Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පිණ්ඩ විච්ඡේදනය හෙවත් ලොබොටෝමි.

ලොබොටෝමි හෙවත් ලියුකොටොමි යනු මානසික ශල්‍යකර්මයකි. එය කිසියම් මානසික ආබාධයක් වෙනුවෙන් ලබා දෙන ස්නායු ශල්‍ය ප්‍රතිකාරයක් වන අතර අදාළ ශල්‍යකර්මය මඟින් මොළයේ පූර්ව ඉදිරිපස බාහිකයේ සම්බන්ධතා බිඳ දමනු ලැබේ. මොළයේ ඉදිරිපස පෙතිවල පිහිටා තිබෙන මුල් කොටස වන “ප්‍රෙෆ්‍රන්ටල්” නම් වූ බාහිකයත් එයින් පිටත ඇති සම්බන්ධතාවලින් බොහොමයකුත් මෙමඟින් කපා ඉවත්කරනු ලැබේ. ඇසෙන විටත් සිරුර කිළිපොලා ගිය ද නිරන්තරයෙන් නැඟෙන බරපතල අතුරු ආබාධ පිළිබඳ චෝදනා පවා නොතකා දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම ප්‍රතිකාරය යොදා ගන්නා ලදී. සමහර බටහිර රටවල ප්‍රධාන ධාරාවේ ක්‍රියා පටිපාටියක් ලෙස මානසික ආබාධ සඳහාද ඉඳහිට වෙනත් තත්වයන් සඳහා ද මෙම ක්‍රමය භාවිත කර ඇත. ඇතැමුන් හට මෙම ශල්‍යකර්මය හේතුවෙන් රෝගය වැඩි දියුණු වූ අතර, ඇතැමුන්ට අඩු විය. 

මෙම පදය ග්‍රීක භාෂාවෙන් උපුටා ගන්නා ලද්දකි. එනම්,  λοβός ලොබොස් “ලොබ්” සහ ήμή ටොම් “කැපීම, පෙත්ත” යන අදහසිනි. මෙම ශල්‍යකර්ම ක්‍රියාපටිපාටියේ ආරම්භකයා වන පෘතුගීසි ස්නායු විශේෂඥ, ඇන්ටෝනියෝ එගාස් මොනිස් 1949 වසරේ දී කායික විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේ “ඇතැම් මනෝභාවයන්හි ලියුකොටොමියේ චිකිත්සක වටිනාකම සොයා ගැනීම” යන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම සඳහා ය. එහි භාවිතය 1940 දශකයේ මුල් භාගයේ සිට 1950 දශකය දක්වා විශාල වශයෙන් වැඩි විය. 1951 වන විට, ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ලොබොටෝමි ශල්‍යකර්ම 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති අතර, ඊට සමානුපාතික ව එක්සත් රාජධානියේ ද මෙම ශල්‍යකර්මය සිදු විය. 

ලොබොටෝමි ශල්‍යකර්මවලින් බහුතරයක් සිදු කරනු ලැබුවේ කාන්තාවන් හට ය. 1951 දී ඇමරිකානු රෝහල් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ ලොබොටෝමි රෝගීන්ගෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වූ බව යි. සීමිත දත්තවලින් පෙනී යන්නේ 1948 -1952 දක්වා ඔන්ටාරියෝහි ලොබොටෝමි ශල්‍යකර්මවලින් 74%ක් ම සිදු කර ඇත්තේ කාන්තාවන්ට බව යි. එහෙත් 1950 දශකයේ සිට මෙම ශල්‍යකර්මය අතහැර දැමීමට පටන් ගත් අතර, පළමුව සෝවියට් සංගමය හා දෙවනුව යුරෝපය තුළ එය තහනම් කෙරිණි.  

බලපෑම.

