Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රභාකරන්ට ගහන්න – සෙන්පතිවරු තැනූ ආනන්දේ බර්ටි සර්

බර්ටි ප්‍රනාන්දු, ඒ නම රටට හුරු නැති වුවත් ඔහු තැනූ ගෝල පරපුර ගැන නම් නොදන්නා අයෙක් මේ බිමේ නැත. ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ඊළාම් යුද්ධයට අණ දුන් බොහෝ සෙන්පතිවරුන්ගේ ගුරුවරයා වූයේ ඔහුය. දශක ගණනාවක් කොළඹ ආනන්දයේ කැඩෙට් කණ්ඩායම භාර ආචාර්යවරයා වූ ඔහු හැඳින්වෙන්නේ ත්‍රිවිධ හමුදාවට වැඩියෙන්ම නිලධාරීන් නිෂ්පාදනය කළ ගුරුතුමා ලෙසය. මේ ගිය සතියේ දිවි සැරිය නිමා කළ ඔහු ගැන ගෝලයන්ගේ මතකාවර්ජනයකි.

ඒ දෙදහස් නවයේ මැයි මාසයේ මැද දවසකි. තිස් වසරක් පුරා මේ බිමේ ජීවත් විය යුත්තේ කවුද මැරිය යුත්තේ කවුදැයි තීරණය කරමින් රුහිරු ගංගා නිර්මාණය කළ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණ සහතිකය ලියන්නට සටන් බිමේ හුන් සෙන්පතිවරු එක වහළක් යටදීම රැස්වූහ.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් එතැන සිටි ජ්‍යෙෂ්ඨයාය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, බ්‍රිගේඩියර්වරු වන ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා සෙසු පිරිසය. මේ අතරින් ශවේන්‍ද්‍ර සිල්වා හැර අනෙකුත් සියල්ලෝම කොළඹ ආනන්දයේ නිෂ්පාදනය.

ඔවුන් පමණක් නොව එකල ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙන්ම සටන් බිමේ ක්ෂේත්‍ර අණදෙන්නෝ රැසක් ආනන්දයේ නිෂ්පාදනය.

සරත් ෆොන්සේකාට පෙර යුද හමුදාපති ධුර දැරූ ජෙනරාල් ලයනල් බලගල්ල, ජෙනරාල් රොහාන් දළුවත්ත ආදීන්ගේ ඉස්කෝලයත් ආනන්දයි.

එසේ බලන විට ඉස්කෝලෙන් පමණක් නොව රස්සාවෙන්ද මේ සියල්ලෝම එක රෑනේ කුරුල්ලන්ය. එලෙස යුද පෙරමුණේ අභීත සිංහ නාදය එක හඬින් ගයන්නට ඔවුන්ට පුරුදු කළේ එක් මිනිසෙකි. ඔහු බර්ටි ප්‍රනාන්දුය. බර්ටි ප්‍රනාන්දු ගැන ආනන්දයේ අයට නම් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත්තේය. ආනන්දයට වඩා ඔහු මුළු රටටම වටින වීරයෙක් බවට පත්වන්නේ එක් හේතුවක් නිසාය.

ත්‍රිවිධ හමුදාවට වැඩියෙන්ම තරු දෙකේ ජෙනරාල්ලාද, තරු දෙකේ අද්මිරාල්ලාද, තරු දෙකේ එයාර් මාර්ෂලා බිහි කළ එකම ගුරුවරයා බර්ටි ප්‍රනාන්දුය. කොටින්ම කියනවා නම් ලංකා හමුදා ඉතිහාසයේ මුල්ම හා එකම තරු පහේ ජෙනරාල් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ​​ෆොන්සේකා එකම තරු පහේ අද්මිරාල් වන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩත් බර්ටි ප්‍රනාන්දු සර්ගේ අනර්ඝ නිෂ්පාදනයන්ය. ඔවුගේ නිෂ්පාදන ත්‍රිවිධ හමුදාවට පමණක් සීමා වූයේ නැත.

රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට දස දෙස කීර්තිය පතුරුවාලූ කීර්තිමත් රණවිරුවන්, ලෝ පතළ ආචාර්ය මහාචාර්යවරු, ප්‍රවීණ ක්‍රීඩකයන්, වෛද්‍යවරු, ආදී බොහෝ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් බිහි වූයේ ඔහුගේ ගුරුහරුකම් මැද්දේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපපක්‍ෂ, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, රවිනාථ ආරියසිංහ, මහාචාර්ය හරීන්ද්‍ර සිල්වා, මහාචාර්ය සුනිල් විමලවංශ, හිටපු නීතිපති යුවන්ජිත් විජේතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, සුනිල් සහ සිදත් වෙත්තමුණි සොහොයුරන්, මොහාන් ලාල් ග්‍රේරු, ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය වැන්නෝ ඉන් කිහිපදෙනෙක් පමණි.

පී. ද ඇස් කුලරත්න, එල්.එච්. මෙත්තාන්නද ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගෙන විදුහල්පතිකම් කරන්නට ආනන්දයට ආවා සේ බර්ටි ප්‍රනාන්දුත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගැනීමෙන් පසු ආනන්දයට එක් වෙන්නේ එක්දහස් නවසිය හැට එකේ වසරේදීය.

ඒ සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වන ගුරුවරයෙකු ලෙසිනි. එක්දහස් නවසිය හැත්තෑ හතර වසර තෙක් ආනන්දයේ සේවය කළ ඔහු, එහි ශිෂ්‍ය භට කණ්ඩායම භාර ගුරුවරයාය. ඊට අමතරව විද්‍යාලයීය විනය භාර ගුරුවරයා ලෙසත්, ක්‍රීඩා පරිපාලකවරයා ලෙසත්, ශිෂ්‍ය නේවාසිකාගාර භාර පාලකවරයා ලෙසත්, ආනන්දයට ඔහු කළ මෙහෙය අපමණය. ඒ සියල්ලටම වඩා ඔහු සිසුන්ට තවත් එක් ගුරුවරයෙක් පමණක් නොවීය. ආනන්දීයයන්ගේ ‘‘ආදරණීය දුයිෂෙන්’’ද ඔහුය.

“බර්ටි සර්ව මට මුණගැහෙන්නෙ එක්දහස් නවසිය හැත්තෑ දෙකේදි විතර. එතකොට මං සාමාන්‍ය පෙළ පන්තිවල. සර් තමයි මට භෞතික විද්‍යාව ඉගැන්වුවෙ. ඊට අමතරව මං නේවාසිකාගාරෙ ඉද්දි එහි පාලකවරයා වුණෙත් සර්මයි. ශිෂ්‍යයො විදිහට ඉන්න කාලෙ අපේ හිතට සර් කාවද්දපු විනය තාමත් අපේ ජීවිතවල එහෙමම යි. ඒක අපිට කවදාවත් අමතක වෙන දෙයක් නෙමෙයි.”

එහෙම කියන්නේ ආනන්දයේ ආදි සිසුවෙකු වන විපුල මිනුවන්පිටියයි. ඔහු රේගු නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයාය. ඔහු කියනා හැටියට විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා ලෙස බර්ටි ප්‍රනාන්දු සර්ට වරදකදී කිසිදු සිසුවකුගේ තරාතිරමක් පෙනුණේ නැත. ඒ සිසුවා ආවේ කුමන පවුලකින්දැයි ඔහුට අදාළ වුණේ ද නැත. වැරැද්දේදී ඒ සියල්ලටම ඔහුගේ දඬුවම එක හා සමාන විය. එහෙත් ඔහු කිසිදිනෙක ඒ වැරදි කිසිවක් සිතේ තබා ගත්තේද නැත. දඬුවමෙන් පසු ඔහු නැවතත් සිසුන්ගේ ආදරණීයම ගුරුවරයා පමණි.

ඔවුන් කියනා හැටියට බර්ටි ප්‍රනාන්දු සර් ගුරුවරයෙකු ලෙස නිතරම කටයුතු කළේ තරුණ ශිෂ්‍ය සිත් රිසිසේ හඳුනා ගනිමිනි. කොලු වයසේ දඟකාරකම් ඔහු දමනය කළේ අපූරුවට ය. විටෙක ඒ වෙනුවෙන් ඔහු උපක්‍රමශීලි වූ අවස්ථා ද බොහොමයකි.

