Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මම කවුද?

                                                           

නමින් ටේලර් ඩැනියල් ලෝට්නර් වන ඔහු ලාංකීය රසිකයින් අතරට පැමිණෙන්නේ “ට්වයිලයිට්” චිත‍්‍රපටයේ “ජේකබ්”ගේ චරිතයෙනි. බෙලා හා එඩ්වඩ්ගේ ආදරයට දුෂ්ටයෙකු ලෙස පෙනුණත් චිත‍්‍රපට මාලාවේ ජනප‍්‍රියතම නළුවා බවට පත් වන්නේ ඔහු යි.

කොහොමද මේ තරම් සාර්ථක වුණේ?

මගේ වටේ ඉන්න අය නිසා. එ් කියන්නේ මගේ දෙමාපියන්, හිත මිතුරන් වගේ මට ඇත්තට ම ආදරය කරන පිරිසක් ඉන්න නිසා තමයි මං මේ තරම් ඉස්සරහට ආවේ.

එක සැරේට ම ඉනිමගක ඉහළ ම පෙත්තකට යාම දැනෙන්නේ කොයි විදිහට ද?

ම්… ටිකක් ටිකක් අමුතුයි වගේ. මට හිතෙනවා “ට්වයිලයිට් සාගා” චිත‍්‍රපටයේ දී තමයි මං හොඳට ම රඟපෑවේ කියලා. එ්කට ලැබුණු ප‍්‍රතිචාරත් අනිත් එ්වට වඩා වැඩියි. ඇත්තට ම මං හරි වාසනාවන්තයි. අතිදක්ෂ චිත‍්‍රපට කණ්ඩායමක් එක්ක සතුටින් වැඩ කරන ගමන්, එයාලගෙන් හිතා ගන්න බැරි තරම් දේවල් ගොඩක් ප‍්‍රායෝගිකව ම ඉගෙන ගන්න ලැබීම එසේ මෙසේ දෙයක් නෙවෙයි නේ…

ජනප‍්‍රියත්වය හොඳ ද? නරක ද?

හොඳත් තියෙනවා නරකත් තියෙනවා. තමන්ගේ පෞද්ගලිකත්වය නැති කර ගන්න සිද්ධ වෙන එක නම් ලොකු අවාසියක්. හිතන්නකෝ, ඔයා බොහොම නිදහසේ කෝපි එකක් බොන්න හිතාගෙන කඩේකට ගිහින් වාඩි වුණා ම, සැරින් සැරේ එක එක අය ඇවිත් ෆොටෝ ගන්නයි, සමරු පොත් අත්සන් කරන්නයි ආරාධනා කරනකොට කොයි වගේ හැඟීමක් දැනේවි ද? එහෙම වුණත්, එක අතකට හැමෝ ම අඳුනන චරිතයක් බවට පත් වෙන්න ලැබීමෙත් මහ විශාල සතුටක් තියෙනවා. එ් නිසා අමාරුවෙන් වුණත් පුංචි පුංචි අපහසුකම් අමතක කරලා දාලා, මේ ක්ෂේත‍්‍රයේ ම රැඳිලා ඉන්න තමයි මගේ බලාපොරොත්තුව.

ජනප‍්‍රිය වුණාට පස්සේ හුඟ දෙනෙකුට පොළොවේ පය ගහලා ඉන්න අමාරුයි ලු නේද?

ඇත්ත. එ්ත් මට නම් එ් ප‍්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ. මං ජීවත් වෙන්නේ ඉපදුණු මහ පොළොවේ ම තමයි. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මගේ දෙමාපියන්, මාව එ් වගේ සිතිවිලි එක්ක ගොඩ නගලා තියෙන නිසා. රඟපෑම කියන්නේ අපේ රස්සාව. මිනිහෙක් පැය 24 ම රස්සාව කරන්නේ නැහැ නේ. වැඩ ඉවර වෙලා එළියට බැස්ස ම එයත් සාමාන්‍ය මිනිහෙක් තමයි. ජනප‍්‍රිය වෙන්න පුළුවන්. එ්ත් අන්තිමට බලද්දී අපිත් අනිත් මිනිස්සු වගේ ම තමයි. ගෙදර ඉන්නකොට අපි රසිකයන් හිතාගෙන ඉන්න විදිහට අමුතු ජීවිත ගත කරන්නේ නැහැ. සමබරතාවය පවත්වාගෙන යාම කියන්නේ නළුවෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණයක්. එ් නිසා අපි කැමරාව ඉස්සරහ විතරක් නළුවෝ. ගෙදර ගියා ම සාමාන්‍ය මිනිස්සු.

