2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරිසර පද්ධති වනසන්නන්ට කැනඩාවේ තෙල්මෝරුන් (Cod) පෙන්වන පූර්වාදර්ශය​

මෙරට ඉතිරිව තිබෙන පරිසර පද්ධති සියල්ල මේ වන විටත් ඉමහත් ආතතීන්ට ලක්ව තිබෙන​,හායනයට බඳුන්ව තිබෙන මෙන්ම විනාශවීයාමේ තර්ජනයන්ට මුහුනදී තිබෙන තත්වයට පත්ව තිබේ.මෙය ඉහල කඳුකරයේ වනාන්තර සහ කඳුකර තෘණභූමිවල සිට වනාන්තර​, කඩොලාන සහ මුහුදු තෘණභූමි දක්වා සියලු පද්ධතීන්ට පොදුවේ.

එනමුත්,තවමත් වගාවන් සහ ගව පාලනය මෙන්ම බොරලු කැපීම්වල සිට ඉස්සන් ව්‍යාපෘති දක්වා වන සියල්ල සඳහා ඉතිරි පරිසර පද්ධතීන් වලින් කොටස් ඉල්ලා සිටීමෙ තව දුරටත් දැකිය හැකිවේ.මේ සියල්ල සාධාරනීකරනය කරන්නට තැත් කරන්නේ ඒවා සංවර්ධනය වෙනුවෙන් සහ ජනතා අවශ්‍යතා වෙනුවෙන් සිදුකරන බව කියා පෑම මගිනි.

අනාගතය  ගැන නොසිතමින් සහ ප්‍රවනතා පිලිඹඳ සැලකිලිමත් නොවී,වර්තමාන අවශ්‍යතා සහ ආසන්න තන්හාවන් පෙරදැරි කරගෙන අදූරදර්ශී ලෙස ක්‍රියාකිරීමේ ප්‍රතිවිපාක පෙන්වන නිදසුන් ගනනාවක් ලොවේ විවිධ ප්‍රදේශ වලින් පෙන්නුම් කෙරේ.ඒවා අපට අනාගතය ගැන නිරවද්‍ය දැක්මකින් ක්‍රියාත්මක වීමට වටිනා මඟ හෙලිකරදීම් වේ.

කැනඩාවේ නැගෙනහිර නිව්ෆවුන්ඩ්ලන්ත ප්‍රාන්තයේ (Newfoundland) පවත්වාගෙන ගිය තෙල්මෝර කර්මාන්තය (Cod Fishery) සියවස් තුනක් එම ප්‍රාන්තයේ මෙන්ම විශේශයෙන් එහි නැගෙනහිර වෙරලේ ධිවරයන් සතුවූ ප්‍රධානතම ආදායම් මාර්ගයද විය​.15 වන  සියවසේදී ආරඹ්හ වූ මේ මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රධාන කොටස වූයේ තෙල්මෝරාගේ අක්මාවෙන් ලබාගන්නා තෙල් (Cod Liver Oil) (මෙරට ව්‍යවහාරයේ මෝර තෙල්) වල ආර්ථික වටිනාකම විය​.මේ ලාභය යම් ස්ථාවර මට්ටමක බොහෝ කලක් පැවත් අතර එය එහි ධිවරයන්ට හුරුපුරුදු පාරම්පරික කටයුත්තක් ලෙස ක්‍රියාත්මක විය​.එම ප්‍රාන්ත පාලනය විසින් මේ මත්ස්‍ය කර්මාන්තය සමරමින් මුද්දර පවා නිකුත් කර තිබේ.

