Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ප්‍රශ්න දිග් ගස්සමින්, ආණ්ඩුව රටට හතුරු බලවේගවලට පාර කපනවා, වහා මැදිහත් වන්න” – එජාපය ආගමික නායකයන්ගෙන් ඉල්ලයි

කොරෝනා අසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්වය මේ වන විට ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකටත් එහාට ගිය ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්නය බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙවැනි සංවේදී ප්‍රශ්න පොදු සම්මුතියකට පැමිණ වහා විසඳීමට රජය තවමත් අපොහොසත් වී ඇති බවයි.

මෙම කල් මැරීමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ, මෙවැනි ප්‍රශ්න දඩමීමා කර ගනිමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමට උත්සහ දරන විවිධ බලවේගයන් විවිධ මුහුණුවරින් මතුවෙමින් මෙරට ජන සමාජය තුළ අර්බුධ නිර්මාණය කිරීම සදහා කටයුතු බවද අවධාරණය කරන එක්සත් ජාතික පක්ෂය, එම අරමුණු පරාජය කර දැමීම සඳහාත් ජනතාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ බැදීම් තහවුරු කිරීම සදහාත් රජයේ මැදිහත් වීමෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීම වහා සිදුකළ යුතු බවද අවධාරණය කරනවා.

එහිදී ආගමික නයකයින්ගේ අවවාද අනුශාසනා වලට මුලිකත්වය ලබා දීමට සහ අදාළ සියලු අංශ සම්බන්ධීකරණය කිරීමට රජය කටයුතු කල යුතු බවත් පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය සහ යෝජනා පිළිබඳ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අගරදගුරුතුමන් ප්‍රමුඛ ආගමික නායකයින් දැනුවත් කරමින් විශේෂ සංදේශයක් යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක රැවන් විජයවර්ධන මහතා විසින් අදාළ ලිපිය යොමු කර ඇති අතර එහි දක්වා තිබෙන්නේ ආගමික නායකයන්ගේ අවවාද සහ සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිබඳ අවදානය යොමු කරමින් මෙම ගැටලුව විසදීම සඳහා රජය කඩිනමින් මදිඅහත් විය යුතු බවයි.

ඒ සඳහා ආගමික නායකයන්ගේ මැදිහත් වීමක් සිදු කරන ලෙසද අදාළ ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.

අදාළ ලිපිය පහළින්,

කොරෝනා අසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳ

කොරෝනා අසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සම්බන්ධයෙන් මේ වන විට නිර්මාණය වී අර්බුධකාරී තත්වය මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද කතා බහට ලක් වී ඇත. කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් මේ වන විට මතුව තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ඔබවහන්සේට දැනුම් දීම සදහාත් ඒ සම්බන්ධයෙන් වහා මැදිහත්වන ලෙස ඉල්ලා සිටීම සදහාත් මෙම සංදේශය ඔබ වහන්සේ වෙත යොමු කිරීමට අප තීරණය කළෙමු.

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු සම්බන්ධ තීරණය ආණ්ඩුව කඩිනමින් ගත යුතුය.එමෙන්ම එය සියළු ජනකොටස් සමග සාකච්ඡා කිරිමෙන් පසු පොදු එකගතාවයකට පැමිණ ගතයුත්තක් බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව දැනුම් දීමට කැමැත්තෙමු.

අප පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයන් පසුගිය  23 වන දා පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විම අමතමින්  එතුමා විසින් අදාල යොජනා ව ඉදිරිපත් කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය එම අදහස ඒකමතිකව අනුමත කරන ලද බව ද දන්වනු කැමත්තෙමු. මෘත දේහයන් අදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරිම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත්,

විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, කතෝලික සහ මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී යෝජනා කරන ලදී. සියලු ජනතාවට ආමන්ත්‍රණය කල හැකි වන්නේ සියලු ආගම් නියෝජනය කරන වගකීම් සහගත ආගමික නායකයින්ගේ නියෝජනය ඒ සඳහා ලැබෙන්නේ නම් පමණක්ය යන ස්ථාවරයේ අප සිටින්නෙමු.

එක්සත් ජාතික පක්ෂය සැමවිටම බුදුදහමට ප්‍රමුඛත්වය ලබා දෙමින් සෙසු ආගම්වල අයිතීන් මෙන්ම වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සහ ක්‍රියා කරන, ජාතීන් අතර සංහිදියාව පිළිගත් පක්ෂයක් ලෙස මෙම ගැටලුව දෙස බලන්නේ පුළුල් දෘෂ්ටිකෝණයකිනි. මුස්ලිම් ජනතාව පමණක් නොව කතෝලික ජනතාව ද මෘත ශරීර භූමදානය කරන බව ද අප පිළිගත යුතු දෙයකි.අනෙක් අතට ඇතැම් අවස්ථාවල බෞද්ධ මෙන්ම හින්දු ජනතාවත් මළ සිරුරු භුමදානය කරන අවස්ථා තිබේ. ඔවුන් මෘත දේහයන් ආදහනය කරන අවස්ථා ද  තිබේ. අප ඒ අයිතිවාසිකම ද පිළිගත යුතුය.

මේ ප්‍රශ්නයේදී “කිසි ලෙසකින්, ජනතාව ජාතිය, ආගම, කුලය අනුව වෙන් නොකර පවතින සැබෑ තත්ත්වය ගැන ආගමික නායකයන් සමග සාකච්ඡා කළ යුතුය. කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙවැනි සංවේදී ප්‍රශ්න පටු ජාතිවාදී හෝ ආගම්වාදී කරුණු වෙනුවෙන් යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතුය”යන ස්ථාවරයේ අප සිටිමු.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත්ය. සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන නිර්දේශ ඉහළින්ම පිළිගත යුතුය යන ස්ථාවරයේ අප සිටින්නෙමු. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. එහිදී කළ යුතු වන්නේ සියලුම ආගමික නායකයින් සහ සෞඛ්‍ය බලධාරීන් කැඳවා සාකච්ඡා කර ඉකමණින් තීරණක් ගැනීමයි.

ඒ අනුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව හා ඉස්ලාමීය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන සමඟ මුලික සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව අදාල දෙපාර්තමේන්තුවල  සම්බන්ධීකරණයෙන් ආගමික නායකයින් සමඟ සාකච්ඡා කිරිමට පියවර ගතයුතු බව අප යෝජනා කරමු.

සියළු පාර්ශව සමග සාකච්ඡා කොට අවසන් විසදුමකට පැමිණෙනවා විනා, ඒකපාර්ශවිකව, අන්තගාමිව කටයුතු කොට එක ජනවර්ගයක ජනතාව පීඩාවට ලක් කරමින් මෙවැනි සංවේදි ප්‍රශ්න ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න බවට පත්වන්නට ඉඩ දී රජය කල් මැරීමෙන් සිදුවෙන්නේ ජාත්‍යන්තරයේ අප රට පිලිබඳ අයහපත් ආකල්ප නිර්මාණය කිරීමට කැස කවන බලවේගයන්ට වක්‍රාකාරයෙන් උදව් කිරීම පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.

            එබැවින් මේ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ගෞරව පුර්වක ලෙස ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

රුවන් විජයවර්ධන, නියෝජ්‍ය නායක, එක්සත් ජාතික පක්ෂය.

About The Author