මේ කාලයේ, ආනන්දය ළඟම ඇති ප්‍රසිද්ධ බාලිකා පාසල් දෙකෙන් එකක ශිෂ්‍යාවන් නැවතී සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් ද පිහිටියේ ආනන්දයේ ශිෂ්‍ය නේවාසිකාගාරය අසලමය. ඉදින් එහි නේවාසිකව හිඳින ශිෂ්‍යාවන්ට ආනන්දයේ සිසුන්ගේ උසුළු විසුළුකම්වලින් නිමක් නොවීය. ඒ ගැන ශිෂ්‍ය නේවාසිකාගාරයේ පාලකයා ලෙස බර්ටි සර්ට, බාලිකා නේවාසිකාගාර පාලිකාවගෙන් පැමිණිලි ලැබුණේ වරක් දෙවරක් නොවේ. සිසුන්ට දඬුවම් කරන්නට පෙර මේ ගැන තමන්ගේ අතටම අල්ලා ගන්නට බර්ටි සර්ට අවශ්‍ය විය. ඒ නිසා එක් දිනෙක අල්ලපු නේවාසිකාගාරයේ බාලිකාවන්ට, ආනන්දයේ සිසුන්ට පෙනෙන ඉසව්වේ ගැවසෙන ලෙස කීවේ බර්ටි සර්මය. ඒ ගැන නොදත් ආනන්දියෝ ලද අවස්ථාවෙන් උපරිම ඵල වින්දෝය. තමන් වැටුණේ උගුලක බව ඔවුන්ට වැටහුණේ පිටුපසට තද වේවැල් පහරවල් රිසි සේ වදිද්දීය. එදායින් පසු අසල්වැසි බාලිකාවන් දෙස බලන්නට කලියෙන් දෙපාරක් සිතන්නට ඔවුහු පෙලඹුණහ.

ඒ වාගේම ඔහුගේ නේවාසිකාගාර කාර්යාල කාමරයේ ඒ දිනවල එක එක ප්‍රමාණයේ වේවැල් ගණනාවක් ද විය. ඒ නිසා කුමක් හෝ වැරැද්දකට සිසුවෙකු වැරදිකරු වුවහොත් තමන්ට දඬුවම කළ යුතු වේවැලේ ප්‍රමාණය ඒ සිසුවාටම තෝරා ගන්නට හැකි විය. ඉදින් සමහර සිසුන් හිතන්නේ හීනි වේවැලෙන් ගැසුවොත් අඩුවෙන් රිදෙනු ඇති බවයි. ඇතැමෙක් මහත වැඩි නිසා අඩුවෙන් රිදෙනු ඇතැයි සිතා මහත වැඩිම වේවැල තෝරති. අවසානයේ මොන වේවැල තෝරා දුන්නද දඬුවම් පහරේ වේදනාව සියල්ලන්ටම එක හා සමානය. ඒ, දඬුවමට අත දිග හැර තදින් පහර දෙන්නට බර්ටි සර් කිසි දිනෙක නොපැකිළ වූ නිසා ය. මේ ගැන අපිට කිව්වේද රේගු නිලධාරී විපුල මිනුවන්පිටියමය.

ඔහු සිසුන්ගේ විනය හැදුවේ වචනයෙන් පමණක් නොවේ. සිය හැසිරීමෙන් ද ඔහු ඒ පිළිබඳව සිසුන්ට ඒත්තු ගන්වන්නට නිතරම කටයුතු කළේය. ඇඳුමෙන් පැලඳුමෙන් පමණක් නොව කතාබහෙන්ද ඔහු ආදර්ශවත් ගුරුවරයෙකු විය. ඒ ගැන අපට කියන්නේ, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ය. ඔහු පැවත එන්නේ ද බර්ටි සර්ගේ කීර්තිමත් ගෝල පරපුරෙනි. එකල ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට්, රගර්, හොකී කණ්ඩායම්වල සාමාජිකයෙක් වූ ආනන්ද පීරිස් එවකට පාසල් පාපන්දු කණ්ඩායමේ නායකයා ද විය. ඒ නිසා ඔහු හා බර්ටි ප්‍රනාන්දු අතර ඒ කාලයේ පටන්ම පැවතියේ ඉතා සමීප ඇසුරකි.