නමුත්,1950 දශකයෙන් ඇරඹුනු යාන්ත්‍රික මසුන් මැරීමේ ක්‍රම සහ ඊට එක්කරන ලද නවීන තාක්ශනික ක්‍රම නිසා 1960 දශකය ආරඹ්හයේ පටක් සීඝ්‍ර වර්ධනයක් පෙන්වූ මේ මසුන් ඇල්ලීම 1968දී උච්ච තත්වයට පත්ව ඒ සමඟින් පරිහානියට ලක්වීමත් සිදුවිය​.(ප්‍රස්ථාරයෙන් මෙය පෙන්නුම් කෙරේ)

මේ තත්වය දුටු දූරදර්ශී පුද්ගලයින් මේ මත්ස්‍ය කර්මාන්තයට පාලන සහ සීමා පැනවිය යුතු බවට 1960 දශකයේ පටන් යෝජනා කලත්,ඒ සියල්ල ව්‍යර්ථ කරමින් මසුන් ඇල්ලීම එලෙසම කරගෙන යාමට ඉඩ ලබාදීමට මසුන් මරන්නන් කල බලපෑම් වලට එකඟවූ ප්‍රාන්තීය මෙන්ම ජාතික දේශපාලකයන්,ප්‍රාන්ත ආන්ඩුව මෙන්ම කැනඩා රයයත් ක්රියා කලේය​.මේ බිඳ වැටුනු මත්ස්‍ය කර්මාන්තයේ වර්ධනයක් 1980 දශකයේදී පෙන්වීමත් සමඟින් සීමා සහ පාලන පැනවීමට එරෙහි කණ්ඩායම් නැවතත් ප්‍රබල විය​.

මේ සියල්ලේ සමුච්චිත ප්‍රතිඵලය වූයේ 1992 වසරේදී කැනඩාවේ නැගෙනහිර වෙරලේ තිබූ තෙල් මෝර කර්මාන්තය එක්වරම මුලුමනින් බිඳ වැටීම විය​.ඒ තෙල්මෝර ගහනය අතීතයේ තිබූ ප්‍රමානයෙන් 1% ප්‍රමානයක් අට අඩුවීමක් නිසාවෙනි.අවසානයේදී කැනඩා රජය මේ මත්ස්‍යයා ඇල්ලීම වලක්වන්නට කටයුතු කලේය​.ඒ 1992 වසරේදී එම මත්ස්‍ය කර්මාන්තය බිඳ වැටීම සිදුවූ පසුව තව දුරටත් ඊට එරෙහි වන්නට කිසිවෙකු නොමැතිවූ පසුව විය​.එය​,ඊට බොහෝ කලකට ප්‍රථම ගත්තානම් තෙල්මෝර ගහනය ආරක්ශාවීම​,ධරනීය මසුන් මැරීමේ ක්‍රම මඟින් ධීවර කටයුතු සහ ධීවරයන්ගේ ආර්ථිකය පවත්වා ගෙන යාම මෙන්ම නිව්ෆවුන්ඩ්ලන්ත ප්‍රාන්තයේ මෙන්ම කැනඩාවේත් ආර්ථිකයට යහපත් තත්වයක මේ මත්ස්‍ය කර්මාන්තය පවත්වා ගත හැකිව තිබුනි.

නමුත්,හේතු කීපයන් නිසා සිදුවූයේ සිදු නොවිය යුතු දෙයකි.

ඊට බලපෑ ප්‍රධාන හේතු වූයේ:

  • කෙටිකාලීන ලාභයට ලොල් වීම​
  • වර්තමාන වාසි කෙරේ පමනක් සලකා ක්‍රියා කිරීම​
  • අනාගතය ගැන නොසිතා කටයුතු කිරීම​
  • විශේශඥයන් සහ දූරදර්ශි පුද්ගලයන් ප්‍රකාශකල මතයන් නොසලකා සිටීම​
  • තමන් සියලු දේ දන්නා බව සිතීම හෙවත් උඩඟුව කටයුතු කිරීම​
  • ජනතාවගේ වර්තමාන ඉල්ලීම් ගැන පමනක් සලකා කටයුතු කල පාලන තන්ත්‍රයන් (ප්‍රාන්තීය සහ රජය යන දෙකම​)
  •  ජනප්‍රියත්වය ගැන පමණක් සිත කටයුතු කල ප්‍රාන්ත සහ රාජ්‍ය දේශපාලනය​
  • කළ යුතුදේ කල යුතු වේලාවට නොකිරීම​
  • නිරවද්‍ය තීරණ පසෙකලා වාසි සහගත ලෙස ක්‍රියා කිරීම

© ආචාර්ය ජගත් ගුණවර්ධන