Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බ්‍රිතාන්‍ය රැජිනකගේ කාර්යයභාරය.

Queen Elizabeth II visits the Royal British Legion Industries village to celebrate the charity's centenary year on November 6, 2019 in Aylesford, England.

දෙවන එලිසබෙත් රැජින යනු පෘථිවියේ වඩාත් ප්‍රසිද්ධ හා අගය කෙරෙන පුද්ගලයෙකි. 1952 සිට එක්සත් රාජධානියේ නාමික නායිකාව ලෙස ඇගේ බලපෑම ලොව පුරා කතාබහට ලක් වෙයි.

 ඇය රටේ දීර්ඝතම කාලයක් සේවය කළ රැජිනිය යි. එහෙත් එම දැවැන්ත බලපෑම තිබිය දීත්, රැජිනට බ්‍රිතාන්‍ය රජය තුළ සැබෑ බලයක් නොමැත. රාජාණ්ඩුව වසර සිය ගණනක් පුරා ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන අතරතුර දී ඇගේ භූමිකාව බොහෝ දුරට සංකේතාත්මක බවට පත් වී තිබේ.

 රාජාණ්ඩුවේ ඓතිහාසික බලතල.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉංග්‍රීසි රාජාණ්ඩුව විශාල බලයක් දැරූ නමුත් ඉතිහාසය අනුව එම බලයට අභියෝග පැමිණ තිබෙන අතර එමඟින් වංශාධිපතීන්ට සහන ලබා දී තිබේ. 1215 දී ජෝන් රජු විසින් මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් කෙරිණි. එයින් රාජාණ්ඩුවේ බලතලවලට සීමාවන් ඇති බව පිළිගැනුණු අතර, තීරණාත්මක ලෙස, ආගමික නිලධාරීන්ගේ සහ වැඩවසම් ස්වාමිවරුන්ගේ කවුන්සිලයක අවසරයකින් තොරව ඔටුන්න සඳහා බදු අය කළ නොහැකි බව තහවුරු කෙරිණි.  ධනවත් හා බලවත් පුද්ගලයින්ගේ කවුන්සිලය පාර්ලිමේන්තුව දක්වා විකාශනය වූ අතර, එය ක්‍රමයෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන තත්ත්වයට පත් විය. ඉංග්‍රීසි ජාතිකයන් එක් ව ආරවුල් විසඳීමට සහ ඔවුන් වෙනුවෙන් පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා සිය නගරයෙන් තෝරා ගත් නියෝජිතයින් පාර්ලිමේන්තුව වෙත යැවීමට පටන් ගත්හ.

පාර්ලිමේන්තුවේ කාර්යභාරය රඳා පවතින්නේ රජතුමාට එය ලබා දීමට කොපමණ බලයක් අවශ්‍යද යන්න සහ ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ සහාය කොපමණ අවශ්‍යද යන්න මත ය. පළමුවන චාල්ස් රජතුමා දශකයකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නොමැති ව රට පාලනය කළේය. ඔහුගේ හිස ගසා දැමීම සහ 1649 දී රාජාණ්ඩුව අහෝසි කිරීමත් සමඟ විප්ලවීය සිදුවීම් ආරම්භ විය. 1660 දී රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් වන තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් රජෙකු නොමැති ව රට පාලනය කළේය.

1688 සිදු වූ විප්ලවයේ දී පාර්ලිමේන්තුව දෙවන විලියම්ට සහ ඔහුගේ බිරිඳ II වන මේරිට ආරාධනා කළේ එංගලන්තය ආක්‍රමණය කර පරම බලය අවශ්‍ය වූ දෙවන ජේම්ස් රජු බලයෙන් පහ කරන ලෙස යි. විලියම් සහ මේරි පසුව පාර්ලිමේන්තුව නිතිපතා පැවැත්විය යුතු යැයි නීත්‍යානුකූලව ඉල්ලා සිටි අයිතිවාසිකම් පනතට එකඟ වූ අතර පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ පූර්ණ නිදහස ලබා දුන්හ. එනම් සිවිල් නිදහස ඇති කළහ. ඇමරිකා එක්සත් ජනපදය හා සමාන තනි ලිඛිත ව්‍යවස්ථාවක් බ්‍රිතාන්‍යයට නොමැත. එනමුත් මැග්නා කාර්ටා සහ අයිතිවාසිකම් පනත වැනි පදනම් ලේඛන ⁣විසින් නිළ වශයෙන් ඔටුන්නෙන් බලය ලබා ගැනුණු අතර, එම බලය පාර්ලිමේන්තුවට ලබා දෙන ලදී.

මෙසේ සියවස් ගණනාවක් පුරා පහළ සභාව වන “හවුස් ඔෆ් කොමන්ස්’ හෙවත් පාර්ලිමේන්තුව වඩාත් බලවත් විය. 1700 ගණන් වන විට, බදු ආරම්භ කිරීමේ එකම අයිතිය කොමන්ස් විසින් ලබාගෙන තිබුණු අතර, එයින් අදහස් වන්නේ බොහෝ දෙනෙකුට එතුවක් ඡන්දය දීමට නොහැකි වුවද, තේරී පත් වූ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් විසින් රජයේ මුදල් පසුම්බිය පාලනය කළ බව යි.

