Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මංගලගේ අවංකකම, දැනුම හා “දේශපාලන ඩිමෙන්ශියාව” – නන්දන වීරරත්න

ලංකාවේ ශ්‍රීලනීප සහ එජාප ආන්ඩු හතරක අවුරුදු 18 පුරා කැබිනට් ඇමති පදවි දැරූ මංගල සමරවීර “මාතර සමාජය” අමතා කල කතාව අප ඇසුවේ අලුත් යමක් දැන ගන්න හැකිවේ යයි විශ්වාසයෙනි.

මංගලගේ කතාව විනාඩි 28 පුරා දිවෙන දේශපාලන “මංගල කතාවක්” මිස අනෙකක් නොවේ. එපමණක් නොව ඔහු දේශපාලන පක්ෂපාතීත්වය අනුව දේශපාලන ඉතිහාසය ලියමින් ඔහු විශ්වාස කරන අනුගාමිකයන් විපතට හෙලන්නේය.

නූතන ලංකා ඉතිහාසයේ දී රාජ්‍ය යන්ත්‍රයට වැඩිම සේවක පිරිසක් ස්වකීය දේශපාලන හිතවතුන් ගෙන් බඳවා ගත් දේශපාලනඥයා හැටියට ඉතිහාස ගතවන මංගල, තමා ද තම වර්තමාන නායකයා [රනිල් වික්‍රමසිංහ]ද පවුලේ උරුමයෙන් දේශපාලනය කරන බව මේ කතාවේ දී අමතක කරයි.

මංගල ලියන ඉතිහාසය අපි කෙටියෙන් විභාග කරමු.ලංකාවට නිදහස ලැබුනේ 1948 බවත් නිදහස ලැබී වසර 73ක් වන බවත් කියයි. ලංකාවට 1948 දී ලැබුනු ඩොමිනියන් තත්වය බව එක්කො මංගල නොදනී. නැතිනම් 1972 මැයි 22 දා ලංකාව ජන රජයක් කිරීම ඔහු නුරුස්සයි.1956 තෙක් ලංකා භාන්ඩාගාරයේ ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් තිබූ බව කියයි.

ඔහුට 1953 අගෝස්තු හර්තාලය ඇතිවූයේ මන්දයි අමතකය. නැතිනම් ඔහු ඒ ඉතිහාසය නොදන්නේය. 53 මහා හර්තාලය පැමිණියේ ඩඩ්ලි සේනනායක ආන්ඩුව සත 25 හාල් සේරුව ශත 70 දක්වා වැඩි කිරීමත් සමඟය. සලාක හාලෙන් යැපුණු ලංකාවේ දිළින්දෝ එකල “මංගල ගේ මිල සුත්‍රය “ නොදැන සිටි නිසා සියයක් පමණ දෙනා පොලිස් වෙඩිකා නසිද්දීත් හර්තාලයක් පැවැත් වූහ.

එකල පොලිසියේ ස්වාධිනත්වය ගැන කතා කරන මංගලට 1962 රාජ්‍ය පෙරලීමේ පොලිස් සහ හමුදා කුමන්ත්‍රණය අමතක වෙයි. සමහරවිට මෙකල මහානාම සමරවීර [මංගලගේ තාත්තා] පාර්ලිමේන්තුවේ සිටි නිසා මේ කාරණා අමතක වන්නට ඇත.

වැරදීවත් මංගල කේ. එන්. ද සිල්වා ලීයූ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය කියවා තිබුනේ නම් මේ හමුදා කුමන්ත්‍රණය ලංකාවේ ලිබරල් වීරයා වූ ඩඩ්ලි සේනානායක දැන සිටි බව ජේ.ආර්. ගෙන්ම දැන ගන්නට තිබුණි.

අඩුම තරමින් 1988/89 එජාප ආණ්ඩුවේ තිරස්චීන තරුණ ඝාතන වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණ තැනීමට හවුල් වූ මංගල සමරවීර “දේශපාලන ඩිමෙන්ශියාවෙන්’ නොපෙලෙන්නේ නම් ඒ වග සිහිකරන්නට ඉඩ තිබිණි.

පිය උරුමයෙන් දේශපාලන කලාට මදිය. අඩුම තරමින් තමන් පාලනයට හවුල් වූ රටේ නූතන ඉතිහාසයවත් දේශපාලකයන් කියවිය යුතුය. නැතිනම් දන්නා කෙනෙක් ලවා කතාව ලියවා ගත යුතුය.

නූතන සිංහල බෞද්ධ ජාතිකවාදය ඕපපාතිකව තිබෙද්දී සොලොමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක කරතියා ගත්තක් නොවේ. එයට ඉතිහාසයක් තිබේ. එම ඉතිහාසය අඩුම තරමින් “වජිරාරාමය” ට වත් ගොස් විමසිල්ලේන් ඉගෙන ගත්තොත් මංගලට තවත් කාලයක් දේශපාලනය කිරීමට හැකි වනේය.

නැතිනම් සිදුවන්නේ තරඟ කිරීමෙන් ඉල්ලා අස්වෙන්නටය.[මෙහිදී චන්ද්‍රිකා කුමරතුංග බණ්ඩාරනායක ආණ්ඩු සමයේ මංගල හවුල් වූ දේශපාලන අපරාධ හිතාමතාම මතක් කළේ පාඨක හිත සුව පිණිසය.]

© නන්දන වීරරත්න