Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බේරූට්හි පිපිරීමක්.

ලෙබනනයේ බේරූට් නගර මධ්‍යයේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් සියයකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් දහස් ගණනකට තුවාල සිදු ව තිබේ. අඟහරුවාදා රාත්‍රියේ සිදු වූ මෙම පිපිරීමෙන් නගරය පුරා ගොඩනැගිලිවල ජනේල පුපුරා ගියේ ය. 

බේරූට් වරාය අසල ඇති වූ පිපිරීමෙන් විශාල වලාකුළු හැඩැති කම්පන තරංගයක් හට ගත් බව පැවසේ. කාර් පෙරළී ගිය අතර දුර බැහැර පිහිටි ගොඩනැගිලිවලට පවා හානි සිදු විය. එය සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි සයිප්‍රසයට ද දැනුණු අතර ලෙබනන් අගනුවර තුළ රික්ටර් මාපක 3.3ක කම්පන තත්ත්වයක් ඇති විය.

ලෙබනනයේ අග්‍රාමාත්‍ය “හසන් ඩයබ්” මහතා පැවසුවේ පොහොර හා බෝම්බ සඳහා භාවිතා කරන අතිශය පුපුරන ද්‍රව්‍යයක් වන “ඇමෝනියම් නයිට්රේට්” ටොන් 2,750ක් වසර 6 ක් තිස්සේ ආරක්ෂිත පියවරයන් නොමැතිව වරාය ගබඩාවක ගබඩා කර තිබූ බව ය. ඒවා පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බවත්, මෙයට පෙරත් ඒවා එතැනින් ඉවත් කරන ලෙස තමා පැවසූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය. 

සුන්බුන් වලින් තවත් සිරුරු බොහොමයක් පිටතට ඇද ගනිමින පවතින බැවින් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව දිගටම ඉහළ යනු ඇත. පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 4,000ක් පමණ තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍ය “හමාඩ් හසන්” මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. “මේ වන විට බොහෝ දෙනෙකු අතුරුදහන් වී තිබේ. ජනතාව තම ආදරණීයයන් පිළිබඳ හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තුවෙන් විමසමින් පවතින අතර විදුලිය නොමැති නිසා රාත්‍රියේදී සෙවීම ද දුෂ්කර ය. අප සැබෑ ව්‍යසනයකට මුහුණ දී සිටින අතර හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වනු ඇත.”

පිපිරීමෙන් පසු නගරය පුරා රතු වලාකුළක් පා වෙමින් තිබුණි. ඉන් පැය කිහිපයකට පසු ගිනි නිවන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ආරම්භක ගින්න නිවා දැමීමට උත්සාහ කළහ. එම ස්ථානය අවට තුවාල ලැබූවන් අගනුවර වීදි හරහා ගෙන යමින් පවතින අතර ගිලන්රථ, කාර් සහ හමුදා වාහන තුවාලකරුවන්ගෙන් පිරී තිබේ. අවම වශයෙන් ගිනි නිවන භටයන් 10 දෙනෙකු අතුරුදහන් වී ඇති බව නගර ආණ්ඩුකාර “මර්වාන් අබූඩ්” පවසයි. “මගේ ජීවිත කාලය පුරාවට මේ තරම් විශාල විනාශයක් දැකලා නැහැ,” අබූඩ් පැවසීය.

මේ වන විට ඕස්⁣ට්‍රේලියානු තානාපති කාර්යාලය සියයට අසූවකින් පමණ විනාශ වී ඇති අතර බේරූට්හි ප්‍රධාන රෝහල ද ජලයෙන් යට වී ඇති බව කියවේ. අධික දුමාරය හේතුවෙන් ජනතාවට නිවෙස් තුළට ම වී සිටින ලෙසත් මුඛ ආවරණ පළඳින ලෙසත් රජයෙන් උපදෙස් ලබා දී තිබේ. රතුකුරුස සංවිධානය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කරමින් පවතී.