මෙම සැත්කම කිසියම් රෝගියෙකුගේ මානසික තත්ත්වයට එතරම් බලපෑමක් නොකරන බව වෛද්‍යවරුන් විසින් හොඳින් වටහාගෙන තිබූ නමුත් රෝගියා වඩාත් සුවපහසු අන්දමින් තැබීමට හා රැකබලා ගැනීමට පහසු වනු ඇති බවට තිබෙන බලාපොරොත්තුව හේතුවෙන් අදාළ ශල්‍යකර්මය සිදු කිරීමට ඔවුහු උත්සාහ කළහ. ඓතිහාසික සාක්ෂි අනුව ලොබොටෝමි රෝගීන් ශල්‍යකර්මයෙන් පසු බොහෝ විට මෝඩ, ව්‍යාකූල සහ නොගැලපෙන අය බවට පත් වූ බව පෙනේ. සමහරු දැවැන්ත ලෙස සිය ආහාර රුචිය වර්ධනය කර ගත් අතර, එහෙයින් ම සැලකිය යුතු බරක් ද ලබා ගත්හ. ශල්‍යකර්මයෙන් පසු සති හෝ මාස කිහිපයක් ගෙවුණු පසු රෝගීන් චර්යා පුහුණුව සඳහා ගෙන යා හැකි විය.

මෙම ශල්‍යකර්මයේ පරමාර්ථය වූයේ මානසික ආබාධවල රෝග ලක්ෂණ අඩු කිරීම යි. කිසියම් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය හා බුද්ධිය යන ද්විත්වය අරමුණු කර ගෙන මෙය සිදු කළ බව පෙනිණි. රෝගීන් 300 දෙනෙකු පිළිබඳ පසු විපරම් අධ්‍යයනයක් කළ බ්‍රිතාන්‍ය මනෝචිකිත්සක මොරිස් පාට්‍රිජ් පැවසුවේ, රෝගියාගේ මනස හැසිරවීමේ සංකීර්ණත්වය අඩු කිරීමෙන් මෙම ප්‍රතිකාරය සාර්ථක වූ බවයි. එනමුත් ශල්‍යකර්මයෙන් පසු, ස්වයංසිද්ධතාවය, ප්‍රතිචාර දැක්වීම, ස්වයං දැනුවත්භාවය සහ ආත්ම දමනය ද අඩු විය. සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ල අවස්ථිතිභාවය මඟින් ප්‍රතිස්ථාපනය කරන ලද අතර මිනිසුන්ගේ චිත්තවේග බොඳ වී, ඔවුන්ගේ හැසිරීම බුද්ධිමය පරාසයක් තුළට සීමා කරනු ලැබිණි.

මෙහෙයුමේ අතුරුඵල “මිශ්‍ර” ලෙස විස්තර කර ඇත. සැත්කම හේතුවෙන් සමහර රෝගීන් මිය ගිය අතර අනෙක් අය පසුව සියදිවි නසා ගත්හ. සමහරුන්ගේ මොළයට දැඩි හානි සිදුවිය. තවත් සමහරුන්ට රෝහලෙන් පිටව යාමට හැකි විය. නැතහොත් රෝහල තුළ ම වඩාත් කළමනාකාරී අන්දමින් හසුරුවා ගත හැකි විය. ස්වල්ප දෙනෙක් වගකිවයුතු රැකියාවලට ආපසු යාමට සමත් වූ අතර ඇතැමුන් හට දරුණු, අක්‍රීය දුර්වලතා ඇති විය. බොහෝ අය අතරමැදි කණ්ඩායමකට වැටිණි. ඔවුන්ගේ රෝග ලක්ෂණ යම් තරමකින් වැඩිදියුණු වී තිබුණු අතර චිත්තවේගීය හා බුද්ධිමය තීරණ ගැනීමේ හැකියාව හීන විය. ලොබොටෝමි හේතුවෙන් 1940 ගණන්වල දී දක්නට ලැබුණු සාමාන්‍ය මරණ අනුපාතය ආසන්න වශයෙන් 5%ක් විය.

