2022 ජනවාරි 21

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස් ඇමති සරත් පිට පිටම තවත් මහ මොළකරුවෙකු ගැන හෙළිකරයි

කාදිනල් හිමිගේ ප්‍රකාශය ගැන කණගාටුව පල කරයි

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම පුද්ගලයා ද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ නවලෝක රෝහලේ වැසිකිලියක මෙන්ම මෙම දේවස්ථානයේ බෝම්බ ඇටවීම පිළිබඳ වගකිව යුතු මහමොලකරුවෙකු සිටින බවයි.

රජය සහ ආරක්ෂක අංශ අපහසුත්වයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද ඔහු සඳහන් කළා.

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමියන් සිදු කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළා.

කාදිනල් හිමියන් පැවසුවේ පොලිසිය විසින් සිද්ධියේ සත්‍යය නොසොයා කතන්දරයක් ගෙතීමට උත්සහ දරන බවයි.

ඊට අදාළ සීසීටීවී දර්ශන කිහිපයක් ද කාදිනල් හිමියන්ගේ මැදිහත් වීමෙන් මාධ්‍යයට නිකුත් කොට තිබුණා.

ඇමති සරත් සොයාගත් මහ මොළකරුවෝ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරු ද මීට මාස කිහිපයකට පෙර අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් හෙළිකරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ නවුෆර් නම් මවුලවීවරයා අදාළ සිද්ධියේ මහමොළකරු බවයි.

එමෙන්ම දේශපාලන වශයෙන් එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු පිළිබඳව ද සරත් වීරසේකර මහතා මෙවැනිම අනාවරණයක් සිදු කළා.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පිළිබඳ අනාවරණය සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීමෙන් අනතුරුව සරත් වීරසේකර මහතා චෝදනා එල්ල කළ අසාත් සාලි මහතා අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

වීරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නවුෆර් මවුලවි නම් කරනු ලැබුවද මේ දක්වා නීතිය හමුවේ අධිකරණය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පුද්ගලයන් කිසිවකු නිවැරදිව හඳුනාගෙන දඬුවම් නියම කොට නැහැ.

අදට (14) පාස්කු ප්‍රහාරයේ සිදු වී දින දහසක් ගතවී තිබෙනවා.