ඕවිසිම්” කලාපය දක්වා ප්‍රදේශය මුදවා ගනු ඇති බවට අනුමාන කෙරිණි. එහෙයින් වධකාගාරවල මූලික ලක්ෂණ ඉවත් කෙරිණි. එහෙත් ඒ වෙනුවට ජර්මානුවෝ වානේ කම්හලක නව උප කඳවුරක් ආරම්භ කළහ.

විශාල වශයෙන් ගොඩනැඟිලි ඉවත් කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීමට ඔවුහු මදක් කල් බලා සිටියහ. පසුව 1945 වසර ආරම්භ වත් ම ජර්මානුවන් ඔවුන්ගේ අපරාධ පිළිබඳ සාක්ෂි සම්පූර්ණයෙන් විනාශ කිරීමට පටන් ගත්හ. අවුෂ්විට්ස්හි ගෑස් කුටිවල හා ආදාහනාගාරයේ සේවය කළ බොහෝ යුදෙව්වන් ඝාතණය කරනු ලැබූ අතර බොහෝ වධකාගාර හා ගෑස් කාමර විනාශ කෙරිණි. විනාශය එතැනින් අවසන් වූයේ නැත. බොහෝ ගොඩනැගිලි කඩා දැමීමට ජර්මානුවන් සිරකරුවන්ට අණ කළ අතර කඳවුරු ජීවිතය පිළිබඳ ඔවුන්ගේ සූක්ෂම වාර්තා, ලිපි හා කුරුටු ගී බොහොමයක් ක්‍රමානුකූලව විනාශ කරන ලදී. ඔවුන් විසින් ඝාතණය කරන ලද යුදෙව්වන්ගෙන් කොල්ල කා ගත් බොහෝ දේ ද වෙනත් ස්ථානයකට ගෙන යාමට ඔවුහු පියවර ගත්හ.

දිනෙන් දින සෝවියට්වරු ජර්මානු ආරක්ෂක වළලු බිඳ දමා “ක්‍රකෝව්” වෙත ළඟා වීමට පටන් ගත්හ. රතු හමුදාව තව තවත් ළං වන විට එස්.එස් හමුදාව තීරණය කළේ අවුෂ්විට්ස් ඉවත් කිරීමට කාලය එළඹ ඇති බව යි. ඒ අනුව සිරකරුවෝ අවුෂ්විට්ස් සිට වෙනත් ගාල් කඳවුරු සහ මරණ කඳවුරු වෙත බලහත්කාරයෙන් ගමන් කරවනු ලැබූහ. ජනවාරි 17 වන දින සිට සිරකරුවන්ට දිගු පෝළිම් සෑදීමට බල කෙරුණු අතර බටහිර දෙසට එනම්,  තවමත් ජර්මනිය සතුව පවතින භූමිය දෙසට ඇවිද යන ලෙසට පැවසිණි. ඊට සහභාගී විය හැකි වූයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අයට පමණි. මන්දපෝෂණය හා රෝගවලින් පෙළෙන්නන් හට වෙඩි තැබිණි. එලෙස ම ගමන් කරද්දී වෙහසට පත් ව වැටුණු අයට ද වෙඩි තබනු ලැබීය. මන්දයත් කිසිදු සිරකරුවෙකුට පණ පිටින් සෝවියට් හමුදාව අතට යාමට ඉඩ නොදෙන ලෙස ඔවුන්ට අණ ලැබී තිබුණු බැවිනි. අතිශය සීතල තත්වයන් යටතේ සිදු වූ මෙම මරණීය පා ගමන තුළ සිරකරුවන් 15,000 ක් පමණ මිය ගියහ. ඉතිරි ව සිටි අයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද බල කෙරිණි. ජර්මානුවන් විසින් සිරකරුවන් 45,000ක් පමණ තවමත් ජර්මානු පාලනය යටතේ පවතින විවිධ කඳවුරු වෙත ගෙන යන ලදී. එහෙත් “ග්‍රොස් – රොසෙන්” කඳවුර වෙත ළඟා වූ පසු දැන ගන්නට ලැබුණේ එහි ඉඩකඩ නොමැති බව යි. එබැවින් සිරකරුවන් හට එවෙලේ දී ම නැවත ආපසු හැරී යාමට බල කෙරිණි. පසුව ඔවුන් “බර්ගන් – බෙල්සෙන්” කඳවුර වෙත පැමිණියහ. එහෙත් ඒ වන විට ඉතිරි ව සිටියේ ගමන ආරම්භ කළ පිරිසෙන් 3/4ක් පමණි. 