ලොබොටෝමි ක්‍රියා පටිපාටිය රෝගියාගේ පෞරුෂත්වයට හා ස්වාධීනව ක්‍රියා කිරීමට ඇති හැකියාව කෙරෙහි දැඩි ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි බවට බොහෝ පිරිසක් අදහස් දැක්වුහ. ලොබොටෝමි රෝගීන් බොහෝ විට කිසියම් දෙයකට මුලපිරීමේ දී කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළහ. සංජානනය අඩුවීම සහ සමාජයෙන් බැහැරවීම නිසා ඔවුන් අන් අයගේ තත්ත්වයට පත්වීමේ දුෂ්කරතා ද පෙන්නුම් කළහ.

වෝල්ටර් ෆ්‍රීමන් මෙවැනි රෝගීන් සඳහා “ශල්‍යකර්මයෙන් පෙලෙන ළමා කාලය” යන යෙදුම භාවිත කළ අතර එය ලොබොටෝමියේ ප්‍රතිඵල හොඳින් විස්තර කරන බව පෙනේ.  මන්දයත් මෙම මෙහෙයුමෙන් පසු අවසානයේ දී මිනිසුන් හට ඉතිරි වූයේ ළදරු පෞරුෂයක් පමණක් ම වූ බැවිනි. ෆ්‍රීමන්ට අනුව රෝගියා ළදරු මානසික අවධියේ සිට වැඩිහිටි අවධිය දක්වා ක්‍රම ක්‍රමයෙන් පුහුණු කළ ද එය එතරම් සාර්ථක නොවේ. ප්‍රකාශයට පත් නොකරන ලද සටහන් පොතක ඔහු විස්තර කර තිබුණේ, “රෝගියාගේ පෞරුෂය යම් ආකාරයකින් වෙනස් වූයේ ඔහු තමා සිටින සමාජ පීඩනයන්ට වඩාත් සුදුසු පුද්ගලයකු බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙනි” යනුවෙනි. 

ලොබොටෝමි ශල්‍යකර්මයට මුහුණ දුන් 29 හැවිරිදි එක් කාන්තාවක්, බල්ලෙකුගේ මෙන් සිනහවෙන්, කම්මැළිකමෙන් පිරුණු තෘප්තිමත් රෝගියෙකු බවට පත් වූ බව ඔහු ලියා තිබේ. ඇය වෙනුවෙන් හිස් බඳුනකින් නිමක් නැතිව කෝපි වත් කිරීමට ෆ්‍රීමන් හට සිදු ව තිබිණි. ඇගේ හැසිරීම සමඟ කටයුතු කිරීමට ඇගේ දෙමාපියන්ට අපහසු වූ විට, ෆ්‍රීමන් උපදෙස් දුන්නේ ඇය හොඳින් සිටියොත් අයිස්ක්‍රීම් ද, නරකට හැසිරුණහොත් දඬුවම් ද ලබා දෙන බවට තර්ජනය කරන ලෙස යි.

ඉතිහාසය.

පෙර දී මෙහි මූලාරම්භකයා වූ මොනිස් වෛද්‍ය පුවත්පත් තුළ ඔහුගේ අදහස් වේගයෙන් බෙදා හැරියේය. එහෙත් නව ක්‍රියා පටිපාටියට සහය දැක්වීම සඳහා මොනිස් විසින් ගොඩනගා ඇති න්‍යායාත්මක නිර්මාණ ශිල්පය “මස්තිෂ්ක මිථ්‍යා කථා” ලෙස බොහෝ වෛද්‍යවරුන්ගේ උපහාසයට ලක් විය. පැරිසියානු  මනෝචිකිත්සක පෝල් කෝර්බන් කියා සිටියේ සායනික නිරීක්ෂණවලට වඩා න්‍යායාත්මක සලකා බැලීම් ගැන පමණක් සැලකිලිමත් වන ශල්‍යකර්ම ක්‍රමවේදයක් අනුමත කළ නොහැකි බවයි. ඉන්ද්‍රියයක් විකෘතියට පත් කොට එහි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම කිසිසේත් කළ නොහැකි බවත්, ලියුකොටෝමි මගින් ඇති වූ මස්තිෂ්ක තුවාල පසුකාලීනව මෙනින්ජයිටිස්, අපස්මාරය සහ මොළයේ විවරයන් බවට පත් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඔහු පැවසීය.  

