Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බිස්නස් මාෆියාවෙන් ජනතාව මුදා ගත යුතු නොවන්නේද ? – කීර්ති තෙන්නකෝන්

නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල වගාබිම්වල කුණුවෙන එළවළු ගම්පහ, කොළඹ රැ. 260 ට විකුණන ‘බිස්නස් මාෆියාවෙන්‘ බස්නාහිර දිළිදු ජනතාව මුදාගත යුතුයි

කොළඹ මැනිං වෙළෙදපොල වෙත රැගෙන ආ එළවළු ලොරි දඹුල්ල, වැලිමඩ ට ආපසු හරවා යැවීමත් සමඟ නුවරඑළිය, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, හඟුරන්කෙත, වලපනේ, පුත්තලම එළවළු මිල අද තවත් පහත වැටී තිබෙනවා.

‘තක්කාලි, රාඹු, ගෝවා ඇතුළු උඩරට එළවළු දැන් වගා බිම්වල විනාශ වෙමින් යනවා. අස්වැන්න නෙළන්නට හෝ ගොවින් උත්සහ කරන්නේ නෑ. වගා බිම්වල විනාශ වෙමින් යන අස්වැන්න බඩගින්නේ සිටින බස්නාහිර මිනිසුන් වෙත ගෙනයන්නට රජය වැඩ පිළිවෙළක් යෙදීම අත්‍යවශයි.

බදුල්ල දිස්ත්‍රිකයෙන් ඊයේ පැමිණි ලොරි 84 කින් ලොරි 78 ක් ආපසු හරවා එවා තිබුණා. අඩුම ගානේ ඇදිරි නීතිය නැති ස්ථානවල වත් මේ එළවළු වෙළෙදාම් කරන්නට ඉඩක් ලැබුණේ නෑ. පොලිසිය, හමුදාවට එළවළු වෙළදාම පාලනය කරන්න බෑ. ඒකට නිදහස් වෙළෙද ක්‍රමයක් තියෙන්නට අවශ්‍යයි. නැතිනම්, රජය මැදිහත්වී මේ එළවළු නොමිලේ හෝ බෙදා දිය යුතුයි.

සිංහල අලුත් අවුරුද්දට කොළඹ අන්ත දිළින්දන්ට වට්ටක්කා, බටු ටිකක් වත් ලැබුණා. දැන් මේ උඩරට කුණුවෙන එළවළු ටික කොළඹ, ගම්පහ, කළුතරට බෙදන්නට මිනිස්සු බඩගින්නේ මැරෙනකම් ආණ්ඩුව බලාගෙන ඉන්නවාද? කියන ප්‍රශ්නය අපිට තියනවා.

වැලිමඩ, බණ්ඩාරවෙල අද රාබු කිලෝවක් රු. 15, ගෝවා 25, බෝංචි රු. 40, තක්කාලි රු. 20 දක්වා තොග වැටී තිබෙනවා. එළවළු විකුණන්නේ කිලෝ ගානට නොව ගෝනී ගානටයි. අස්වනු නෙලන්නට, වෙළෙදපොලට ගෙන එන්නට එයට වැඩි පිරිවැයක් දරන්නට වෙළා තියෙනවා. ගොවීන් අස්වනු නෙළීම අතහැර දමා තිබෙනවා.

කොළඹ සුපිරි වෙළද සංකීර්ණවල රු. 260 ට අඩු කිසිදු එළවළුවක් නෑ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ දෛනික අවශ්‍යතා සැපයීමට කිසිදු වැඩපිළිවෙලක් රජයට නෑ. බස්නාහිර එළවළු වෙළෙදසැල්, පොල, නිවසින් නිවසට එළවළු විකුණන වෙළෙන්දන්නට අවශ්‍ය එළවළු සැපයීමට පොලීසිය ඉඩ දෙන්නේ නෑ. මුදල් තිබෙන මැද පන්තියේ මිනිස්සු ‘ඔන් ලයින්‘ එළවළු ගන්නවා. අන්ත අසරණ මිනිස්සු ‘බඩගින්නේ ඉන්නවා‘.

උඩරට එළවළු අතිරික්තය බස්නාහිරට බෙදාදීම සඳහා රජයේ කිසිදු නිලධාරියෙක්, දේශපාලනඥයෙක් මැදිහත් වෙන්නේ නෑ.

වෙනදා පළාත් සභා, දිසාපතිවරු, ප්‍රා දේශීය ලේකම්වරු මේ ප්‍රශ්න විසඳනවා. අද පොලීසියයි, හමුදාවයි හැම ප්‍රශ්නයම විසඳන්න දාලා ගොවියයි, පාරිභෝගිකයයි දෙන්නම විනාශ වෙලා තියෙනවා මේකේ වගකීම රජය ගත යුතුයි.

නැත්නම් අහිංසක ජනතාව බරපතල ආර්ථික වගේම පෝෂණ අර්බුදයකටත් මුණ දෙනවා.

© කීර්ති තෙන්නකොන්