Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බය නැති මිනිස්සු.

සාමාන්‍යයෙන් ඔබේ සිතට බියක් දැනෙන්නේ කුමන අවස්ථාවල දී ද? ලොව වැඩි ම පිරිසක් බිය දක්වන්නේ මකුළුවන්ට බව සමීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. ඒ හැරුණු විට ඇතැම්හු හොල්මන්වලට, විශාල සතුන්ට, විශාල වාහනවලට, උස් ස්ථානවලට ආදී නොයෙක් මාදිලියේ කරුණුවලට බිය වෙති. කෙසේ වුවත් මෙලොව ජීවත් වන ඔබ අපි සියලු දෙනා අවම වශයෙන් එක් දෙයකට හෝ බිය වෙමු. අප ජීවිත කාලය පුරාවට ම බිය දැණුනු අවස්ථා අවම වශයෙන් එකක් හෝ තිබේ. එහෙත් මතක ඇති කාලයකින් කිසිදු බියක් නොදැනුණු, එමෙන් ම “බිය” යන සංකල්පය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති මිනිසුන් කොට්ඨාසයක් ද මෙලොව ජීවත් වන බව ඔබ දන්නවා ද?

ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ ජීවත් වන “එස්.එම්.” ලෙසින් හැඳින්වෙන එක් කාන්තාවක් වේවර්ලි හිල්ස් ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටින්නී ය. එය ලොව පුරා “හොල්මන්” ඇති බවට ප්‍රසිද්ධ වී ඇති ස්ථානයකි. මේ වන විට සංචාරක ආකර්ෂණයට බඳුන් වී ඇති මෙම ගොඩනැගිල්ල සෑම “හැලොවීන්” උත්සවයක දී ම හොල්මන් නිවසක් බවට පරිවර්තනය වේ. එය අලංකාර සැරසිලි, භයානක ශබ්ද සහ නළු නිළියන්ගෙන් පිරී තිබේ. සැඟවුණු අඳුරු ස්ථානවල සිට එක්වර ඇඟට පනිමින් නරඹන්නන් බිය කිරීමට රාක්ෂයෝ බොහෝ විට සමත් වෙති.

නමුත් එස්.එම්. පිළිබඳ තත්ත්වය වෙනස් ය. සමහරු එම ගොඩනැඟිල්ලේ හිස් කොරිඩෝවල ඇවිදීමටත් කලින් ම බියෙන් පසු වෙති. එහෙත් රාක්ෂයන් ලෙස හැඳගත් මිනිසුන් ඇඟට පනින විට, එස්.එම්. කිසි විටෙකත් බියෙන් කෑගසන්නේ නැත. ඒ වෙනුවට ඇය සිනාසෙමින්, ඔවුන් සමඟ කතා කරන්නී ය. ඇය ඇතැම් විට යක්ෂයින් එකිනෙකාගේ සිරුරු මතට තල්ලු කරමින් විහිළු ද කරන්නී ය.

එස්.එම්. යනු බියක් නොදැනෙන කාන්තාවකි. ඇය භීතියකින් තොර ව කිසියම් පුද්ගලයෙකුට පිහියකින් පවා ඇන තිබේ. සජීවී සර්පයන් සහ මකුළුවන් හට තමා කැමති නැති බව ඇය පැවසුව ද උන් මහා ගොඩක් පිරී ඇති කුටියක් තුළ දී පවා ඇය සතුටින් හැසිරෙනු ඇත. අතිශයින් බිය ගෙන දෙන චිත්‍රපට දර්ශන පවා ඇය කිසිදු චකිතයකින් තොර ව නරඹන්නී ය. 