කෙසේ වෙතත්, මොනිස් විසින් වාර්තා කරන ලද රෝගීන් 20 දෙනෙකුගෙන් 14 දෙනෙකුට ම සැත්කම් මඟින් සුවය ලැබුණු බව වාර්තා වේ. එහෙයින් 1930 ගණන්වල දී බ්‍රසීලය, කියුබාව, ඉතාලිය, රුමේනියාව සහ එක්සත් ජනපදය වැනි රටවල තනි තනි වෛද්‍යවරුන් විසින් පර්යේෂණාත්මක පදනමක් මත මෙම ක්‍රියා පටිපාටිය වේගයෙන් අනුගමනය කිරීමට යෙදිණි.

 පසු කාලය.

1930 ගණන්වල ඉතිරි කාලය පුරාවට ම තාක්‍ෂණය අනුගමනය කළ බොහෝ රටවල සිදු කරන ලද ලියුකොටොමි සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමක පැවතිණි. පසුකාලීනව ලියුකොටෝමීකරණයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ බ්‍රිතාන්‍යයේ පවා 1942ට පෙර සිදු කර තිබුණේ මෙහෙයුම් හයක් පමණි. සාමාන්‍යයෙන්, මෙම ක්‍රියා පටිපාටිය සිදු කිරීමට උත්සාහ කළ වෛද්‍යවරුන් වඩාත් ප්‍රවේශම් සහගත වූ අතර 1940 ගණන්වලට පෙර රෝගීන් ස්වල්පයක් පමණක් ලොබොටෝමි ශල්‍යකර්මයට භාජනය කරන ලදී. 

මොනිස්ගේ මෙහෙයුමේ පර්යේෂණාත්මක වෙනස් කිරීම් ඉතාලි වෛද්‍ය වෘත්තිකයන් විසින් හඳුන්වා දෙන ලදී. වඩාත් කැපී පෙනෙන කාරණය නම්, 1937 දී වරීස්හි මනෝචිකිත්සක ආයතනයක වෛද්‍ය අධ්‍යක්ෂක, අමරෝ ෆියම්බර්ටි ප්‍රථමයෙන් අන්තරාසර්ග ක්‍රියා පටිපාටිය සකස් කිරීම යි. ෆියම්බර්ටිගේ ක්‍රමය වූයේ හිස මුදුනේ කක්ෂීය අස්ථි තුනී ස්ථරයකට සිදුරු කිරීම සහ මෙම විවරය හරහා ඉදිරිපස පෙතිවල සුදු පදාර්ථයට ඇල්කොහොල් හෝ ෆෝමලීන් එන්නත් කිරීමයි. මෙම ක්‍රමය භාවිත කරමින්, සමහර විට හයිපෝඩර්මීය ඉඳිකටුවක් වෙනුවට ලියුකෝටෝමයක් ආදේශ කෙරුණු අතර, දෙවන ලෝක යුද්ධය ආරම්භ වන කාලය දක්වා ඔහු රෝගීන් 100ක් පමණ ලියුකොටෝමි ශල්‍යකර්මයට භාජනය කළ බවට ගණන් බලා ඇත. ෆියම්බර්ටි විසින් මොනිස්ගේ ක්‍රමවේදය නවෝත්පාදනය කිරීම පසුකාලීන ව වෝල්ටර් ෆ්‍රීමන්ගේ “ට්‍රාන්ස්බෝර්බිටල් ලොබොටෝමි” ප්‍රතිකාරයේ සංවර්ධනය සඳහා ද ඉවහල් විය. 1937 දී ෆ්‍රීමන් සහ වොට්ස් ලීමා විසින් මොනිස්ගේ ශල්‍යකර්ම පටිපාටිය අනුවර්තනය කරන ලද අතර “ෆ්‍රීමන්-වොට්ස් තාක්‍ෂණය” නිර්මාණය කරන ලදී. ඒ අනුව ලොබොටෝමි ක්‍රමය, “නිරවද්‍යතා ක්‍රමය” ලෙස නැවත හැඩගස්වන ලදී.

