2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මට ඕනෙ පාඩුවෙ ඉන්න.

ඒලි ඕන් ඩමාලෝ බැන්ඩාරෝ සායම්. එහෙම කිව්වා ම නම් මේ කවුද කියලා ඔයාලගේ මතකයට එන එකක් නැහැ. ඒත් ඒකෝන් කිව්වා ම හැම දෙනෙක් ම එයා අඳුනනවා. සෙනගෝලියානු ඇමරිකානුවෙකු වන ඔහු ජෑස් සංගීතවේදියෙක්.

ඒකෝන්, ඔයා ජීවිතයේ සෑහෙන්න කාලයක් ඇමරිකාවේත් අප‍්‍රිකාවේත් කල් ගත කළා. වර්ග දෙකක සංස්කෘති දෙකක් ඇසුරේ ජීවත් වීමෙන් ඔයාගේ සංගීත ජීවිතයට බලපෑමක් ඇති වුණා ද?


ඇයි නැත්තේ. ඒක තමයි මම ලබපු විශිෂ්ටතම අත්දැකීම. මොකද මට ඒ ඒ තැන්වල දී ප‍්‍රවීණ කලාකරුවන් හුඟ දෙනෙක් හමු වෙන්න අවස්ථාව ලැබුණා. හරියට ලෝක දෙකකට ගියා වගෙයි මට දැනුණේ. ඔයා දන්නවානේ ඒකේ තේරුම? අප‍්‍රිකාව කියන්නේ හැම තිස්සෙ ම අරගල කරන, සංගීතයත් ඒ වගේ ම අරගලයක් බවට පත් වුණු තැනක්. ඒත් ඇමරිකාවට ආවම එහෙ තිබුණේ හිප් – හොප් සංගීතයේ වර්ධිත අවධියක්. ඒ විතරක් ද? මහා ගොඩක් සංගීත ශෛලීන්වල එකතුවක්. ඒත් ඒ හැම ශෛලියක් ම ගලාගෙන ගියේ බොහොම ස්වාභාවික ව කියන එකත් කියන්න ඕනේ. කවුරුවත් සංගීතය තමන්ට ඕනේ විදිහට වෙනස් කර ගන්න උත්සහ කළේ නැහැ.

ඔයාගේ තාත්තා, මෝර් සායම් කියන්නෙත් ජෑස් සංගීතවේදියෙක් කියලා දන්නේ බොහොම ටික දෙනයි. පුංචි කාලේ දැනුණු සංගීත අත්දැකීම වර්තමානයත් එක්ක බද්ධ වෙන්නේ කොහොමද?


ඒක හරි ම අපූරුයි. මම හැමදාම දැක්කා තාත්තා නගරයේ මෙහා කෙළවරේ ඉඳන් එහා කෙළවරට ම යනවා සංගීතයත් අරගෙන, ආයෙමත් මේහෙට එනවා, ආයෙත් එහෙට යනවා… සමහර විට තාත්තා මාස ගණන් පාරේ රස්තියාදු වුණා. ඒ හැම දෙයක් ම කළේ එයා සංගීතයට පුදුම විදිහට ආදරය කරපු නිසා. ඒ දවස්වල සංගීතකාරයන්ට එච්චර සල්ලි හම්බ වුණෙත් නැහැ. ඒ වගේ ගෘහ මූලිකයෙකුට කිසිසේත් ම පවුලක් ගෙනියන්න හැකියාවක් තිබුණේ නැහැ.
තාත්තා දැනගෙන නොහිටිය එක දෙයක් තිබුණා. ඒ තමයි හිප් – හොප් කලාව තව දුරටත් වර්ධනය කරන්න පුළුවන් බව. එහෙම වුණා නම් අපටත් සල්ලිකාරයන් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ම වෙන්න ඇති මට කවදාවත් ඕනේ වුණේ නැහැ සංගීතකාරයෙක් වෙන්න. පුංචි ළමයෙක් විදිහට තාත්තාගේ ජීවිතයෙන් මම වටිනා දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා සංගීත ඇසුර තිබුණත්, මම ඒක වෘත්තිය කර නොගෙන, විනෝදාංශය විතරක් බවට පත් කර ගත්තා. ඒත් අන්තිමේ දී සංගීතය හැරෙන්න මට වෙන කරන්න කිසි ම දෙයක් ඉතිරි වුණේ නැහැ.

ඔයා සංගීත ක්ෂේත‍්‍රයට එනකොට තාත්තාගෙන් ලැබුණු වටිනා ම උපදේශය මොකක්ද?