මේ සියල්ලටම හේතුව ඇගේ මොළයේ ආමන්ඩ් හැඩැති “ඇමිග්ඩාලේ” නමැති ව්‍යුහය විනාශ වී තිබීම යි. අයෝවා විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරුන් වන රැල්ෆ් ඇඩොල්ෆ්ස්, ඇන්ටෝනියෝ ඩමසියෝ සහ ඩැනියෙල් ට්‍රැනෙල් ද දශකයකට වැඩි කාලයක් තිස්සේ එස්.එම්. සමඟ වැඩ කරමින් සිටිති. 44 හැවිරිදි තිදරු මවක් වන ඇය දුර්ලභ ජානමය රෝගයක් වන “අර්බැක් – වයිත්” නම් වූ රෝගයෙන් පෙළෙන්නී ය. ඒ හේතුවෙන් ඇගේ මොළයේ සමහර කොටස් විනාශ වී ඇත. මෙම හානිය චිත්තවේග සැකසීමට සම්බන්ධ මොළයේ කොටසක් වන “ඇමිග්ඩාලේ” නම් ව්‍යුහ පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. අදාළ රෝගය නිසා එබඳු කැපී පෙනෙන හානියක් පෙන්නුම් කරන කිහිප දෙනාගෙන් ඇය ද එක් අයෙකි.

එසේ වුවද, එස්.එම්.ගේ හැසිරීම සාමාන්‍ය වේ. ඇගේ භාෂාව සහ සංජානන කුසලතා මෙන්ම ඇගේ මතකය ද යහපත් ය. නමුත් ඇයට බිය සමඟ කටයුතු කිරීමේ දී යම් යම් ගැටළු ඇති වේ. 1994 වසරේ දී අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගනු ලැබුවේ එස්. එම් . හට වෙනත් පුද්ගලයින් තුළ පවතින භීතිය හඳුනා ගැනීමේ දී ද අපහසුතාවක් ඇති වන බව යි. බිය හැර වෙනත් හැඟීම් හඳුනා ගැනීමේ දී කිසිදු ගැටලුවක් නොවුව ද අනෙක් පුද්ගලයාගේ බියකරු මුහුණේ ඉරියව්වලින් අදහස් කරන්නේ කුමක්දැයි ඇයට කිව නොහැකි ය. ඇය දක්ෂ කලාකරුවෙකු වුව ද, බිය උපදවන මුහුණක් ඇඳීමට ඇයට නොහැකි ය. එස්. එම්. වරෙක කියා සිටියේ එවැනි මුහුණක් කෙබඳු වේදැයි තමා නොදන්නා බව යි.

වේවර්ලි හිල්ස් ප්‍රදේශයේ ඇය සිදු කළ සංචාරයේ දී, එස්.එම්. සිය බියෙහි මට්ටම ඇගයීමට ලක් කර ගත්තා ය. ඇය පැවසුවේ හොල්මන් දුටු විට රෝලර් කෝස්ටර් පැදවීමේ දී තමාට දැනෙන ආකාරයට ම ඇය උද්යෝගයට පත් වූ නමුත් කිසි විටෙකත් බිය නොවූ බව ය. ඇගේ බියපත් වීමේ ලකුණු සෑම විට ම ශුන්‍යව පැවතුනි. සර්පයන්ට හා මකුළුවන්ට වෛර කරන බව කියා සිටිය ද, ඇය සර්ප කූඩාරම වෙත ඇදී ගියා ය. “මෙයා හරි ම සීතලයි!” කියමින් විශාල මෙන් ම භයානක වූ ද සර්පයන් ස්පර්ශ කිරීම ඇයට විනෝදයක් ගෙන දුන්නේ ය.

ෆයින්ස්ටයින් විසින් එස්.එම්. හට ත්‍රාසජනක චිත්‍රපට කිහිපයක් පෙන් වූ විට, ඇය හැසිරුණේ සාමාන්‍ය පරිදි ය. ප්‍රීතිමත් දර්ශනවල දී සිනාසුණු ඈ පිළිකුල් දර්ශනවල දී කෑගැසුවා ය. එනමුත් බිහිසුණු දර්ශන දහයකට (“ද ෂයිනිං”, “සෙවන්” සහ “ද රින්ග්” යන චිත්‍රපට ද ඇතුළු ව) ප්‍රතිචාර වශයෙන් ඇය කිසිවක් කළේ නැත. ඇය භීෂණයේ කිසිදු සලකුණක් නොපෙන්වූ අතර කිසිවක් වාර්තා කළේ ද නැත. එම චිත්‍රපට බැලීමේ දී බොහෝ පිරිස් බිය වනු ඇතැයි කී නමුත් එස්.එම්. හට කිසිවක් දැනුණේ නැත.

