1.පළිඟු සත්කාරය.
පොතපතෙහි මෙන් ම චිත්‍රපටවල ද දක්නට ලැබෙන මායා ලෝකයේ මුල් තැන ගන්නා ඛණිජයකි, පළිඟු. ගිනිකඳු පිපිරීමකින් ඇති වූ මැග්මාටා හෝ අධික තාපය හේතුවෙන් ද්‍රව බවට පත් වූ පාෂාණ සල්ෆර්, කැල්සියම් ආදී මූලද්‍රව්‍ය සමඟ එක් වී පොළොවින් බොහෝ යටට වන්නට වසර 30ක් 50ක් පමණ කාලයක් නොසෙල්වී පැවතුණු පසු මෙම අලංකාර ඝන ද්‍රව්‍යය බිහි වේ.
පුරාණ යුගයේ පටන් පළිඟුවල තිබෙන සුව කිරීමේ බලය පිළිබඳ ජනතාව අතර නොයෙක් මතිමතාන්තර පැවතිණි. එමඟින් ස්වභාවික සුන්දරත්වය වැඩි කරන බවත් බුද්ධිය, මතකය, දියුණුව, වාසනාව, ප්‍රතිශක්තිය හා ධෛර්යය ළඟා කර ගැනීමට හැකි වන බවත් විශ්වාස කෙරිණි.
රෝග කාන්සාව හෙවත් තමන්ට කුමක් හෝ බරපතල රෝගයක් ඇතැයි විශ්වාස කරමින් බියෙන් කල් ගෙවීමේ මානසික රෝගයෙන් පෙළුණු (හයිපොකොන්ඩ්‍රියැක්) පුද්ගලයෙකු වන්නේ ඇඩොල්ෆ් හිට්ලර් ය. එබැවින් ඔහුගේ වෛද්‍යවරයා සෑම දිනක ම රාත්‍රියේ පළිඟු මිශ්‍ර කොට සෑදූ ඖෂධයක් ඔහුගේ තට්ටම්වලට එන්නත් කොට තිබේ. හිට්ලර් පිළිබඳ අවධානයෙන් සිටි පුද්ගලයින්ට අනුව ඉහත කී සියලු ගුණ ඔහු තුළ දක්නට ලැබුණේ එම ප්‍රතිකාරය හේතුවෙනි.
දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ දී හිට්ලර් සෑම උදෑසනක ම අන් කිසිවෙකුත් වඩා උද්යෝගීමත් ව දක්නට ලැබුණේත්, කිසිවෙකුත් නොසිතන තරමේ අවදානම් තීරණවල නොබිය ව එල්බ ගත්තේත් පළිඟු බලයෙනි. එහෙත් අවසානයේ දී පළිඟු බලය ඔහුගේ විශ්වාසයේ තරමට වාසනාව ගෙන නොඑන බව පැහැදිලි විය.
2.පැරෆින් සත්කාරය.
වර්තමාන රූපලාවන්‍යාගාරවල දී මුහුණේ තරුණ භාවය නැවත ළඟා කර ගැනීම සඳහා බෝටොක්ස් හා සත්ත්ව ප්‍රෝටීනයක් වන කොලැජන් යොදා ගනු දක්නට ලැබේ. 19 වන සියවසේ දී පමණ වයස්ගත වීම හේතුවෙන් මුහුණේ පමණක් නොව ශරීරයේ වෙනත් ස්ථානවල පවා ක්‍රමක්‍රමයෙන් හට ගන්නා රැලි මඟ හරවා ගැනීම සඳහා පැරෆින් ඉටි භාවිත කර තිබේ. අද අප ඉටිපන්දම් සෑදීමට ගන්නා ද්‍රව්‍යයක් ඔවුන්ගේ ඖෂධයක් බවට පත් ව තිබීම හාස්‍යයට කරුණකි. එහෙත් ඇතැම් විශේෂඥවරුන්ගේ අදහස වන්නේ යම් යම් තත්ත්වයන් යටතේ මෙම ද්‍රව්‍යය ආතරයිටිස් වැනි රෝග පාලනය කිරීම සඳහා ද යොදා ගත හැකි බව යි.
ඇදහිය නොහැකි කරුණ වන්නේ ඔවුන් ඒවා කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීම නවතාලීමේ අරමුණින් ඊට ඇතුළු කිරීම ය. එහෙත් මද කලකින් ම පැරෆින් ප්‍රතිකාරය ලද කාන්තාවන්ගේ සම මතුපිට වේදනා ගෙන දෙන ඉදිමීම් හට ගත්තේ ය. එබැවින් වගකිවයුත්තෝ මැදිහත් වී වහාම ක්‍රියාත්මක වන පරිදි පැරෆින් සත්කාරය අත්හිටුවීමට අණ ලබා දුන්හ. වර්තමාන රූපලාවණ්‍යගාරවල දී පැරෆින් යොදා ගැනීමට අවසර තිබෙන්නේ අත්, පාද ආදී ස්ථානවල මතුපිටින් ආලේප කිරීම සඳහා පමණි.
3.අධෝවාත ප්‍රතිකාරය
මධ්‍යකාලීන යුගයේ විසූ ඇතැම් වෛද්‍යවරුන් විශ්වාස කළේ අධික දුර්ගන්ධය වාතයේ පවතින බැක්ටීරියා විනාශ කිරීමට සමත් වන බව යි. ඒ හා සමාන විකාරරූපී මතයක් වූයේ මහාමාරිය ආදී වසංගත රෝග පැතිරෙන්නේ වාතය හරහා බව යි.
එබැවින් ජනතාව තමා අවට වාතයේ පවතින රෝගකාරක විෂබීජවලින් බේරීම සඳහා අධික දුර්ගන්ධය ගෙන දෙන යම් යම් වස්තූන් හා එළුවන්, උරුලෑවන් වැනි සතුන් ද සිය නිවෙස් අවට තබා ගත්හ. ගන්ධය රඳවා ගැනීමේ එක් උපක්‍රමයක් වූයේ අධෝවාත භාජන යි.
සෑම දිනක ම උදෑසන හොඳින් පිරිසිඳු කරන ලද භාජනයක මූඩිය ඇර, ඊට අධෝවාතය පිට කළ ඔවුහු, පසුව මූඩිය වසා එය ඉතා හොඳින් සුරක්ෂිත ව තබා ගත්හ. එම දිනය ඇතුළත අසල්වාසී නිවසක කිසිවෙකු රෝගී වී ඇති බව දැනගතහොත් හෝ, නිවසේ යම් සාමාජිකයෙකු පිටතට ගොස් පැමිණියහොත් ඉතිරි සාමාජිකයෝ සියලුදෙනා හැකි ඉක්මනින් තම තමාගේ අධෝවාත භාජන ඇරගෙන, එහි සිර වී තිබෙන දුර්ගන්ධය ආඝ්‍රාණය කළහ. පසුදින නැවත භාජනය පුරවා තැබූහ.
අදාළ ජුගුප්සාජනක ක්‍රියාවලිය මඟින් හදිසියේ තම නාසය තුළින් ඇතුළු වූ විෂබීජ මිය යන බවට දැඩි විශ්වාසයක එල්බගෙන සිටිය ද, රෝගවලින් බේරීම සඳහා කිසිදු සහායයක් එමඟින් නොලැබිණි. ලොව පුරා දහස් ගණනින් ජනතාව වසංගත රෝග හේතුවෙන් මිය ගියහ.
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්