රජයක් පිහිටුවීමට ඔහු හෝ ඇය කැමති ඕනෑ ම කෙනෙකුට “ආරාධනා” කිරීමේ අයිතිය රජතුමා සතුව තිබිණි. එනමුත් මෙම “අගමැති” රජු හෝ රැජින විසින් තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් කෙරුණේ අවිධිමත් ලෙස ය. ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ ඔටුන්න සැමවිටම මෙම “ආරාධනය” පාර්ලිමේන්තුව පාලනය කරන පක්ෂයේ නායකයාට ලබා දී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙකු තමා කැමති අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැනවීම සඳහා අවසන් වරට උත්සාහ කර තිබුණේ 1834 දී ය. ඒ අනුව, නියෝජිත ආණ්ඩුව “ඇගේ නමින්” පාලනය වන බව කියනු ලබන අතර, රාජ්‍යයේ බොහෝ කාර්යයන් සඳහා ඇගේ විධිමත් අනුමැතිය අවශ්‍ය වේ. නමුත් රැජින විවේචනය කිරීම, බාධා කිරීම හෝ පාර්ලිමේන්තුවේ කැමැත්තට එකඟ වීමට අපොහොසත් වීම යනු සියවසකට වැඩි කාලයක් පුරා පැවති සම්ප්‍රදාය උල්ලංඝණය කිරීමක් වනු ඇත.

අද රජයේ රැජිනගේ භූමිකාව.

හයවන ජෝර්ජ් රජුට සහ එලිසබෙත් බෝව්ස්ලයන් ආර්යාවට දාව 1926 අප්‍රේල් මස 21 වනදා මේෆෙයාර් හීදී උපන් එළිසබෙත් ඇලෙක්සන්ඩ්‍රා මේරි හෙවත් දෙවන එළිසබෙත්, 1952 පෙබරවාරී 6 වන දින බ්‍රිතාන්‍ය රැජින ලෙස ඔටුනු පලඳින්නේ 1952 පෙබරවාරි 6 වනදා සිදු වූ 6 වන ජෝර්ජ් රජුගේ මිය යාමත් සමඟ ය.

මේ වන විට රාජ්‍ය පාලනය සිදුවන්නේ  ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙළින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ.

වර්තමාන දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ජාතික හා ජාත්‍යන්තර වේදිකාවේ දී එක්සත් රාජධානියේ ඉහළ ම නියෝජිතයා වේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධානියා අගමැති ය.  එක පුද්ගලයෙකු රටේ සංකේතය ලෙසත් අනෙක් පුද්ගලයා රජයේ ප්‍රධාන විධායකයා ලෙසත් සේවය කරන බව පෙනේ.

රාජ්‍ය නායකයා ලෙස ඇයගේ භූමිකාව තුළ, දෙවන එළිසබෙත් මහ රැජින සෑම නව පාර්ලිමේන්තුවක් විවෘත කිරීමේ අවස්ථාවේ දී ම අනිවාර්යයෙන් දේශනයක් පවත්වන අතර නිවාඩු සහ විශේෂ අවස්ථාවල දී නිළ වශයෙන් පෙනී සිටිමින් කථා කරයි. රැජින අග්‍රාමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන අතර සියලු වැදගත් ජාතික කාරණා පිළිබඳ නිරන්තරයෙන් විස්තර සාකච්ඡා කරනු ලැබේ. එහෙත් කිසි විටෙකත් ඇය දේශපාලන විවාදයන් අතරට පැමිණෙන්නේවත්, ⁣දෙපාර්ශවයෙන් එක් අයෙකු ගැනවත් ප්‍රසිද්ධියේ කතා කරන්නේවත් නැත.

රාජකීය පවුල සිය දේශපාලන බලතල බොහොමයක් භුක්ති විඳින අතරතුර, එලිසබෙත් රැජින විසින් ඇගේ සැමියාට මෙන් ම ඇගේ දරුවන් හට ද විවිධාකාර පුණ්‍යායතනවලට තම තමාගෙන් ඉටු විය යුතු කාර්යභාරය පිළිබඳ අවධාරණය කර ඇත. රැජින මේ වන විට පුණ්‍යායතන 600කට අධික සංඛ්‍යාවක අනුග්‍රාහකයා බවට පත් ව සිටින අතර, මෙම භූමිකාව බොහෝ දුරට මුදල් ලබා දීමට සහ අවධානය යොමු කිරීමට පමණක් සීමා වෙයි. COVID-19 වසංගතය ඇතුළු ව මෑත බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඇති වූ විශාල අර්බුද කිහිපයක දී ඇය මහජනතාව අතරට පැමිණ සිටීම සැමගේ ප්‍රශංසාවට ලක් විය.

1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ බ්‍රිතාන්‍යයට අයිතිව තිබූ බව සඳහන් වේ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බ්‍රිතාන්‍යයේ ගෝලීය අධිරාජ්‍යය බිඳ වැටෙද්දී, ඔවුන් සතුව තිබූ යටත් විජිත ගණනාවකට නිදහස ලබා දෙන බව ප්‍රකාශයට පත් කළ නමුත්, එම රටවලින් සියල්ලක් ම පාහේ පොදුරාජ්‍ය මණ්ඩලයට ඇතුළත් කර ගැනිණි. එම මණ්ඩලයේ  ප්‍රමුඛයා බ්‍රිතාන්‍යයේ මහ රජු හෝ රැජින විය යුතු වේ. ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ලොව පුරා බොහෝ දූපත්වල වෙසෙන ජාතීන් දහතුනක් 1953 දී මෙම “පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන්” යටතට පත් වූහ. එයින් සමහරෙක් තවමත් සිය ජනතාව එළිසබෙත් රැජිනගේ යටත් වැසියන් ලෙස සලකති. දෙවන එලිසබෙත් රැජින මෙම ජාතීන් බොහොමයක මුදල් පරිපාලිකාව ලෙස පෙනී සිටින අතර ඇය එම රටවල සංචාරය කිරීම සාමාන්‍යයෙන් උත්සවාකාරයෙන් සැමරීමට හේතුවක් වේ. එනමුත් අදාළ රටවල් තුළ ඇගේ රාජකාරිය ද මව් රටෙහි මෙන් මුළුමනින් ම චාරිත්‍රානුකූල ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author