Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“නීති විරෝධිව ගෙන්වූ කහ තොග විනාශ කරන්න , දේශීය ගොවීන් සුරා කන මාෆියාවන්ට තිත තියන්න” – ජනපති අවධාරණය කරයි

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

මේ වන විට දේශීය ගොවීන් කහ සහ බඩ ඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීම ආසන්නව පවතිනවා.

නෙළා ගන්නා අස්වනු සඳහා ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර ඇති අතර ඇතැම් වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණ ලෙස  මැදිහත්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කූට ව්‍යාපාරිකයින් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි ද නියෝගකර තිබෙනවා.

එවැනි අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

මේ අතර මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳපොළක් සහතික කිරීමේ අවශ්‍යතාව මතුකර ඇති රාජපක්ෂ මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවි ජන සේවා කොමසාරිස්වරුන් සහ ක්ෂේත්‍ර මට්ටමේ සියලු නිලධාරීන් ගොවි අස්වනු සාර්ථකව මිලදී ගෙන ගොවි ජනතාව ශක්තිමත් කළයුතු බවටද නියෝග කර තිබෙනවා.

එමෙන්ම සේනා දළඹු උවදුර වැනි කෘමීන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවධානයෙන් සිටින ලෙසත් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.