Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පිළිස්සුම් සඳහා ගොළුබෙල්ලන්.

ඔබේ සිරුරේ කිසියම් ස්ථානයක් පිළිස්සීමට ලක් වුවහොත් ප්‍රථමාධාරයක් වශයෙන් ඔබ ගන්නා පියවර කුමක් ද? කෝමාරිකා ස්වල්පයක් ගැල්වීම යනු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරය යි. ඇතැම්හු ගලා යන ජලයට ඇල්ලීම, දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කිරීම ආදිය ද සිදු කරති. කෙසේ හෝ කළ යුතු වන්නේ එම ස්ථානය සිසිල් කිරීම යි. දැඩි පිළිස්සුමක් සිදු වී ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

එනමුත් මධ්‍යකාලීන යුගයේ දී සාමාන්‍ය ජනතාව මෙන් ම වෛද්‍යවරුන් පවා පිළිස්සුම් තුවාල සුව කිරීමට යොදා ගත්තේ ගොළුබෙල්ලන් ය. පණ ඇති ගොළුබෙල්ලෙකු ගෙන උගේ කකුල් ප්‍රදේශය පිලිස්සුණු ස්ථානයෙහි අතුල්ලන්න. එවිට එය සුව වනු ඇත. මෙය ඉතා සරල පිළියමකි. සැබැවින් ම සොයා බැලුවහොත් එම ප්‍රතිකාරය පිළිස්සීමෙන් හට ගන්නා බිබිලි අඩු කිරීමට සහ වේදනාව සමනය කිරීමට උපකාරී වේ. ගොළුබෙල්ලන්ගේ ඛේටය තුළ ප්‍රතිඔක්සිකාරක, විෂබීජ නාශක, නිර්වින්දක, ගිනි නිවීමේ ද්‍රව්‍ය, ප්‍රතිජීවක, ප්‍රතිවෛරස මෙන් ම සම අලුත්වැඩියා කිරීම සඳහා අත්‍යවශ්‍ය කොලැජන් සහ ඉලාස්ටින් ද අඩංගු වන බව මෑත කාලීන පර්යේෂණවලින් පවා හෙළි වී තිබේ.

නූතන යුගයේ ඇතැම් වෛද්‍යවරුන් “ගොළුබෙල්ලන් ජෙල්” යන ආකාරයට එම සත්ත්වයාගේ කෙළ යොදා ගනිමින් ආලේපන වර්ග සකසාගෙන ඇති බව පෙනේ. මෙම ආලේපන ඇතැම් පිළිස්සුම් තුවාල සඳහා ප්‍රථමාධාරයක් වශයෙන් භාවිත කළ හැකි ය. 

 ඇසේ නගනය සුව කිරීමට ප්‍රතිකාර.

ඇසෙහි කලාතුරකින් හට ගන්නා නගනවලට හේතු කිහිපයක් තිබිය හැකි ය. පැරැණි විශ්වාසයක් වනුයේ නිවසක නව දරුවෙකුගේ උපත සිදු වීමට ආසන්න වන විට උපදින්නට යන දරුවාගේ සහෝදරයාට / සහෝදරියට නගනයක් හට ගන්නා බව යි. නගනයක් හට ගැනීමට විද්‍යානුකූල හේතුව වන්නේ සිරුරේ උෂ්ණ ගතිය වැඩි වීම යි. මේ වෙනුවෙන් බොහෝ ලාංකිකයන් අනුගමනය කරන්නේ කෙම් ක්‍රම ය. උදෑසන අවදි වූ විගස කතා නොකොට, කට නොසෝදා කෙළ ස්වල්පයක් ගෙන නගනය ඇති ඇසෙහි ආලේප කිරීමෙන් එය සුව වන බව ඇතැම්හු විශ්වාස කරති. මව්කිරි ස්වල්පයක් ඇසෙහි ගැල්වීමෙන් නගනය සුව වන බව තවත් සමහරුන්ගේ මතය යි. ඇතැම් කාන්තාවෝ නිවසේ බත් මුට්ටිය ඉදීගෙන එන විට ඉහළට එන පෙණ බුබුළු ස්වල්පයක් ගෙන නගනය මත අතුල්ලති. තුත්තිරි ගසක් ගලවා, එහි යුෂ නගනය මත ගල්වන්නෝ ද සිටිති. මෙවැනි කිසිවක් නොකොට ඔබට වෛද්‍යවරයෙකු කරා යා හැකි නම්, ඔහු ද ඒ වෙනුවෙන් කිසියම් ප්‍රතිකාරයක් ලබා දෙනු ඇත. එසේ වුවත් පැරැණි කාලයේ නගනය වෙනුවෙන් සිදු කළ ප්‍රතිකාරය කුමක්දැයි ඔබ දන්නවා ද?

