Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෙරමඟ සලකුණු කළ ඇමරිකානු කාන්තාව.

Geraldine Ferraro, seen in 1984, was the first woman to run for U.S. vice president on a major party ticket.

මේ දිනවල දේශපාලන ලෝකයේ වඩාත් කතා බහට ලක් වෙමින් යන එක් සිද්ධියක් වනුයේ බෙලාරුස් රාජ්‍යයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස කාන්තාවන් තරඟ කිරීම ය. ඒ හා සමාන ව මෙයට වසර 30කට පමණ පෙර ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති අපේක්ෂිකාවක ලෙස කාන්තාවක නම් වී තිබිණි. 1984 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා “වෝල්ටර් මොන්ඩේල්” අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු සිය සහයිකාව ලෙස තෝරා ගත්තේ “ජෙරල්ඩින් ෆෙරාරෝ” ය. මෙම යෝජනාව සියලු ඇමරිකානුවන් වෙත නිකුත් කෙරුණු සංඥාවක් විය. ඒ, පුරුෂයින්ට මෙන් ම කාන්තාවන් හට ද රටෙහි මූලිකත්වය ගැනීමට හැකියාවක් ඇති බවට යි.

“අපට අගුළු ඇරීමට නොහැකි දොරවල් නොමැත. අපි ජයග්‍රහණය සඳහා සීමාවන් තබා ගන්නේ නැහැ. අපට මෙය කළ හැකි නම් අපට ඕනෑම දෙයක් කළ හැකිය.” 1984 ජූලි 19 සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සමුළුවේ දී පිළිගැනීමේ කතාව පවත්වමින් ෆෙරාරෝ පැවසුවා ය.

ජනාධිපතිවරණයට පෙර සිදු කෙරුණු අතුරු ඡන්ද විමසීමක දී ලකුණු 16 කින් පසුබැස සිටි මොන්ඩේල්, එවකට ඔහුගේ උප සභාපතිවරයා වූ 48 හැවිරිදි ෆෙරාරෝ සිය දෙවැනියා ලෙස නම් කිරීම, නාමයෝජනා පිළිබඳ උද්යෝගයට විශාල තල්ලුවක් ලබා දුන්නේ ය. එම වසරේ තරඟ වැදුණු රිපබ්ලිකන් අභියෝගකරුවන් වූ “රොනල්ඩ් රේගන්” සහ ඔහුගේ සහකරු “ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්”, විය යුතු පරිදි ම මෙම තත්ත්වය පිළිබඳ එතරම් සතුටට පත් වූයේ නැත. ඔවුන් දෙදෙනා ෆෙරාරෝ තරඟයෙන් ඉවත් කිරීම පිණිස කළ හැකි සෑම දෙයක් ම කළහ. එහෙත් මෙම පත් කිරීම නීත්‍යනුකූල වූ බැවින් ඔවුන්ට සිදුවූයේ අකුලා ගැනීමට ය. 

මීට පෙර ජනාධිපති අපේක්ෂක කාර්යාලයේ තිබූ එකම ගැටලුව වූයේ අදාළ තනතුර සඳහා කතෝලිකයෙකු තෝරා ගතහොත් කුමක් සිදු වනු ඇත් ද? යන්නයි. ශාන්ත ලුවී විශ්ව විද්‍යාලයේ නීති විශාරදයෙකු වන මහාචාර්ය ගෝල්ඩ්ස්ටයින්ට අනුව, මොන්ඩේල් මෙම රැකියාව සඳහා කාන්තාවන් තිදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වා තිබේ. එනම්, ෆෙරාරෝ, සැන් ෆ්‍රැන්සිස්කෝහි නගරාධිපති “ඩයෑන් ෆයින්ස්ටයින්” සහ කෙන්ටකි ආණ්ඩුකාර “මාර්තා ලේන් කොලින්ස්” සමඟිනි. ඔහු අප්‍රිකානු ඇමරිකානුවන් දෙදෙනෙකු සහ එක් ලතින් නගරාධිපතිවරයකු ද, එනම්, සෙනට් සභික “ලොයිඩ් බෙන්ට්සන්”, “ගැරී හාර්ට්” සහ ආණ්ඩුකාර “මයික් ඩුකාකිස්” ඇතුළු සාම්ප්‍රදායික අපේක්ෂකයින් ගැන ද සලකා බැලීය. සාම්ප්‍රදායික නොවන මෙන් ම අත්දැකීම් නොමැති පුද්ගලයින් පිළිබඳ මොන්ඩේල් විශාල උනන්දුවක් දැක්වූ බව පෙනේ. ජාතික මැතිවරණ හා පත්වීම් සේවයේ ඉහළම මට්ටම් පිළිබඳ සොයා බැලීමෙන් පසු ඔහු වටහා ගත්තේ කාන්තාවන් සහ අනෙකුත් සුළු ජාතීන් බැහැර කර ඇති බැවින්, එම හැලී ගියවුන් තුළින් දක්ෂයින් සොයා ගත යුතු බව ය. ෆෙරාරෝ තෙවරක් පක්ෂයේ නියෝජිතවරියක ලෙස ඉදිරිපත් ව තිබූ අතර මොන්ඩේල් යනු පක්ෂයේ නැගී එන තාරකාව විය. ජාතික මට්ටමේ තනතුරක් සඳහා පළමු කාන්තාව තෝරා ගැනීම යනු මොන්ඩේල්ගේ කැපවීමට අනුකූල සිද්ධියක් වූ අතර මැතිවරණ සිතියම නැවත සකස් කිරීමේ උපායමාර්ගික උත්සාහයක් ලෙස එය අර්ථ දැක්විය හැකි ය.