“මගේ ශිෂ්‍ය ජීවිතයේ මං දැකපු පිළිවෙළටම අඳින පෞරුෂයෙන් ඉතාම ඉහළ ගුරුවරයා තමයි බර්ටි සර්. සර්ගෙ ඇඳුම හැමදාම තනි සුදු. හිටපු හමුදා නිලධාරියෙක් නිසා මද කොහෙද සර් හරිම පිළිවෙළයි. ඇවිදින්නෙ හරිම සෘජුව. කොණ්ඩය පීරපු විදිහ, සපත්තු පැලඳි විදිහ පවා හරිම පිළිවෙළයි. ඒ නිසා සර්ගෙ ඒ පිළිවෙළ අපිත් ඒ විදිහටම අනුකරණය කළා.”

රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පවසන පරිදි බර්ටි සර්ට ඔහුගේ ගෝලයන් ගරු කළේ, ඔහු සැරපරුෂ ගුරුවරයෙකු වූ නිසාම නොවේ. ඔහු තුළ වූ ප්‍රතාපවත් පෞරුෂය, තීරණ ගැනීමේදී දැක්වූ සෘජු බව, සියලු සිසුන්ට දැක්වූ සාමානාත්මතාව, ආදී සියල්ලක්ම ඊට හේතු සාධක විය.

“සර් ගැන අපි හැමෝම තුළ තිබුණෙ බියමුසු ගෞරවයක්. ඒ අපිට ගහල බැණලම නෙමෙයි. සර්ගෙ හැසිරීමත් එක්ක සර් ඒක සිය ගුරු ජීවිතය තුළ හරිහම්බ කරගත් දෙයක්.” ආනන්ද පීරිස් කියන්නේය. බර්ටි සර් නිසාම යුද හමුදාවට ආදරය කළෝ බොහොමයකි. ආනන්ද පීරිස් ද එවැන්නෙකි. ඔහු කියන්නේ හමුදාවට බැඳෙන්නට සිය සිතට මුලින්ම කැමැත්තක් ඇති වුණේ බර්ටි සර්ගේ පිළිවෙළ දැකීම නිසා බවයි.

ඒ විතරක්ම නොවේ. සිය ගෝලයන් තම ඉලක්ක කරා යද්දී ඊට අවැසි ගුරුහරුකම් නොපැකිළව ලබා දෙමින් මනාව සිය ඉලක්කයන්ට සිසුන්ව යොමු කරවන්නට ද බර්ටි සර් කැපවුණේ හදවතින්මය. තමන්ගෙන් ගුරුහරුකම් ලැබූවෝ ඉහළ තැන්වල හිඳිනා අයුරු දකිමින් ඔහු අප්‍රමාණ තෘප්තියක්ද ලැබුවේ ය. ආනන්ද පීරිස් පවසන පරිදි, ඔවුන් යුද හමුදාවට බැඳෙන්නට අදාළ සම්මුඛ පරීක්‍ෂණයට බැඳෙන්නට පෙර ඔවුන් කැඳවා ඒ සඳහා අවශ්‍ය උපදෙස් දෙන්නට ද බර්ටි සර් කටයුතු කර ඇත.

ඔහු ආනන්දයේ ශිෂ්‍යයන්ට ගුරුවරයෙකු නොව, ගුරු දෙවියෙකි. සිසුන්ගේ සිත්වලට විනය කාවැද්දවූ ගුරු පියෙකි. එහෙම කියන්නේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිය. බර්ටි ප්‍රනාන්දු සර්ගේ ශිෂ්‍යභට බලඇණියේ කීර්තිමත් ආදි ශිෂ්‍යභටයෙකු වන නන්ද මල්ලවආරච්චි ජනාධිපති කාර්ය සාධක බළකායක අධ්‍යක්‍ෂ ජනරාල්වයකි.