ඉතාලි මනෝචිකිත්සක අමරෝ ෆියම්බර්ටිගේ කෘතියෙන් ආභාසය ලැබූ ෆ්‍රීමන්, හිස් කබලේ සිදුරු සිදුරු හරහා නොව අක්ෂි හරහා ඉදිරිපස පෙති වෙත ළඟා වීමට අදහස් කළේය. 1945 දී ඔහු තම මුළුතැන්ගෙයින් අයිස් කූරක් ගෙන මිදි ගෙඩි යොදා ගනිමින් එම අදහස පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. මෙම නව “ට්‍රාන්ස්බෝර්බිටල් ලොබොටෝමි” ක්‍රමයට අනුව ඉහළ ඇසිපිය ඔසවා, තුනී ශල්‍ය උපකරණයක් ඇසිපිය යටින් සහ අක්ෂි මුදුනට ඉහළින් යැවීම සිදු කෙරිණි. නාස් පොල්ලේ තලය දිගේ මොළයට අංශක 15ක් පමණ වමෙන් හෝ දකුණින් ඉඳිකටුව යැවිණි. පසුව පෙරපරිදි ම ලියුකෝටෝමය ඉවත් කර, අනෙක් පැත්තෙන් ක්‍රියා පටිපාටිය නැවත සිදු කරන ලදි.

ෆ්‍රීමන් විසින් 1946 දී සජීවී රෝගියෙකු සඳහා පළමු ට්‍රාන්ස්බෝර්බිටල් ලොබොටෝමය සිදු කළේ ය. එහි සරල බව මඟින් මානසික රෝහල්වල එය සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳ යෝජනා විය. මන්දයත් මීට පෙර සංකීර්ණ ක්‍රියා පටිපාටියට අවශ්‍ය ශල්‍යකර්ම සඳහා පහසුකම් නොමැති වූ බැවිනි. ෆ්‍රීමන් යෝජනා කළේ සාම්ප්‍රදායික නිර්වින්දනය නොමැති අවස්ථාවල දී රෝගියා සිහිසුන් ව සිටීම සඳහා විද්‍යුත් විච්ඡේදක ප්‍රතිකාරය භාවිත කළ යුතු බවයි. 

ව්‍යාප්තිය

මෑත කාලය වන විට එක්සත් ජනපදයේ දළ වශයෙන් 40,000ක් පමණ දෙනා ලොබොටෝමීකරණය කර තිබෙන බවට සාක්ෂි ඇත. එංගලන්තයේ, ලොබොටෝමි 17,000 ක් සිදු කරන ලද අතර, ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන නෝර්ඩික් රටවල් තුනෙහි දළ වශයෙන් ලොබොටෝමී 9,300ක සංඛ්‍යාවක් සිදු කර තිබේ. ස්කැන්ඩිනේවියානු රෝහල් එක්සත් ජනපදයේ රෝහල්වලට වඩා 2.5 ගුණයක් ලොබොටෝමීකරණය කර ඇත. ඒ, ප්‍රධාන වශයෙන් කාන්තාවෝ හා කුඩා දරුවෝ වෙති. ජපානයේ, ලොබොටෝමි ශල්‍යකර්ම බහුතරයක් සිදු කරනු ලැබුවේ චර්යා ගැටලු ඇති දරුවන් හට ය. සෝවියට් සංගමය සදාචාරාත්මක හේතුන් මත 1950 දී මෙම ක්‍රියාව තහනම් කළේය. ජර්මනියේ එය සිදු කරනු ලැබුවේ කිහිප වතාවක් පමණි. 1970 දශකය අගභාගය වන විට ලොබොටෝමි භාවිතය සාමාන්‍යයෙන් නතර විය. 