ඇත්ත කතාව තමයි, තාත්තා හැම තිස්සෙ ම උත්සහ කළේ මාව සංගීතයෙන් එළියට ඇදලා දාන්න කියන එක. ඒත් තාත්තා මට සංගීත භාණ්ඩ වාදනය කරන්න නම් ඉගැන්නුවා. මොකද මම හරි ආසයි එයා වාදනය කරන විදිහ බලාගෙන ඉන්න. මට ලැබුණු උපදෙස තමයි “පුතේ,මේ ලෝකේ ඔයාට කරන්න වෙන මොනවා හරි රස්සාවක් හොයා ගන්න. වෙන කරන්න කිසි ම දෙයක් ඉතිරි නොවුණොත් විතරක් සංගීතය ළං කර ගන්න. ඔයාගේ ජීවිතයේ පළවෙනි තැන ලැබෙන්න ඕනේ අධ්‍යාපනයට. අධ්‍යාපනය තියෙනවා නම් ලෝකේ ඕන ම තැනකට යන්න පුළුවනි” කියන එක.

ඇත්තට ම ඉතින් ඔයා කරන්න වෙන රස්සාවක් හොයා ගත්තා නේ. නිව් ජර්සි නගරයේ දී ඔයාට ලැබුණු හිප් – හොප් සංගීත අත්දැකීම කොහොමද?


මමත් ඉතින් අනිත් අය වගේ ම තමයි ඉගෙන ගත්තේ. ඔය පොඩි පොඩි මල් වතුවලට ගිහින් සිංදුවක් දෙකක් කියලා, වාදනයක් කරලා එහෙම. ඒත් හැරෙන්නත් කලින් මෙන්න මං ජනප‍්‍රිය වෙලා… මට හිප් – හොප් අල්ලලා යන්න එක හේතුවක් තමයි ඒක සංගීත භාණ්ඩ වාදනය කරමින් සිදු කරන ගායනයක් වීම. මම කළේ තනිය ම ඩ‍්‍රම් බීට්ස් හදාගෙන, ඒවා අප‍්‍රිකානු සංගීතයත් එක්ක එකතු කරපු එක. ඒ දවස්වල මම සංගීත නිෂ්පාදකවරයෙක්. හැබැයි ඇත්තට ම මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ වැඩ කරන අයටයි නිෂ්පාදකවරු කියලා කියන්නේ කියන එක. ඒ වැඬේ මට විනෝදයක් වුණා. මම සංගීතය ඇතුළේ කිමිදෙමින්, පරණ දේවල් එක්ක අලූත් දේවල් එකතු කරන්න උත්සහ කළා. මම හිතන්නේ මගේ සංගීතය ඔය තරම් ජනප‍්‍රිය වුණෙත් ස්වාභාවිකත්වය ඒකට එකතු කරපු නිසා වෙන්න ඕනේ.

ජනතාව ඔයා අනිත් රැප් සංගීතකරුවන් එක්ක සංසන්දනය කරනවා නේද?


ඔව්, ඒකේ වරදක් නැහැ. මම සෑහෙන්න කරදරවලට මුහුණ දීපු කෙනෙක්. හිරේ විලංගුවේත් වැටුණා. ඒත් මගේයි අනිත් අයගෙයි සංගීතය අතර මහා විශාල වෙනසක් නැහැ. එහෙම වුණත් මම හිතන විදිහට සංසන්දනය කරනවා නම් එයාලා දැන ගන්න ඕනේ මගේ ආකල්ප මොනවද කියන එක. මොකද ඒ ආකල්ප එයාලා හිතනවාට වඩා හුඟක් වෙනස්. මම දැන් ක්ෂේත‍්‍රයේ පරිණත පුද්ගලයෙක්. ඒ වගේ ම මට තියෙනවා ව්‍යාපාරික මනසක්. මගේ සාර්ථකත්වයට ලොකු ම හේතුව තමයි මම අනිත් අයගේ වැරදි දිහා බලලා, හරි දේ මොකක්ද කියන එක ඉගෙන ගැනීම.
මිනිස්සු ඔයාගේ අඳුරු අතීතය ගැන දන්නවා නම්, ඔයා මොන තරම් දක්ෂයෙක් වුණත් වැඩක් වෙන්නේ නැහැ. එයාලා ඔයා ගැන තක්සේරු කරන්නේ ඇත්ත තත්ත්වයට වඩා බොහොම අඩුවෙන්.

ඒකෝන්, මොකක්ද ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ?


ම්.. ම්.. හිරේ යන්න වුණු එක තමයි. හිර කූඩුව ඇතුළේ තනියම වාඩි වෙලා ඉද්දී මට හිතුණා, දෙවියනේ මගේ ජීවිතය මේතරම් කාලකණ්ණි වෙන්න ඉඩ හැරලා නිකම් බලන්න ඉන්න බැහැ කියලා. මේක වෙනස් කරන්න ම ඕනේ කියලා හිතුණා. හරියට හරි. ඔයාලා දන්නවාද? ඒ අදහසත් එක්ක තමයි මගේ ”ලොක්ඞ් අප්” ගීතය බිහි වෙන්නේ. ඒ දවස්වල මම කල්පනා කළා එළියට ගියාට පස්සේ මොකද කරන්නේ කියන එක. කෙටියෙන් කිව්වොත් මම ලොක්ඞ් අප් ගීතයේ සංගීතය නිර්මාණය කළෙත් හිරේ දී මයි. එදා මං දැන ගත්තා මම කවුද කියන එක.

