Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මං හිරකාරියක්….

බටහිර සංගීතයට පි‍්‍රය කරන්නෙකු නම් ඔබ මේ වන විටත් මිස්ටර් සැක්සෝබීට් ගීතය අසා ඇතිවාට සැක නැත. නිසංසල ව අසුන් ගෙන සිටීමටවත් නොහැකි අන්දමින්, වේග රිද්මයානුකුල ව සැකසී ඇති සංගීත රටාවක් ඇතුළත් එම ගීතයේ නිර්මාතෘවරිය ඇලෙක්සැන්ඩ‍්‍රා ස්ටෑන්.

ඔයාගේ මිස්ටර් සැක්සෝබීට් ගීතය යුරෝපය පුරා විතරක් නෙවෙයි, හොලිවුඩයේ වගේ ම දකුණු ඇමරිකාවේත් ආසියාවේත් ජනප‍්‍රිය වුණා නේද?
අනේ මන්දා. දකින දකින අය මගෙන් අහන්නේ ඔය ප‍්‍රශ්නයම යි. ඇත්තට ම මට පුදුම සතුටක් දැනෙනවා. ඒ වගේ ම සමහර වෙලාවට හිතා ගන්න බැහැ රසිකයන් මාව මේ තරමට අගය කරනවාද කියලා. ඒ විතරක් නෙවෙයි. මගේ අන්ලොක්ඩ් (2014), ඇලෙස්ටා (2016), මමී (2018) සින්දු සෙට් එකත් හරි ම ජනප්‍රිය යි.

සමහර රටවල ඔයාගේ සින්දු ජනප‍්‍රිය ම ගීත 16 අතරට ඇවිත් තියෙනවා. ගියේ නැද්ද ඒ රසිකයින් හම්බ වෙන්න?
කිහිපයකට ම ගියා. ප‍්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය, තුර්කිය, ග‍්‍රීසිය, සයිප‍්‍රසය, ඔස්ටි‍්‍රයාව, ඉතාලිය සහ ස්පාඤ්ඤය කියන රටවල්වල ඉන්න රසිකයන් හම්බ වුණා. ආසියාකරය පැත්තේ යන්නත් බලාපොරොත්තු වෙනවා.

ඔයා රොමේනියානු ජාතිකයෙක් ලූ නේද?
ඔව්, කොස්ටානියාවේ. ඒක කළු මුහුද ළඟ තියෙන හරි ලස්සන රටක්. මේ දවස්වල මං සැලසුම් කරමින් ඉන්නේ මුහුද ළඟ නිවාඩුවක් ගත කරන්න යන විදිහ. ගෙදර හරි රස්නෙයි නේ.

රස්නේ කෙසේ වෙතත්, ඔයාගේ සින්දුවලින් වසන්තයේ උණුසුම දැනෙන බව සමහරු කියනවා. ඇත්ත ද?
ම්… මං නම් දන්නේ නැහැ. මිස්ටර් සැක්සෝබීට් ගීතය නම් එළි දැක්වුණේ වසන්ත කාලේ නෙවෙයි, නොවැම්බර් මාසේ. මට ආරංචියි මේ සින්දුව හුඟක් සමාජ ශාලාවල වාදනය වුණා කියලා. ඒ කියන්නේ මගේ සින්දුවලින් මිනිස්සුන්ට පොඩි ගැම්මක් ලැබෙනවා කියන එක නේ. හිතේ දුක ටිකකට අමතක කරලා, පුංචි සතුටක් ලබාගන්න, හිතේ හැටියට නටන්න මං අවස්ථාවක් හදලා දෙනවා. ඒ ගැන සතුටුයි.

මිස්ටර් සැක්සෝබීට් ගීතයට වීඩියෝ එකකුත් කළා නේද?
ඔව් නේ. ඒක නම් හරි ම විනෝදයි. වීඩියෝ එකේ දී මං හිරකාරියක්. ඒ වුණාට ගැහැනුන්ට උපතින් පිහිටලා තියෙනවා නේ මායම් කියලා ජාතියක්. ඒවායින් කිහිපයක් පෙන්නලා, මුරට ඉන්න පොලිස් නිළධාරියාවත් කූඩුවට දාලා, නිදහසේ හිරෙන් පැනලා යන්න අවස්ථාව ලැබෙනවා. ඒ වෙලාවේ මං රඟපෑවේ හැබෑ පොලිස් නිළධාරීන් සහ ප‍්‍රවීණ නළු නිළියන් කිහිප දෙනෙකුත් එක්ක. ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න ලැබීම ගැන නම් හරි ම තෘප්තියක් දැනෙනවා.

හැබෑ ජීවිතයේ දී කවදාවත් හිරේ ගිහින් නැද්ද?
අපෝ නෑ (සිනා). යන්න ලැබෙන්නත් එපා. අනික මං ඒ වගේ වැඩ කරන්නෙත් නැහැ නේ. දැන් බලන්න, මට රියදුරු බලපත‍්‍රයක් නැහැ. ඒ නිසා මං වාහන එළවන්නේ නැහැ. රොමේනියාවේ කෙනෙකුට හිරේ යන්න හරි ලේසියි. පුංචි වැරැද්දටත් නීතිය හරියට ම ක‍්‍රියාත්මක වෙනවා. ඒ නිසා ජනතාව හුඟාක් පරිස්සම් වෙනවා.

