Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුටින්ගේ විරුද්ධවාදියා රෝහලේ.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ ප්‍රබලත ම විරුද්ධවාදියා වන විපක්ෂ නායක “ඇලෙක්සි නවාල්නි” වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජර්මනියේ පිහිටි ප්‍රසිද්ධ රෝහලක් වෙත ගෙනැවිත් තිබේ. බ්‍රහස්පතින්දා “ටොම්ස්ක්” නගරයේ සිට “මොස්කව්” බලා පියාසර කරමින් සිටිය දී නවාල්නි මහතා රෝගාතුර වූ අතර ඔහුගේ ගුවන් යානය “ඔම්ස්ක්” ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කළේය.

පියාසර කිරීමට පෙර නවාල්නි මහතා ටොම්ස්ක් ගුවන්තොටුපොළේ ආපන ශාලාවක් තුළට වී තේ පානය කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ විය. ඔහුගේ කණ්ඩායම සැක කරන්නේ ඔහුගේ පානයට විෂ ද්‍රව්‍යයක් දමා තිබෙන්නට ඇති බවයි. නවාල්නි මහතා ගුවන් යානය තුළ දැඩි වේදනාවෙන් යුතු ව හඬා වැලපෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද නිකුත් විය. මගියෙකු වූ “පවෙල් ලෙබෙදෙව්” නමැත්තා කියා සිටියේ යම් කිසිවෙකු වේදනාවෙන් කෑ ගසන අයුරු තමාට ඇසුණු බවයි.

නවාල්නි මහතා ඔම්ස්ක් නගරයෙහි ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන “ඇලෙක්සැන්ඩර් මුරකොව්ස්කි” විසින් සිකුරාදා රෑ අනතුරු ඇඟවූයේ වෛද්‍යවරුන් ඔහු ගුවනින් ගෙන යාම නිර්දේශ නොකරන නමුත් ඔහුගේ බිරිඳ තම ස්වාමිපුරුෂයා ජර්මානු සායනයකට මාරු කරන ලෙස බලකරමින් සිටින බවයි. “රෝගියාගේ තත්වය ස්ථාවරයි” යැයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය “ඇනටෝලි කලිනිචෙන්කෝ” ද පවසා සිටියේ ය. 

එහෙත් සෙනසුරාදා උදෑසන ගිලන් රථයකින් නවාල්නි මහතා ඔම්ස්ක් ගුවන්තොටුපළ වෙත ගෙන යන ලදී. දරුණු ලෙස රෝගාතුර වූ රුසියානු විපක්ෂ නායකයා මේ වන විට ප්‍රතිකාර සඳහා සයිබීරියාවේ සිට ජර්මනියට ගෙනැවිත් තිබේ. මේ වන විට ඔහු කෝමා තත්වයට පත්ව සිටී. තව ද මෙහි දී සිදු වූ යම් කිසි අපරාධයක් සැඟවීමට උත්සාහ කරන බවට විපක්ෂ ආධාරකරුවෝ බලධාරීන්ට චෝදනා කරති.

සෙනසුරාදා උදෑසන, ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන “සිනමා ෆෝ පීස්” විසින් වියදම් දරන ලද නවාල්නි මහතාගේ ගුවන් යානය බර්ලිනයේ, “ටෙගල්” ගුවන් තොටුපළට ගොඩ බැස්සේ ය. අද වන විට ඔහු ජර්මානු අගනුවර පිහිටා ඇති, “චරිටා” රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දැනට ඔහුගේ තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ බිරිඳ කියා සිටියි.

“සිනමා ෆෝ පීස්” පදනමේ නිර්මාතෘ, සහ චිත්‍රපට නිෂ්පාදක “ජකා බිසිල්ජ්” රෝහලෙන් පිටත දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ නවාල්නි මහතාගේ තත්වය ඉතා කණගාටුදායක බවයි. “ඔහු මෙයින් බේරෙනු ඇත් ද යන වග පමණක් නොව මෙය කුමන ආකාරයේ හානියක් ද යන්න ද ප්‍රශ්නයකි. ඔහු මෙයින් යථා තත්ත්වයට පත්වේ නම් සිදු වූයේ කුමක්දැයි අපට ඉක්මනින් සොයා ගත හැකි වනු ඇත.”

නවාල්නි මහතාගේ පෞද්ගලික වෛද්‍යවරිය වන “ඇනස්ටේෂියා වාසිලීවා” රුසියාවේ රෝහලේ සිටිය දී ඔහු බැලීමට කිසිවෙකුටත් අවසර නොදුනි. නමුත් ඔහු පැවසුවේ දැන් ජර්මනියේ සිටින නිසා ඔහුට සුවය ලැබෙනු ඇතැයි කියාය. “මට විශ්වාසයි ඔවුන්ට ඔහුට ප්‍රතිකාර කළ හැකි බව. වෛද්‍යවරුන් ඔහුගේ ශරීරයෙන් මෙම විෂ කාරකය තුරන් කිරීමට සෑම දෙයක් ම කරනු ඇත”.

නවාල්නි මහතාගේ මාධ්‍ය ප්‍රකාශිකා “කිරා යර්මිෂ්” ප්‍රකාශ කරනුයේ නවාල්නි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම වෙනුවෙන් උපකාර කළ සියලු දෙනාට බොහෙවින් ස්තූතිවන්ත වන අතර ම සිකුරාදා උදේ සිට නිවැරදි ලියකියවිලි සකස් කර තිබුණ ද වෛද්‍යවරුන් ඔහුගේ ගුවන් ගමන අනුමත කිරීම සඳහා මෙතරම් කාලයක් ගැනීම කණගාටුවට කරුණක් බව ය. මෙම විෂ ශරීරගත වීමට රජයේ කුමන ආකාරයක සම්බන්ධයක් තිබෙදැයි තවමත් සිතා ගත නොහැකි බව ඔහුගේ ආධාරකරුවන්ගේ අදහස යි.

About The Author