Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැට් මෑන්ට කොරෝනා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රූගත කිරීම මාස හයක් පමණ පමා වූ “බැට්මෑන්” නවතම චිත්‍රපටය නැවත වරක් නැවැත්වීමට නිෂ්පාදක මණ්ඩලය හට සිදු වී තිබේ. ඒ සුප්‍රකට නළුවෙකු වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සිදු කරනු ලබන රොබර්ට් පැටින්සන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි.

එක්සත් රාජධානියේ මාධ්‍ය ඒකකයට අනුව චිත්‍රපටයෙ නිෂ්පාදන සමාගම වන “වෝර්නර් බ්‍රදර්ස්” විසින් මෙම කරුණ තහවුරු කොට නිවේදනයක් නිකුත් කර තිබේ. සැබවින් ම ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායමෙන් එක් අයෙකුට මෙම ගැටලුව ඇති වී තිබෙන බව පමණි. එහි රොබර්ට්⁣ගේ නම සඳහන් නොකිරීමට තරම් ඔවුන් ප්‍රවේශම් සහගත වී තිබිණි. 

මෙම වසර මුල් භාගයේ “ග්ලාස්ගොව්” ප්‍රදේශයේ දී චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුව ද, කොවිඩ් වසංගතය හේතුවෙන් එය හදිසියේ ම අත්හිටවිණි. මුල දී 2021 ජුනි මස දී එළි දැක්වීමට නියමිත ව තිබූ චිත්‍රපටය,පසුව 2021 ඔක්තොම්බර් මස දක්වා කල් තැබිණි. වත්මන් ගැටලුව අනුව එය කෙදිනක සිදු වේ දැයි නිවැරදි ව පැවසිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

නවතම බැට්මෑන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ මැට් රීව්ස් ය. මෙයට පෙර ගොතම් නගරයේ වීරයා ලෙස කටයුතු කළ ක්‍රිස්ටියන් බේල්, බෙන් ඇෆ්ලෙක්, මයිකල් කීටන්, ජෝර්ජ් ක්ලූනි වැන්නවුන්ගේ අඩිපාරේ ගමන් කිරීමට රොබර්ට් පැටින්සන් ගන්නා වූ උත්සාහය පිළිබඳ දැක ගැනීමට ප්‍රේක්ෂකයන් හට තවත් බොහෝ කලක් බලා සිටීමට සිදු වනු ඇත.

About The Author