ෆෙරාරෝ විශිෂ්ට උප ජනාධිපතිවරයකු වනු ඇති අතර හොඳ ජනාධිපතිවරයකු ද විය හැකි යැයි තමා සිතූ බව මොන්ඩේල් 2010 දී  නිකුත් කරන ලද “ගුඩ් ෆයිට්” නම් ග්‍රන්ථයෙහි ලියා තිබේ. “මම රේගන්ට වඩා බොහෝ පසුපසින් සිටි බවත්, සාම්ප්‍රදායික ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහොත්, මා කිසි විටෙකත් අවම වශයෙන් සැලකිය යුතු මට්ටමින් තරඟයට පිවිසෙන්නේවත් නැති බවත් මම දැන සිටියෙමි.” උප ජනාධිපති ලෙස කාන්තාවක තෝරා ගන්නා ලෙස තම බිරිඳ, “ජොආන්” තමාගෙන් ඉල්ලා සිටි බව ද ඔහු පැවසීය. “දේශපාලන ක්‍රමය විසින් සුදුසුකම් ලත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් බිහි කර ඇති බවත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ අප සෑහෙන දුරක් ගොස් සිටින බවත් ජොආන් සිතුවා. සාම්ප්‍රදායික සුදු ජාතික පිරිමි අච්චුව බිඳ දැමිය හැකි ටිකට් පතකට ඡන්දදායකයින් සූදානම් යැයි ඇය සිතුවා” යැයි මොන්ඩේල් ලිවීය.

කෙසේ වුවත් කාන්තාවක වීමේ වරදට ෆෙරාරෝ හට බොහෝ කෙනෙහිලිකම් විඳින්නට සිදු විය. දීර්ඝ කාලයක් මුළුල්ලේ පුරුෂයින් අතින් පාලනය වූ දේශපාලන මුල් පුටුව දෙසට ගමන කිරීමට ඇය ගත් තීරණය අනෙකුත් පුරුෂයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. එනමුත් ප්‍රධාන පක්ෂයක් යටතේ උප ජනාධිපති වැනි වැදගත් තනතුරක් සඳහා කාන්තාවකට අවස්ථාව දීමේ අදහස එරට ස්ත්‍රීවාදීන්ට අතිශය වැදගත් කරුණක් විය. තව ද එය ඩිමොක්‍රටික් ප්‍රචාරක වේදිකාව, රිපබ්ලිකන් පක්ෂයෙන් වෙන්කර හඳුනා ගැනීමට ද ඉවහල් විය. ෆෙරාරෝ උප ජනාධිපති තනතුරට තරඟ කරන බවට කෙරුණු නිවේදනයෙන් පසුව, “ටයිම්’ සඟරාව එහි කවරයේ “ඓතිහාසික තේරීමක්” යන මාතෘකාව යටතේ ඇය උළුප්පා දැක්වීමට පටන් ගත්තේ ය. එවකට ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ ටෙක්සාස්හි රාජ්‍ය භාණ්ඩාගාරික වූ “ඈන් රිචර්ඩ්ස්” පැවසුවේ, “මම මුලින්ම ෆෙරාරෝගේ ජයග්‍රහණය සැලකුවේ දේශපාලන අර්ථයෙන් නොවේ. මගේ දියණියන් දෙදෙනාටත් දවසක මේ රටේ ඉහළ තැනකට යන්න අවස්ථාව ලැබෙයි කියලා සතුටු වුණා. දැන් මට හිතෙනවා ගැහැනු අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.”