විවේචන.

1944 තරම් ඈත කාලයක දී ස්නායු හා මානසික රෝග පිළිබඳ ජර්නලයේ කතුවරයෙක් මෙසේ පැවසීය: “ප්‍රෙෆ්‍රොන්ටල් ලොබොටෝමියේ ඉතිහාසය කෙටියෙන් කියතොත් කුණාටුවකි. එහි ක්‍රියාමාර්ගය ප්‍රචණ්ඩකාරී විරුද්ධවාදිකම් සහ වහල්, ප්‍රශ්න රහිත පිළිගැනීම් වලින් සමන්විත වේ.” 1947 සිට ස්වීඩන් මනෝචිකිත්සක ස්නෝරේ වොල්ෆාට් විසින් මුල් කාලීන අත්හදා බැලීම් ඇගයීමට ලක් කරමින් භින්නෝන්මාදය සඳහා මොළයේ ලොබොටෝමි ශල්‍යකර්මයක් සිදු කිරීම පැහැදිලිවම අනතුරුදායක බවත්, මානසික ආබාධ පිළිබඳ නිදන්ගත අවස්ථාවන්ට එරෙහිව එවැන්නක් කිරීමට තරම් අප තවමත් අසමත් බවත් වාර්තා කළේ ය.

මොළයේ ඉදිරිපස පෙතිවල ඇති ද්‍රව්‍යය ඉවතට සම්ප්‍රේෂණය වීම තැලමස සමඟ ඇති සම්බන්ධතාවට බාධාවක් වන අතර එයින් කෝපයට තුඩු දෙන උත්තේජක සහ සමස්ත මානසික ක්‍රියාකාරිත්වයන් ලබා ගැනීමේ හැකියාව ඉවත් කරන බවත්, ඉන් විකෘතිතා ඇති වන බවත් බොහෝ දෙනෙකුගේ අදහස විය. සෝවියට් සමූහාණ්ඩුවේ වෛද්‍යවරුන් නිගමනය කළේ මෙම ක්‍රියා පටිපාටිය “මනුෂ්‍යත්වයේ මූලධර්මවලට පටහැනි” බවත් “ලොබොටෝමය හරහා උමතු පුද්ගලයෙකු මෝඩයෙකු ලෙස වෙනස් කරන බවත් ය”. මේ හේතුව නිසා ම 1970 දශකය වන විට, එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක මෙන් ම බොහෝ රටවල් ද මෙම ක්‍රියා පටිපාටිය තහනම් කර තිබුණි. එනමුත් අතිශය සීමිත හා නිසි ලෙස සිදු කරන ලද සමහර මනෝ චිකිත්සාවන් වෙනුවෙන් මෙම ප්‍රතිකර්මය ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බව ඇතැම්හු පැවසූහ.

21 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී නොබෙල් පදනම විසින් ලොබිටෝමාව සංවර්ධනය කිරීම සඳහා මොනිස්ට ලබා දෙන ලද ත්‍යාගය අවලංගු කරන ලෙස ඇතැම් රටවල් ඉල්ලා සිටියහ. මෙම තීරණය එකල ගත් විශ්මයජනක විනිශ්චය දෝෂයක් ලෙස හැඳින්විණි. නමුත් නොබෙල් පදනම ඒ වෙනුවෙන් පියවර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර ක්‍රියා පටිපාටියේ ප්‍රතිඵල පිළිබඳ පමණක් අවධානය යොමු කරන බව පැවසීය. අද වන විට, ලොබොටෝමි ශල්‍යකර්මය අපකීර්තිමත් ක්‍රියා පටිපාටියක් බවට පත්ව ඇත. වෛද්‍යවරුන්ගේ ම්ලේච්ඡත්වය හා රෝගීන්ගේ අයිතිවාසිකම් වෛද්‍ය විද්‍යාව විසින් පාගා දැමීමේ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author