මේ වෙනකොට ඔයා අලූත් දෙයක් කරන්න හිතලා නැද්ද?
හිතලා තියෙන්නේ. රේන්බෝස් කියලා අලූත් සින්දුවක් කරන්න හිතාගෙන ඉන්නවා. මට කියන්න බැහැ ඒකත් කලින් ඒවා තරමට ම ජනප‍්‍රිය වෙයිද නැද්ද කියන එක. රසිකයින්ගේ අවශ්‍යතා වෙනස් නේ. ඒත් මං හැම තිස්සේ ම උත්සහ කරනවා එයාලට ඕන දේ දෙන්න. ඒ වෙනුවෙන් මං උපයෝගී කර ගන්නේ ෆේස්බුක් එක. අලුත් අදහසක් ආවට පස්සේ මං කරන්නේ ෆේස්බුක් වගේ වෙබ් අඩවියක් හරහා ඒ ගැන ලෝකය පුරා ම ඉන්න මගේ රසිකයින්ගෙන් අදහස් අහන එක. ඒ අදහස් ඔක්කොම එකතු කරලා, සුදුසු විදිහකට වෙනස් කරලා, නිර්මාණය එළි දක්වනවා.

සාමාන්‍යයෙන් ඔයාගේ සින්දුවලට සංගීතය සපයන්නෙත් ඔයාම ද?
නැහැ. ඇත්තට ම මට ඒකට වෙලාවක් නැහැ. මගේ ගෙදර සංගීතය මිශ‍්‍ර කරන්න පුළුවන් යන්ත‍්‍රයකුත් තියෙනවා. ඒත් ඒක පාවිච්චි කෙරෙන්නේ නැහැ. මං ඕක ගන්න හදනකොට හැමෝ ම කිව්වා එපා, ඕක නිකම් සල්ලි නාස්තියක් විතරයි කියලා. ඒත් මුරණ්ඩුකමට මං ඒක ඇහුවේ නැහැ නේ. ඒ දවස්වල හිතගෙන හිටියේ මගේ සංගීතය මම ම හදන්න. ඒත් දැන් ඒ යන්ත‍්‍රයෙන් කිසි ම ප‍්‍රයෝජනයක් නැහැ. අන්න මුල්ලකට දාලා තියෙනවා, දූවිලි බැඳෙන්න…

කාන්තාවක් හැටියට ඔයා වැඩිපුර ම කැමති පිරිසිඳු කරන්න ද? ඉවුම් පිහුම් කරන්න ද?
පිරිසිඳු කරන්න. උයන එක ප‍්‍රශ්නයක් නෙවෙයි, ඒත් උයන වෙලාවට කෑමවලින් එන සුවඳට මං ආස නැහැ. අනික හරි රස්නෙයි නේ. දන්නවද? මං විශ්වාස කරනවා පිරිසිඳු කිරීමෙන් අපේ මනසත් සන්සුන් වෙනවා කියලා. ඒ කියන්නේ සිතිවිලිත් පිරිසිඳු වෙනවා. මං හරි ද මන්දා.

සංගීත ක්ෂේත‍්‍රය ගත්තොත්, ඔයා කාත් එක්ක වැඩ කරන්නද වැඩිපුර ම කැමති?
එහෙම එකක් නැහැ. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා දවසක ගීත 12ක ඇල්බමයක් එළි දක්වන්න. ඒකේ විශේෂත්වය වෙන්නේ හැම ගීතයක් ම වෙනස් සංගීතඥයෙක් යටතේ සිදු කිරීම. ඒ කියන්නේ සින්දු 12ට සංගීතඥයින් 12 දෙනෙක්.

මේ ක්ෂේත‍්‍රයට එන්න කලින් මොනවද කළේ?
කලින් නම් මං නිකම්ම නිකන් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් විතරයි. මං කළමනාකරණ උපාධියක් තමයි කළේ. තුන් වෙනි අවුරුද්ද වෙනකල් ම ඉගෙන ගත්තා. හැබැයි දැන් නම් ඒ වැඬේ නවත්තන්න වෙලා තියෙන්නේ. ලෝකේ වටේ යන්න ගියා ම ඉගෙන ගන්න වෙලාවක් නැහැ.

කොහොමද සංගීතයට යොමු වුණේ?
ගෙදරින් තමයි මෙතනට යොමු කළේ. සාමාන්‍යයෙන් නම් වෙන්නේ ඒකේ අනිත් පැත්ත නේ. ඒත් පුංචි කාලේ ඉඳලා දෙමාපියන්ට දැනිලා තිබුණා මගේ කටහඩ ලස්සනයි කියලා. ඒ නිසා මේ අවුරුදු 23 තිස්සේ ම එයාලා කළේ “යන්න, ගිහින් මොකක් හරි නිර්මාණයක් කරන්න. ඔහොම ඉන්න එපා…” කිය කිය මාව සංගීතයට ම යොමු කරපු එක. අන්තිමේ දී මං රොමේනියාවේ ලොකු ම සංගීත සංදර්ශනය වන මමයියා ෆෙස්ටිවල් එකට ඉදිරිපත් වුණා. දෙමාපියන් හිතපු විදිහට සහ මං නොහිතපු විදිහට එක ජනප‍්‍රිය වුණා. දැන් ඉතින් අවුරුදු 11ක් විතර තිස්සේ මං වැඩ.

ශ‍්‍රීනි ලංකා ජයකොඩි

About The Author