Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මම ජපානයෙන් සමාව ඉල්ලමි.

ජපානයට නව අගමැතිවරයෙක් පත් වී තිබේ. ඒ යොෂිහිදේ සුගා ය. මෙයට සති කිහිපයකට පෙර හිටපු අගමැති “ෂින්සෝ අබේ” සෞඛ්‍ය හේතුන් මත සිය ඉල්ලා අස්වීම ලබා දී තිබිණි. තම රෝගී තත්වය හේතුවෙන් ජනතාවට අසාධාරණයක් සිදු විය හැකි හෙයින්, ඊට තමා කැමති නොවන බව පැවසූ ඔහු, සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම ගැන ජපානයේ ජනතාවගෙන් සමාව අයැද සිටියේය.

65 හැවිරිදි අබේ වසර ගණනාවක් තිස්සේ බඩවැල් ආශ්‍රිත රෝගයක් වන ව්‍රණමය පූරිතන්දාහය (ulcerative colitis) නමැති රෝගයෙන් පීඩා විඳිමින් සිටි අයෙකි. ඔහුගේ තත්ත්වය මෑතක දී මඳක් නරක අතට හැරී ඇති බව වෛද්‍යවරුන්ගේ තීරණය යි. පසුගිය වසරේ ඔහු ජපානයේ වැඩි ම කාලයක් සේවය කළ අගමැතිවරයා බවට පත් විය. ඔහුගේ වර්තමාන ධුර කාලය ආරම්භ වූයේ වර්ෂ 2012 දී ය. 2007 දී ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්වූයේ ද අදාළ රෝගයේ බරපතලකම හේතුවෙනි. 

අබේ මහතා දැඩි ගතානුගතික ජාතිකවාදියෙකු ලෙස කීර්තියක් අත්කර ගෙන ඇති අයෙකි. ඔහුගේ ආක්‍රමණශීලී ආර්ථික ප්‍රතිපත්තිය වන “අබෙනොමික්ස්” නම් ප්‍රතිපත්තිය ද ගොඩ නැඟී තිබුණේ ද ජපන් ජාතිය ලොව ඉහළ ම තලයට ගෙන යාම සඳහා ය. ඔහු මේ වන විට ජපානයේ ආරක්ෂක කටයුතු විශිෂ්ට අන්දමින් ශක්තිමත් කර ඇති අතර මිලිටරි වියදම් ද ඉහළ නංවා ඇත. එහෙත් ආත්මාරක්ෂාව හැර වෙනත් කිසිවක් සඳහා ස්ථාවර හමුදාවක් තබා ගැනීම තහනම් කරමින් ලියවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය සංශෝධනය කිරීමට ඔහුට තවමත් නොහැකි වී තිබේ.

ජුලි මස මැද භාගයේ දී ඔහු ශල්‍යකර්මයකට මුහුණ දී තිබිණි. එනමුත් ඉන්පසු තමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට පටන් ගත් බව අගමැතිවරයා පැවසීය. නිතිපතා පාලනය කළ යුතු ව තිබූ මෙම තත්ත්වය සඳහා දැන් නව ප්‍රතිකර්මයක් සිදු කරමින් පවතින හෙයින් සිය අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ කටයුතු ඉටු කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් ඉන් නොලැබෙන බව ඒ මහතා පැවසීය. රට වෙනුවෙන් වැදගත් තීරණ ගැනීමේ දී තමා අතින් කිසිදු වරදක් සිදු විය නොහැකි බවත්, ඒ හේතුවෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඔහු පැවසීය.

 “මම තීන්දුවක් දුන්නා. මීට පස්සේ මම අගමැති ලෙස දිගටම නොසිටිය යුතුයි. මගේ ධුර කාලය අවසන් වීමට වසරක් ඉතිරි ව තිබිය දීත්, කොවිඩ් 19 වෛරසයේ කරදර මධ්‍යයේත්, විවිධ ප්‍රතිපත්ති තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතරත්, මෙවැනි හදිසි තීරණයක් ගැනීමට සිදුවීම පිළිබඳ මම ජපානයේ ජනතාවගෙන් අවංකවම සමාව අයැදීමට කැමැත්තෙමි.” යැයි අබේ කියා සිටියේ ය.