කොහොමද පැපරාසින්ගෙන් බේරෙන්නේ?

අම්මෝ… වෙලාවකට මහ ම මහ කරදරයක් තමයි. හැබැයි ඉතින් මාධ්‍ය අපේ පස්සෙන් පන්නන්නේ මේ රස්සාව නිසා නේ. මොනවා කරන්නද… මට එයාලව පාලනය කරන්න නම් ටිකක් අමාරුයි. හැබැයි මං හැම තිස්සේ ම උත්සහ කරනවා එයාලගෙන් ඈත් වෙලා ඉන්න. මොකද, මගේ වැඩවලට ඕනවට වඩා ඇඟිලි ගහන අය දැක්කම මට හරියට කේන්ති යනවා. එ් නිසා මං මේ දවස්වල ඉවසීම පුරුදු වෙනවා (සිනා)

රසිකයින්ගෙන් ලැබුණු, ඔයාව වැඩියෙන් ම අපහසුතාවට ලක් කෙරුණු ප‍්‍රතිචාරය මොකක්ද?

අනේ මන්දා, මේ සිද්ධිය ගැන නම් මොනවා කියන්නද කියලා. ඔන්න එක වතාවක් මං  ඕස්ට්‍රේලියාවේ සම්මාන උළෙලකට ගියා. එතන කෙල්ලෝ ගොඩාක් මං ලවා එයාලගේ අත්වල සමරු අත්සන් අර ගත්තා. එක්කෙනෙකුගේ අතේ වෘකයෙකුගේ සලකුණක් පච්ච කොටලා තිබුණා. මං එ්කට යටින් අත්සන් කළා. පහුවදා මට ආරංචි වුණා, එ් ගැහැනු ළමයා මගේ අත්සන උඩින්, ඒක පච්චයක් විදිහට කොටාගෙන. දැන් මගේ අත්සන සදහට ම එ් ළමයාගේ අතේ තියේවි. මට පුදුමත් හිතෙනවා මේ තරම් මට ආදරය කරන රසිකාවනුත් ඉන්නවද කියලා.

ට්වයිලයිට් චිත‍්‍රපටයේ නළු නිළියන් කිහිප දෙනෙකු ම ප‍්‍රධාන චරිත රඟපෑවා නේ. එකිනෙකා අතරේ තරඟයක් තියෙන බව ඔයාට තේරුණේ නැද්ද?

අනේ නැහැ. අපි කවුරුත් කොයි මොහොතකවත් අනිත් කෙනා පාගලා ඉස්සරහට යන්න උත්සහ කළේ නැහැ. චිත‍්‍රපටය අපි හැමෝගෙම එකතුවෙන් නේ හැදෙන්නේ. හැබැයි හදිසියේවත් එහෙම දෙයක් වුණා නම් එහෙම මං එදාම අයින් වෙනවා. එහෙම වැඩ කරන්න බැහැ නේ. වාසනාවකට වගේ ට්වයිලයිට් චිත‍්‍රපටය නිසා මට යහළුවන් මිසක් තරහකාරයින් නම් ඇති වුණේ නැහැ. අපි කොයි තරම් එකතු ද කියනවා නම් තවමත් සතියකට සැරයක් විතර හම්බ වෙලා, කොහේ හරි යනවා.

සැබෑ ජීවිතයේ දී ඔයා මේ වගේ ආදර ත‍්‍රිකෝණයකට මැදි වෙලා නැද්ද?