මෙම හුදකලා අවස්ථාවන්හි දී එස්.එම්. දැක්වූ අසාමාන්‍ය ප්‍රතික්‍රියා ඇගේ එදිනෙදා ජීවිතය තුළ පවා පිළිබිඹු විය. පර්යේෂක කණ්ඩායම ඇයට “චිත්තවේගීය විද්‍යුත් දිනපොතක්” ලබා දී තම හැඟීම් එහි සටහන් කිරීමට සැලැස්වූහ. එම අවස්ථාවේ දී බිය හැර අනෙක් සෑම මූලික හැඟීමක්ම තමාට දැනුණු බව ඇය හඳුනා ගත්තා ය. ඇත්ත වශයෙන් ම දැනිය හැකි චිත්තවේග 50ක් සම්බන්ධ කොට ගෙන සිදු කෙරුණු පර්යේෂණයක දී මාස තුනක් තිස්සේ ඇය ශ්‍රේණිගත වූයේ “නිර්භය” ගණය යටතේ පමණි. එහෙත් සංසන්දනය කර බැලීම සඳහා ඔවුන් සතු ව නිරෝගී පුද්ගලයින්ගේ දත්ත නොතිබීම අවාසනාවක් විය.

එස්.එම්.ගේ වැඩිමහල් පුතු හට සිය මවට බියක් දැනුණු හෝ ඇය බියට පත් වූ බවක් පෙනෙන එක් අවස්ථාවක්වත් මතක නැත. ඔහු තමා කුඩා කල වූ සිදුවීමක් මතක් කරයි. “මමයි මගේ සහෝදරයොයි හැමදාම පාරෙ යනකොට සර්පයෙක් දකිනවා. ඒකා හරි ම ලොකු සර්පයෙක්! ඒත් අම්මා දවසක් එතනට දුවගෙන ගිහින් ඌව පාරෙන් එළියට අරගෙන ගිහින් තණකොළ උඩින් තියලා ඌට යන්න ඉඩ දුන්නා” එම අවස්ථාවේ දී ඇයට බියක් තබා බියක සේයාවක්වත් නොතිබූ බව පුතු පවසයි. ඇය නිතරම පවසන්නේ අන්‍යයන් සර්පයන් වැනි දේවලට බිය වන්නේ කෙසේ ද යන්න තමන්ට වටහා ගත නොහැකි බව යි.

එස්.එම්.ගේ ජීවිතයේ ත්‍රාසජනක සිදුවීම් අඩු ය. මෙයට වසර දහහතරකට පමණ පෙර රාත්‍රී 10ට ඇය කුඩා උද්‍යානයක් හරහා ගමන් කරමින් සිටිය දී හදිසියේ ම මිනිසෙකු ඇය ඇදගෙන ගොස් ගෙලට පිහියක් තබා “මම උඹව කපනවා, බැල්ලි!” යනුවෙන් තර්ජනය කළේ ය. එහෙත් එස්.එම්. කලබල නොවීය. ඇයට බියක් දැනුනේ නැත. පල්ලියේ ගායනා කණ්ඩායමක් තමන් සිටි තැනට නුදුරින් ගායනා කරන හඬ ඇසුණු ඇය, “ඔබ මාව මරන්න යනවා නම්, මුලින් මගේ දෙවියන්ගේ දූතයන් හරහා යා යුතුයි” කියා විශ්වාසයෙන් පැවසුවාය. තරුණියගේ හැඟීම් වටහා ගත නොහැකි වූ එම පුද්ගලයා බිය වී ඇයට යන්නට ඉඩ හැරියේ ය. ඊළඟ දවසේ ඇය කිසිදු චකිතයකින් තොර ව නැවතත් එම උද්‍යානය හරහා පිය නැඟුවා ය.

