Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභිබවා යාමට සූදානමක් !

පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වන අයුරින් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සංශෝධනය කර වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇති උපදෙස් අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා විදුහල්පතිවරුන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ නිවේදනයේ සඳහන් වේ.

“එසේම, ශිෂ්‍යත්ව විභාගයේ කුසලතා පදනම් කරගනිමින් ජාතික හා පළාත් පාසල්වල 6වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සහ සාමාන්‍ය පෙළ සුදුසුකම් පදනම් කරගෙන උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමද අදාළ විදුහල්පතිවරුන් විසින් සිදු කරනු ලබයි”.

ඊට අමතරව 37/2008 සහ 33/2019 චක්‍රලේඛ පරිදි පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බව ද එම නිවේදනයේ දැක්වේ.

අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට සුදුසුකම්ලබන කණ්ඩායම්…

ස්ථාන මාරුවීම් හේතුවෙන් පදිංචිය වෙනස්වීම්
විදේශගතව සිට පැමිණීම
පාර්ලිමේන්තුවට තේරීපත්වීම
අධිකරණ සේවයේ නියුක්ත විනිශ්චකාරවරුන්
රජයේ විශේෂඥ වෛද්‍ය සහ රජයේ වෛද්‍ය නිලධාරින්
පාසල්වල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයේ නියුක්තවූවන්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විධායක නිලධාරින්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපනඥ සේවාවන්හි නිලධාරින්

එසේම ළමුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයට ලක්ව ඒ පිළිබඳව පැවති විමර්ශනවලදී සුදුසුකම් ලැබීම, විශේෂ අවශ්‍යතා ඇති සහ සමාජ සුභසාධන මධ්‍යස්ථානවල රැඳීසිටින දරුවන්වීම යන කාණ්ඩයන් ද අතරමැද පන්ති සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය අභියෝගයට ලක් කිරීම

කෙසේ වෙතත් ජාත්‍යන්තර නිර්ණායක ද සැලකිල්ලට ගනිමින් එක පන්තියකට ඇතුළත් විය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දී තිබුණේ 2012 වසරේ දී යි.

2007 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව ශ්‍රේණ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු අංක 289/2007 සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව අනුව (නඩු අංක 235/2011 සහ 232/2011) 2016 වර්ෂයේ සිට පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35ට සීමා විය යුතු බව නිශ්චය කර ඇත.

නමුත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේ පැන නගින ගැටලු පැහැදිලි කරමින් එවක පැවති රාජපක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත අංක 14/1745/580/060 හා 2014.12.10 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත්ම කර තිබූ අතර අධිකරණ නියෝගය 2016 වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව පාසල් වල පැවති පහසුකම් ද සැලකිල්ලට ගෙන පසුගිය රජය විසින් අධිකරණයට මෝසමක් ඉදිපත් කොට පළමු වසර සදහා එක් පන්තියකට ඇතුළත් කර ගැනීමට නියමිත ළමුන් සංඛ්‍යාව 40 සිට 35 දක්වා වසරකට එක බැගින් අඩු කරමින් 2021 වන විට 35 සීමාවට ගෙන එම සදහා කටයුතු කරමින් සිටියා.

මීට අමතරව ජනප්‍රිය පාසල් වල ශිෂ්‍ය තදබදය අවම කරමින් සියලු පාසල් සපිරි පාසල් බවට පත් කරමින් අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම වෙනුවෙන් ළගම පාසැල – හොදම පාසැල නමින් වැඩසටහනක් ද ක්‍රියාවට නංවා තිබුණා.