ලොක්ඞ් අප් ගීතය හරි ජනප‍්‍රියයි නේ. මම අහලා තියෙනවා වෙනත් රටවල ගායකයොත් ඒ සින්දුව කියනවා. ඔයා තමන්ගේ ගීතයක් වෙන කෙනෙක් කියනවා අහලා පුදුම වුණු අවස්ථා තියෙනවා ද?


ඔව්, ජර්මනියේ. එයාලා හරියට ඉංගී‍්‍රසි කථා කරන්නෙත් නැහැ නේ. මම දවසක් එහෙ ගියාම, ජර්මන් රසිකයන් කිහිපදෙනෙක් මගේ ලොක්ඞ් අප් සිංදුවේ පද ටික මුල ඉඳන් අගට ම කිව්වා. ඊට පස්සේ ඇවිත් මට “හලෝ” කියලා අතට අත දුන්නා. ඒත් මට ඇත්තට ම තේරුණේ නැහැ එයාලා මොකක්ද කිව්වේ කියන එක (සිනා). මිනිස්සු පිස්සු හැදිලා වගේ මගේ සමහර සින්දුවලට කැමති වුණේ.

ඔයා කොහොමද මේ ගායනය, ගී පද රචනය, නිෂ්පාදනය වගේ හැම පැත්තක් ම සමබර කර ගන්නේ?


නිකම් ම. මම ඒ වෙලාවට හිතන්නේ ඒ දේ ගැන විතරයි. අදාළ වැඬේ විතරක් කරනවා. ඕනවට වඩා මනස වෙහෙසකාරී වුණා ම නම් පොඩි වෙනසක් වුවමනා වෙනවා තමයි. එහෙම නැතුව ඔහේ කරගෙන ගියා ම වැඬේ ඉවරයි. සමහර වෙලාවට මම කාව හරි තියා ගන්නවා මගේ වැඩ ටිකක් පිළිවෙළ කරලා දෙන්න. ඒ කෙනාට පඩියක් ගෙවලා මේ මේ වැඬේ, මේ මේ වෙලාවට මෙතන කරලා තියන්න කිව්වම හරි. එතකොට මට පුළුවන් වැඩ පවරලා දීලා, පාඩුවේ ඉන්න.

කලින් ඔයාගේ එක ගීත ඇල්බමයක් නම් කරලා තිබුණේ ”ඇක්විටඩ්” කියලා. ඇයි පස්සේ ඒක ”ෆ‍්‍රීඩම්” කියලා වෙනස් කළේ?


ඇක්විටඞ් කියන නම නිසා රසිකයන්ට ඇල්බමය ගැන ලැබුණේ් පසුගාමී ආකල්පයක්, ණයකාරයන් ගැන හැගීමක් (ඇක්විටඩ් = ණයෙන් නිදහස් කළ) ඒ හැගීම ඇති කළේ මාධ්‍යය විසින්. මොකද ප‍්‍රචාරණයේ දී එයාලා අපි සමාජයට දෙන්න උත්සහ කරපු ආකල්පය වෙනස් කළා. ටික දවසක් යද්දී රසිකයන්ට මේ ඇල්බමයේ තියෙන ගීත ගැන අසුබවාදී ආකල්ප ඇති වෙන්න පටන් ගත්තු බව අපට තේරුණා. ඒ නිසා නම වෙනස් කළා. ෆ‍්‍රීඩම් (නිදහස) කිව්වාම දැනෙන හැගීම ඊට වඩා හාත්පසින් ම වෙනස් නේ. අපට කියන්න ඕනේ වුණේ කෙනෙක් ප‍්‍රශ්නවලට මුහුණ දීලා, දඩුවම් විඳලා, අන්තිමේ දී ඒකෙන් නිදහස් වෙන බව. ඇක්විටඩ්ට වඩා ෆ‍්‍රීඩම් අපේ අදහසට හරියට ම ගැලපුණා.

ඒකෝන් කියන සංගීතවේදියා ගැන තව ටිකක් විස්තර කළොත්?


හිරේ දී මම හුඟක් මිනිසුන් නිරීක්ෂණය කළා. මට හොඳට ම තේරුණා එයාලා හැම දෙනෙක් ම විශිෂ්ට හැකියා තියෙන අය කියලා. ඊට පස්සේ මම කල්පනා කළා ඒ තරම් අපූරු මිනිස්සුන්ගේ ජීවිත ඇයි මේ වගේ තැනකින් නතර වුණේ? කියලා. ඒත් එක්ක ම මම මගෙනුත් ඒ ප‍්‍රශ්නය ම ඇහුවා. ඒ හැම දේකම ප‍්‍රතිඵලයක් විදිහට තමයි අද ඒකෝන් කියලා පුද්ගලයෙක් බිහි වෙලා ඉන්නේ.

ශ‍්‍රීනි ලංකා ජයකොඩි