ලූණු හෝ ලීක්ස් කුඩා ප්‍රමාණයක් ගන්න. මුල් වට්ටෝරුවේ එනම්, “බෝල්ඩ්ගේ ලීච්බුක්” ග්‍රන්ථයේ මේ සඳහා ලියා තිබෙන වචනය වන්නේ “ක්‍රොප්ලීක්” ය. එයින් අදහස් කෙරෙන්නේ වර්තමානයේ අප භාවිත කරන ලූනු හෝ ලීක්ස් ද? යන්න ගැන තවමත් විවාද පවතී. කෙසේ වුවත් එසේ ලබා ගන්නා ලූණු හෝ ලීක්ස් ප්‍රමාණය සුදුලූණු සමඟ හොඳින් එකට කලවම් කරන්න. ඉන්පසු වයින් ස්වල්පයක් හා ගොනෙකුගේ පිත්තාශය සමාන ප්‍රමාණවලින් ගෙන ලූණු සහ සුදුලූණු සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය පිත්තල බඳුනක බහා රාත්‍රී නවයක් එසේ ම තිබෙන්නට ඉඩ හරින්න. අවසානයේ දී කුරුලු පිහාටුවක් ගෙන එම මිශ්‍රණය රාත්‍රී කාලයේ දී ඇසෙහි ආලේප කරන්න. ඔබ සිතනා ආකාරයට ඇන්ග්ලෝ සැක්සන්වරුන් විසින් භාවිත කරන ලද මෙම ඖෂධ වට්ටෝරුව මඟින් කෙතරම් දුරට යහපතක් සිදු වනු ඇත්ද? 

සැබැවින් ම කියතොත් ලූණු, සුදුලූණු සහ ගොනාගේ පිත්තාශය යන සියල්ල ම තුළ ප්‍රතිජීවක ගුණ ඇත. වයින්වල ඇසිටික් අම්ලය අඩංගු වන අතර එය දින නවයක් පුරා පිත්තල පාත්‍රයේ ඇති තඹ සමඟ ප්‍රතික්‍රියා කොට තඹ ලවණ සාදා ගනී. ඒවා බැක්ටීරියා නාශක වේ. මෑතක දී, නොටිංහැම් විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙම මිශ්‍රණය, එම වට්ටෝරුවේ සඳහන් ආකාරයට සකස් කර පරීක්ෂා කරන ලදී. මුල දී අදාළ මිශ්‍රණය විසින් ඔවුන්ගේ විද්‍යාගාරය සුදුලූණු, ලූණු සහ වයින් සහිත ආපන ශාලාවක් මෙන් සුවඳවත් කළ නමුත් දින නවය ගත වන විට එය අධික දුර්ගන්ධයෙන් යුත් අප්‍රසන්න ද්‍රව්‍යයක් බවට වර්ධනය විය. එහි අපිරිසිදු ගන්ධය සහ පෙනුම තිබිය දීත්, එම සිසුන් විසින් අදාළ මිශ්‍රණය තුළ ඕනෑ ම ආකාරයක ප්‍රතිජීවක ගුණාංග අඩංගු වේ ද යන්න පරීක්‍ෂා කළහ. පුදුමයකට මෙන් ඔවුන් සොයා ගත්තේ එය විශිෂ්ට ඖෂධයක් බව යි. මේ වන විට එම වට්ටෝරුව ප්‍රතිජීවක – ප්‍රතිරෝධී එම්.ආර්.එස්.ඒ. (Methicillin resistant Staphylococcus Aureus) දෝෂයට එරෙහි ප්‍රතිකාරයක් ලෙස තවදුරටත් විමර්ශනය කරමින් තිබෙන අතර ඒ පිළිබඳ වෛද්‍යවරුන් හට බලාපොරොත්තු තබා ගත හැකි බව පෙනී යයි.

මෙම පිළියම සම්බන්ධයෙන් පුරාණ වෛද්‍යවරුන් නිවැරදි බව පෙනේ. එනමුත් එය ඖෂධහලක් තුළ විකිණීමට නම් කල් තියා සූදානම් නොකළ යුතු ය. නැතහොත් එහි දුර්ගන්ධය ඉවසිය නොහැකි වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author