ගෝල්ඩ්ස්ටයින් මෙය හඳුන්වන්නේ “ඇමරිකානු දේශපාලනයේ ප්‍රීතිමත් ම අවස්ථාවන්ගෙන් එකක්” ලෙස ය. සමුළුව තුළ සිදු කළ ඇගේ පළමු කථාවෙන් ම ෆෙරාරෝ ජනතාවගේ සිත් ඇද බැඳ ගත්තී ය. මොන්ඩේල් – ෆෙරාරෝ සංකලනය මැතිවරණ තරඟය උණුසුම් ස්ථානයකට ගෙන ඒමට සමත් විය. ලුසියානා විශ්ව විද්‍යාලයේ දේශපාලන හා සන්නිවේදන සහකාර මහාචාර්ය “නිකොල් බවර්” පවසන පරිදි රටක නායකත්වය, විශේෂයෙන් ජනාධිපති මට්ටම, පුරුෂාධිපත්‍යය සමඟ සම්බන්ධ වේ. මීට පුරුෂ ගති ලක්ෂණ, දැඩි ආක්‍රමණශීලීබව සහ ස්ථීර තීරණ ගැනීම වැනි දේ ඇතුළත් වේ. තවද ජාතික ආරක්ෂාව, හමුදාව වැනි පුරුෂ බද්ධ කාරණා පිළිබඳ විශේෂඥයෙකු වීම ද අවශ්‍ය වේ. සම්පූර්ණ මැතිවරණය ප්‍රචාරක ව්‍යාපාරය පුරාවට ම ජනමාධ්‍යය, ඡන්දදායකයෝ සහ ඇගේ උප ජනාධිපති ප්‍රතිවාදියා වන “බුෂ්”, මෙම අපේක්ෂාවන් සපුරාලීම සඳහා ෆෙරාරෝට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්න කළහ. 

ෆෙරාරෝ ඒ වන විටත් බොහෝ කරුණු පිළිබඳ හැඟීම්බර වී තිබිණි. ජනාධිපති තනතුර අතට ගත් පසු ඇය ඊටත් වඩා නම්‍යශීලී වනු ඇති බවට විරුද්ධවාදීහු සැක පහළ කළහ. මේ ආකාරයේ ප්‍රකාශවලින් පිළිබිඹු වූයේ කාන්තාවන් දේශපාලන නිලතල දැරීමට තරම් චිත්තවේගීය නොවන බවත්, දේශපාලන නායකයන් ස්ථිර ව හා ස්ථාවර ව සිටිය යුතු බවත් ය. එහෙත්, බවර් තවදුරටත් පවසන්නේ, ෆෙරාරෝ උප ජනාධිපති ලයිස්තුවේ සිටීම අවසාන වශයෙන් ගත් කල මොන්ඩේල්ගේ ව්‍යාපාරයට හානියක් සිදු නොකළ බවයි.  “ඡන්දදායකයින් ඉහළ පෙළේ එනම්, ජනාධිපතිවරයා පිළබඳ සිතා ඡන්දය දීමට නැඹුරු වන අතර උප ජනාධිපතිවරයා යනු කිසියම් උත්තේජයක් පමණි.” ඇය පවසයි. මොන්ඩේල් පසුගිය සිව් වසර තුළ සිදු කළ ආර්ථික වැඩිදියුණු කිරීම් සහ රේගන්ගේ ජනප්‍රියත්වයත් සැලකිල්ලට ගත් කල ඔහුට රේගන් සමඟ දැඩි ව ගැටීමට හේතු ඕනෑ තරම් තිබිණි. 1988 දී ෆෙරාරෝ “නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පතට ලිපියක් යොමු කරමින් කියා සිටියේ, “රොනල්ඩ් රේගන් ඔහුගේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවට යන විට දෙවියන් වහන්සේට ඔහු පරාජය වනු දැකීමට අවශ්‍ය වනු ඇත. මන්දයත් ඔහුගේ ඉහළ යාමට වඩා

උද්ධමනය හා පොලී අනුපාත පහත දමා, ආර්ථිකය යහපත් අතට ගමන් කරවීමත් රට සාමකාමී ව පවත්වා ගැනීමත් වැදගත් වන බැවිනි.” යනුවෙනි.

