Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බයිඩන්ගේ සහකාරිය කවුද?

මෙම වසරේ නොවැම්බරයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ මේ දිනවල කාගේත් කතාබහට ලක් වෙමින් පවතී. එහි දී ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ව සිටින “ජෝ බයිඩන්” පිළිබඳ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු දැල්වෙමින් ඇති බව පෙනේ. එබැවින් ඔහු තම සහකරු හෙවත්, උප ජනාධිපති තනතුරට පත් කර ගැනීමට නියමිත ව ඇති පුද්ගලයා කවුරුන් විය හැකි ද යන්න පිළිබඳ ද අවධානය යොමු වී තිබේ. 

මේ සඳහා කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී ඇත. එනම්,

කැලිෆෝනියාවේ සෙනෙට් සභික කමලා හැරිස්,          

හිටපු ජාතික ආරක්ෂක උපදේශක සුසාන් රයිස්,

මිචිගන් ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර්,

ඉලිනොයිස් සෙනෙට් සභික ටැමී ඩක්වර්ත්,

මැසචුසෙට්ස් සෙනෙට් සභික එලිසබෙත් වොරන්,

විස්කොන්සින් සෙනෙට් සභික ටැමී බෝල්ඩ්වින් සහ

ඇරිසෝනා සෙනෙට් සභික ක්‍රිස්ටන් සිනෙමා ය. 

මේ සියල්ලන් අතරින් ඉලිනොයිස් සෙනෙට් සභික ටැමී ඩක්වර්ත් වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ වැඩියක් ම ඇගේ ආබාධිත භාවය හේතුවෙනි. හිටපු හමුදා නිළධාරිණියක වන ඩක්වර්ත්ගේ දණහිසෙන් පහළ දෙපා නොමැති වීම හේතුවෙන් ඇය ගමන් ගන්නේ රෝද පුටුවකිනි. ඉරාන යුද්ධයේ දී ඇමරිකානු හමුදාව වෙනුවෙන් අතිවිශාල කර්තව්‍යයක් ඉටු කළ බවට පිළි ගැනෙන ඩක්වර්ත් මහත්මිය, තුවාල ලබා තිබෙන්නේ හෙලිකොප්ටරයක් තුළ දී වෙඩි වැදීමෙනි. එහෙත් ඇය වූ කලි ශක්තිමත් කාන්තාවකි. හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඩක්වර්ත් මහත්මිය රාජ්‍ය හා ජාතික මට්ටමින් ප්‍රවීණයන්ගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කළ අතර 2012 දී කොන්ග්‍රසයට තේරී පත් වූවාය. 2016 දී සෙනෙට් අසුනක් දිනාගත් ඇය ප්‍රාන්තයේ කනිෂ්ඨ සෙනෙට් සභිකයා බවට පත්වී ජනාධිපති බරක් ඔබාමාගේ අඩිපාරේ යමින් සිටින්නී ය. 

දක්ෂ සහකරුවෙකු තෝරා ගැනීම ඩිමොක්‍රටිකයින්ට වැදගත්කමක් ලබා දී ඇත්තේ බයිඩන් මහතාගේ වයස සහ ඔහුගේ භූමිකාව පිළිබඳ ඔහු ම කර තිබෙන තක්සේරුව නිසාය. බයිඩන්ගේ වයස අවුරුදු 77 ක් වන අතර ඔහු තේරී පත්වුවහොත් ධුර කාලය අවසන් වන විට ඔහුට වයස අවුරුදු 82 කි. බයිඩන් තමා “සංක්‍රාන්ති අපේක්ෂකයෙකු” ලෙස දකින අතර ඔහුගේ ආධාරකරුවන් පවා උපකල්පනය කරන්නේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් ඔහු කිසිසේත් දෙවන වාරයක් අපේක්ෂා නොකරනු ඇති බවයි. එහි යටි පෙළ අදහස වන්නේ බයිඩන්ගේ උප ජනාධිපති ලෙස සේවය කරන පුද්ගලයාට කවදා හෝ රටේ ජනාධිපති තනතුරට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව ය. එහෙත් ආසියානු ඇමරිකානු කාන්තාවක සහ ආබාධිතයෙකු වන (ඇය රට වෙනුවෙන් සේවය කළ බව සත්‍ය වුවත්) ටැමී ඩක්වර්ත් හට ජනාධිපති තනතුර දැරීමේ හැකියාව තිබේ ද?