“අපිව නිදහස් දින පෙළපාළිය සඳහා පුහුණ කළෙත් බර්ටි සර්මයි. එතනදි අපිට හමුදාවෙ වගේ ම 303 රයිෆලයෙන් අවිසරඹ සංදර්ශනයක් කරන්නත් අවස්ථාව හිමි වුණා. ඒක පුරුදු කළෙත් බර්ටි සර්. ඒක අපේ ජීවිතයේ අමතක නොවෙන අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි, අපි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභටයන් විදිහට ඒ කාලෙ නිතරම අනුකරණය කළේ බර්ටි සර්ව. සර්ගෙ ඇඳුම, ඇවිදින විදිහ, ආචාර කරන ආකාරය මේ සියල්ලම අපේ සිතේ තදින්ම කාවැදුන දේවල්.”

ඔහු පවසන්නේ ඒ සියල්ල සිය හමුදා ජීවිතය ජය ගැනුමට මහත් රුකුලක් වූ බවයි. එපමණක් නොව සිය ශිෂ්‍ය ජීවිතය තුළ දෛනික කටයුතු පවා පිළිවෙළකට විනයක් ඇතිව කරන්නට ආනන්දයේ සිසුන් යොමු කරවීම සඳහා බර්ටි ප්‍රනාන්දු ගුරු පියාණන් නිතරම මහත් වෙහෙසක් දැරුවේ ය. තමන් යටතේ වන සියලු සිසුන්ගේ සෑම ක්‍රියාකාරකමක් ගැනම ඔහු සිටියේ සෝදිසියකිනි. ඒ දවස්වල වැඩිමනක් සිසුන් නැවතී සිටියේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ය. ඒ නිසා එහි පරිපාලකවරයා ලෙසින් සියලු සිසුන් ගැන සොයා බලන්නට බර්ටි ප්‍රනාන්දු සර්ට අවස්ථාවද හිමිවිය.

“නේවාසිකාගාරයෙදී කෑම කන්න හැමෝම එකම වෙලාවට රැස්වීම අනිවාර්යයි. එතනට ගිහින් නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයා අසුනෙ වාඩි වුණාට පස්සෙ අපි හැමෝම එකවර තමන්ගෙ අසුන්වල වාඩි වෙනවා. අපි කෑම අරන් ඉවර වෙනකම් බර්ටි සර් විමසිල්ලෙන් ඉන්නෙ අපි පිළිවෙළට කෑම ගන්නවද කියල බලන්න.” මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි පවසන්නේය.

මේජර් ජෙනරාල් නන්ද මලවආරච්චි හා ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට බැඳී විසිර ගියේ එකටමය. ගෝඨාභය රාජපක්ෂටත් හමුදාවට බැඳෙන්නට හේතු වූ කාරණා අතරේ ආනන්දයේ අනෙකුත් අයටත් වලංගු කාරණාවක් තිබුණේය. ඒ බර්ටි සර්ය. බර්ටි සර්ට අන්තිම වරට බොහෝ ගෝලයන් මුණගැසුණේ ගෝඨාභය රාජපක්ෂ ජනපති වීම නිමිති කර ආදි ආනන්දියන් සංවිධානය කළ උත්සවයේදීය.

සිය බිරිය කැටුව එහි පැමිණි බර්ටි සර් සිය ගෝලයන් සමග අතීතය සිහිපත් කළේ, තමා ශිෂ්‍ය නිවාස පාලකව සිටි අවදියේ නේවාසිකාගාරයේ සිට ගෝඨාභය ශිෂ්‍යයාගේ සිත් ගන්නා සිනාහව ගැන කියමිනි. ඒ ශිෂ්‍යයා දැන් රටේ ජනපතිය. රට වැසියෙක්, නිලධාරියෙක් ඔහුව අමතන්නේ ‘සර්’ කියාය. බලගල්ල, ෆොන්සේකා, කරන්නාගොඩ, වීරසේකරලා ඇතුළු හැම සෙන්පතියකුටම හමුදාවේත් කතා කරන්නේ ‘සර්’කියාය.

ඒත් මේ හැම සර්ලාටම බර්ටි සර් සර්ය.

© ගයත්‍රී ගීගනආරච්චි – සතිඅග අරුණ

About The Author