මැතිවරණයට පෙර අපේක්ෂකයින්ගේ මූල්‍යමය තත්ත්වය රටට හෙළි කිරීම නීතියකි. එසේ සිදු කරන අවස්ථාවේදී ෆෙරාරෝ සහ ඇගේ දේපළ වෙළඳාම් සංවර්ධක සැමියා වන “ජෝන් සැකරෝ” වෙන වෙන ම බදු වාර්තා ගොනු කළ යුතු වුව ද සකාරෝ එය ප්‍රතික්ෂේප කළේය. සිය ව්‍යාපාර ගනුදෙනුවලට හානිකර වනු ඇතැයි යන පදනම මත සකරෝ සිය මූල්‍ය කටයුතු පිළිබඳ කරුණු හෙළි කිරීමට විරුද්ධ විය. මෙම ගැටලුව විසින් මොන්ඩේල් – ෆෙරාරෝ ඉතා දරුණු තත්ත්වයකට ඇද දමා තිබූ අතර, මූල්‍ය හෙළිදරව් කිරීම් සිදු කිරීම සඳහා ෆෙරාරෝගේ සැමියාට බල කිරීමේ හැකියාවක් නොතිබිණි. එහෙයින් විරුද්ධවාදීහු එය සිය අවියක් කොට ගත්හ. අවසානයේ දී, ෆෙරාරෝ විසින් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න රාශියකට පිළිතුරු සැපයූ අතර  එහි දී ඇගේ කිසිදු නුසුදුසුකමක් අනාවරණය නොවීය. එහෙත් මෙම සිද්ධිය හේතුවෙන් ඡන්ද ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇති ව තිබිණි. 

මැතිවරණයේ දී රොනල්ඩ් රේගන් කොලොම්බියා හා මිනසෝටා යන දිස්ත්‍රික්ක ජය ගත්තේ ය. ඩිමොක්‍රටික් පාක්ෂික කාන්තාවන්ට වඩා රිපබ්ලිකානුවන් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. එනමුත් ෆෙරාරෝ පැවසුවේ “ස්ත්‍රීන් තම ස්ත්‍රී පුරුෂ භාවය නිසා හෝ අපේක්ෂකයෙකුගේ ලිංගභේදය නිසා පමණක් යමෙකුට ඡන්දය දෙනු ඇතැයි සිතීම පහත් සිතිවිල්ලකි.” යනුවෙනි. තමා කාන්තාවක වීම නිසා පමණක් අනෙකුත් පාක්ෂික කාන්තාවන් ද තම පක්ෂය වෙත ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සිතීම විහිළුවක් ලෙස යි ඇය සැලකුවේ.

කෙසේ හෝ මොන්ඩේල් – ෆෙරාරෝ පැරදුණි. එහෙත් ෆෙරාරෝ හට නාම යෝජනා ලැබීමෙන් ඉදිරි දශක කිහිපය තුළ කාන්තාවකට අනාගත අපේක්ෂකත්වය ලබා දීම සඳහා වේදිකාව සැකසිණි. ඒ අනුව 2008 දී රිපබ්ලිකන් පාක්ෂික “සාරා පාලින්” සහ ඩිමොක්‍රටික් පාක්ෂික “කමලා” ද 2020 වසරේ දී “හැරිස්” ද එලෙස නාමයෝජනා ලැබීමට සමත් වූ කාන්තාවෝ වූහ. “හිලරි ක්ලින්ටන්” ද අමතක කළ නොහැකි ය. 

ප්‍රධාන පක්ෂයක උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස නම් කරන ලද පළමු කාන්තාව වන ෆෙරාරෝ, 2011 දී වයස අවුරුදු 75 දී “බහුවිධ මයිලෝමා” රෝගයෙන් මිය ගියා ය. ඇගේ මරණයෙන් පසු එවකට ජනාධිපති බරක් ඔබාමා ෆෙරාරෝ හැඳින්වූයේ “ට්‍රේල් බ්ලේසර්” (පෙරමඟ සරසන්නී) යනුවෙනි.”සාෂා සහ මාලියා වඩාත් සමාන ඇමරිකාවක හැදී වැඩෙන්නේ ජෙරල්ඩින් ෆෙරාරෝ ජීවත් වීමට තෝරාගත් ජීවිතය නිසා” යැයි ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author