කොල්ලකන ලද දේපළවලින් පිරුණු ගබඩාවන් ගිනි තැබීම පිණිස අවුෂ්විට්ස් කඳවුරේ රැඳී සිටි ආරක්ෂකයෝ දිගින් දිගටම සාක්ෂි විනාශ කිරීමට ක්‍රියා කළහ. ජනවාරි 21 වන විට බොහෝ එස්.එස්. නිලධාරීන් කඳවුර අත්හැර දමා සිය ජීවිත බේරා ගැනීම සඳහා පිටත්ව ගොස් තිබුණි. එහෙයින් කඳවුර තුළින් සෝවියට් හමුදාවට සොයා ගැනීමට හැකි වූයේ එස්.එස්. භටයින් කිහිප දෙනෙකු පමණි. 

අවුෂ්විට්ස් හි රැඳී සිටි සිරකරුවන් 9,000න් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ව සිටියහ. තවත් සමහරු තමන්ට පැන යා හැකිය යන බලාපොරොත්තුවෙන් සැඟවී සිටියහ. එහෙත් එහි ආහාර, ඉන්ධන හෝ ජලය නොතිබුණි. ඉතා ඉක්මනින් කඳවුර තුළ රතු කුරුස සංගමයේ කූඩාරම් ගොඩ නැඟුණු අතර, වෛද්‍යවරුන් හා හෙදියන් යුහුසුළු ව රෝගී සිරකරුවන්ට ප්‍රතිකාර කරනු දක්නට ලැබිණි. සෞඛ්‍ය සම්පන්න ව සිටි සිරකරුවන් කුඩා කණ්ඩායමක් ද රෝගීන්ට සහාය වූහ. පුදුමය වූයේ කඳවුර අහළ පහළ ජීවත් ව සිටි ජර්මානු සිවිල් වැසියන් ද මෙම කටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීම යි. 

1947 දී කඳවුරේ 1 හා 2 භූමි තුළ “අවුෂ්විට්ස් බිර්කෙනාවු” කෞතුකාගාරය ගොඩ නඟනු ලැබිණි. වසර කිහිපයක් යන තෙක් කඳවුරින් දිවි ගලවා ගත් කිහිප දෙනෙක් ම ඔවුන්ගේ අත්දැකීම් එක් කොට ග්‍රන්ථ කිහිපයක් රචනා කළහ. නිදසුන් ලෙස Auschwitz and after, Man`s search for meaning, The search – the Birkenau boys, Naked among wolves ආදී ග්‍රන්ථ සැලකිය හැකි ය. 1979 දී කෞතුකාගාරය යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් නම් කෙරිණි. “අවුෂ්විට්ස්” යනු සමූලඝාතනයේ ප්‍රධාන සංකේතයක් බවට පත් විය. වසරක් පාසා ජනවාරි 27 වන දින ජනතාව කෞතුකාගාරය අසලට රැස් වී මෙම අවාසනාවන්ත සිදුවීම මාලාව සමරති. එම දිනය හඳුන්වන්නේ “International Holocaust Remembrance Day” යනුවෙනි. වධ කඳවුරින් දිවි ගලවා ගත් අවසන් පුද්ගලයා වූ “ඇන්තනි ඩොබ්රෝවොල්ස්කි”, වසර 108ක් ආයු වළඳා 2012 වර්ෂයේ දී මිය ගියේ ය. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.