එය සැමවිටම මේ ආකාරයට ම සිදු නොවී ය. එස්. එම්. කුඩා දරුවෙකු ව සිටියෙ දී අඳුරට බිය වූවා ය. ඇගේ වැඩිමහල් සහෝදරයා ගසක් පිටුපස සිට හදිසියේ ම පැන විත් කෑගසමින් දිව යාම සහ විශාල ඩොබර්මන් බල්ලෙකු තමා පසුපස එළවාගෙන ඒමේ සිදුවීම ඇයට මතක ය. “මට ඇත්තටම බියක් දැනුණු එකම අවස්ථාව එයයි.” ඇය පවසන්නී ය. එහෙත් මේ සියලු සිදුවීම් සිදු වූයේ ඇගේ රෝගය විසින් ඇමිග්ඩාලේ ව්‍යුහය විනාශ කිරීමට පෙරය. ඒ හැරුණු කොට එස්. එම්.ගේ වැඩිහිටි ජීවිතය තුළ, ඇය පැහැදිලිව ම භීතිය අත්විඳි එක් මොහොතක්වත් සොයා ගැනීම දුෂ්කර ය.

අන්‍යයන් මෙවැනි ගුණ සහිත පුද්ගලයින් හඳුනා ගන්නේ වීරවරුන් ලෙස ය. එහෙත් සැබෑ කරුණ සොයා ගත් විට එය මානසික රෝගයක් බව පැහැදිලි වේ. අනතුරක් හමුවේ මෙවැනි පුද්ගලයින් කලබලයට හෝ කෝපයට පත් වේ. එනමුත් කිසි විටෙකත් බියට පත් නො වේ. මෙම රෝගය හේතුවෙන් අදාළ පුද්ගලයාගේ මොළයට සිදුවන හානිය නිසා ඔහු පශ්චාත් මානසික ආතතියට ගොදුරු වීමට ද හැකියාව තිබේ. එසේ ම මෙම රෝගයෙන් අදාළ පුද්ගලයාගේ මොළයේ අනෙකුත් කොටස්වලට තුවාල සිදු වන අතර, එමඟින් ඇමිග්ඩාලේ ව්‍යුහයට සිදුවන හානිය තව තවත් උග්‍ර කොට, බිය සඳහා අද්විතීය ප්‍රතිශක්තියක් නිපදවා දෙනු ලැබේ.

ඇමිග්ඩාලේ හට සිදුවන හානිය හේතුවෙන් බිය උපදවන දෙයක් දැකීමත් එය අනුව ක්‍රියා කිරීමත් අතර ඇති දාමය බිඳ දමයි. එය හොඳ දෙයක් ලෙස යමෙකුට පෙනේ නම්, නැවත සිතා බැලිය යුතු වේ. හාස්‍යජනක පොත්වල සඳහන් බිය ජය ගැනීමේ ක්‍රියාවලිය යනු සාර්ථක සුපරීක්ෂාකාරී ජීවන රටාවක් සඳහා හොඳ පදනමකි. එහෙත් සැබෑ ජීවිතයේ දී, එහි ප්‍රතිවිපාක බෙහෙවින් භයානක ය. ෆයින්ස්ටයින් ලියන පරිදි, “එස්.එම්.ගේ බිය රහිත හැසිරීම නිසා තමා මඟ හැරිය යුතු අනතුරුදායක ස්ථාන මොනවාදැයි ඇයට සිතා ගැනීමට නොහැකි වේ. එය භයානක ය. කිසියම් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වය වර්ධනය කිරීමේ දී ඇමිග්ඩාලා ව්‍යුහය මඟින් ඉටු කෙරෙන භූමිකාව අත්‍යවශ්‍ය ය. ඇත්ත වශයෙන් ම, ඇමිග්ඩාලා ව්‍යුහය නොමැති ව භීතියේ පරිණාමීය වටිනාකම ද නැති වී යන බව පෙනේ.”

ශ්‍රීනි ලංකා ජයකොඩි