(සිනා) නැත්තේමත් නැහැ. මං කණිෂ්ඨ පාසලේ ඉගෙන ගන්න කාලේ එක කෙල්ලෙක් හිටියා. අපි පස් දෙනෙක් එ් කෙල්ලට ට‍්‍රයි කළා. කාටවත් හරි ගියේ නම් නැහැ ඉතින්. එ්ත් එ්වා නිකන් ජොලියට කරපු වැඩ නේ. ඇත්තට ම නම් එහෙම පටලැවිලි වෙලා නැහැ.

ඔයා කවදා හරි දවසක තමන්ගේ හිත ගත්ත ගැහැනු ළමයා වෙනුවෙන් සටන් කරාවි ද?

එයා ඇත්තට ම මගේ හිතට අල්ලලා නම්, ඔව්. මං අනිවාර්යයෙන් ම සටන් කරනවා. කරලත් තියෙනවා.

කොහොමද ඔය විදිහට ඇඟ හදා ගත්තේ?

(සිනා) ඩයට් කරලා, එක්සර්සයිස් කරලා තමයි. සමහර වෙලාවට මට අයිස් ක‍්‍රීම් එකක් කන්න මාර ආසාවක් ඇති වෙනවා. ඒ වගේ වෙලාවට ඉතින් ඇඟ අමතක කරලා, කාලා දානවා. එ්ත් මොකක් හරි රූගත කිරීමකට වගේ යන්න තියෙනවා නම්, එ්ක දිහා බල බල, කෙළ ගිල ගිල නිකම් ඉන්නවා. ඇඟේ මාංශ පේශි මේ විදිහට හදා ගන්න හරි අමාරුයි. එ්ක පවත්වාගෙන යන්න ඊටත් වඩා අමාරුයි. වෙලාවට ජිම් යන්න බැරි වුණොත්, එහෙමත් නැත්නම් වෙලාවට කන්න බැරි වුණොත් ඇඟ නිකම්ම වෙනස් වෙනවා. ආයේ තිබුණු විදිහට හදා ගන්න නම් දහ ගුණයක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. හැබැයි බොරු කියන්න ඕනෙ නෑ, ඉස්සරට වඩා මගේ ඇඟ නම් දැන් ටිකක් මහත වැඩියි.

ට්වයිලයිට් චිත‍්‍රපටයේ දී හැරුණා ම ඔයා කොහොමද තමන්ගේ චරිත තෝරා ගන්නේ?

“අදාළ චිත‍්‍රපටයේ මම කවුද? ” කියන එක අනුව තමයි. හිතට ඇල්ලුවොත් විතරක් බාර ගන්නවා. මං කැමති නැහැ හැමදා ම එක ම පාරේ යන්න. ජීවිතය හැම මොහොතක ම වෙනස් වෙන්න  ඕනේ. නැත්නම් කිසි රසයක් නැහැ නේ.

ට්වයිලයිට් හැරුණාම හිතට වැදිච්ච චිත්‍රපටිය මොකක්ද?

2011 දී රඟපෑව “ඇබ්ඩක්ෂන්”. එ්ක නියම ෆිල්ම් එකක්. ඉස්කෝලේ යන වයසේ කොල්ලෙක්ට එයාගේ පින්තූරය, නැතිවුණු ළමයින්ගේ ඡායාරූප එකතුවක තිබිලා හම්බ වෙනවා. හොයාගෙන හොයාගෙන යද්දී එයා දැන ගන්නවා, තමන් මෙච්චර කල් ගෙවලා තියෙන ජීවිතය සම්පූර්ණ බොරුවක් බව.

ට්වයිලයිට් චිත‍්‍රපට මාලාව ඉවර වුණා ම ඔයාට දුක හිතුණ ද?

හිතුණා නේන්නම්. එක හේතුවක්, මගේ යාළුවෝ ටික දාලා යන්න වෙච්ච එක. අනිත් එක, ඊට පස්සේ මට එ් තරම් වෙලාවක් කොට කලිසමක් ඇඳගෙන ඉන්න නොලැබුණ එක. දෙයියනේ, ජීවිත කාලෙ ම කොට කලිසමක් ඇඳගෙන ඉන්න ලැබෙනවා නම් කොයි තරම් පහසු ද…

ශ‍්‍රීනි ලංකා ජයකොඩි