Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිර්මාණ කොල්ලය සහ ශූර චෞරයෝ..! – නන්දන වීරරත්න

කොල්ල කෑ පිටුවලින් පොතක් තනා “සම්මාන” දිනූ කතාවක් සමාජ මාධ්‍ය කළඹමින් සිටි. මෙය අද ඊයේ කතාවක් නොවේ. වැලිවිටියේ සොරත, කුමාරතුංග මුනිදාස වැනි මහපඬිවරු පවා එකල පොත් හොරුට බියෙන් විසූහ. දිළිඳුබවේ පතුලට වැටුණු සුනිල් ශාන්ත වන් මහා නිර්මාණකරුවන්ට පවා නිර්මාණ කොල්ලකරුවන්ගෙන් අනුකම්පාවක් ලැබුනේ නැත.

මා දන්නා මහ දවල් මහමඟ සිදුවූ මහා නිර්මාණ කොල්ලය “සත් සමුදුර” චිත්‍රපටයේය. “පිපුණු කුසුම පරවූවා” ගීතය ය.

මේ නිර්මාණ කෝලය ගැන එකල කලා ලෝකය දැන සිටියත් එය නිහඬ අනුමැතියක් දුන් හෙයින් කාලයේ වැලිතලාවෙන් වැසී ගියේය. මේ කතාව අපට කීවේ “සත් සමුදුර” චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූ වසන්ත ඔබේසේකරය. බොහොවිට ඔහු මේ කතාව අපට කියූ ආකාරයටම ඩබ්ලිව්. ජයසිරි, වසන්ත කුලතුංග සහ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ද කියන්නට ඇතැයි විශ්වාස කරමි.

“සත් සමුදුරේ’ ප්‍රධාන ගීත දෙකම [සිනිඳු සුදු මුදු තලාවේ හා පිපුණු කුසුම පරවූවා ] ලීවේ මහගම සේකර ය. නමුත් චිත්‍රපටයේ මුල් පුර්ව දර්ශනය බලද්දී “පිපුණු කුසුම පරවූවා’ ගිතයේ රචකයා හැටියට නම් කෙරී තිබුනේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මහාචාර්‍ය සිරි ගුණසිංහය.

වසන්ත දර්ශනය අවසානයේ වහාම මේ වග සිරි ගුණසිංහගෙන් විමසුවේය. මන්ද සේකර ලීයූ ගී දෙකම සේකරගෙන් ගෙනැවිත් තිබුනේ වසන්තය. නමුත් සිරි ගුණසිංහ දුන්නේ මේ බඳු උත්තරයක් බව වසන්ත ඔබේසේකර අපට කීවේය. ‘වසන්ත, මමත් කවියෙක්..

ඉතින් මම හදපු චිත්‍රපටියේ මගේ සිංදුවක් නොතිබුනොත් මිනිස්සු මොනව හිතාවිද? අනික සේකරය ඕන තරම් සිංදු ලියල තියෙනව. එකක් අඩු වුනාට ඌට මොන අඩුවක් ද?”

මේ වෙනුවෙන් මහගම සේකර ගේ ප්‍රතිචාර දෙකක් ගැන ජනප්‍රවාද මා අසා ඇත. ඒ දෙකෙන් ම සේකර කෝප වූ බවක් හෝ වෛර කල බවක් මා අසා නැත. ඒ සේකර ය. සේකරලා දැන් නැත.

දෙවැනි ගී කොල්ලය මීට දශක එකහමාරකට පෙර මා ඇසූ එකකි. එය ප්‍රචන්ඩ ගී කොල්ලයකි. එහි එක් පාර්ශවකරුවෙක් වනේ අජිත් කුමරසිරි ය. ඔහුට පිලිතුරු දෙන්නට ඉඩ තබා කතාව පමනක් ලියමි.

එකල අජිත් අප්‍රකට නිර්මානකරුවෙක් හැටියට අපේ කණ්ඩායම් අතරේ ඔහුගේ ගී ඉදිරිපත් කරමින් සිටියේය. ඔහුට ජනප්‍රිය නවකතාවක් චිත්‍රපටයට නැඟෙද්දී සංගීතය සැපයීමට හා ගී ලීවීමට පැවරුණේය. ඔහු චිත්‍රපටයට ලියූ ගි දෙකේ අයිතිය නවකතා රචකයා උදුරා ගත්තේය. මේ ගැන විමසීමට ග්‍රන්ථ කතුවරයා මුණ ගැසුනු විට “ඔළුවට පිස්තෝලයක් තබා ගී දෙකේ අයිතිය ලියවා ගත් බව” ප්‍රකටය.

දැන් ඉතින් මේ නිර්මාණ කොල්ලයන් ගැන සෙවීමට අපි ආණ්ඩුව හවුල් නොකර ගත යුතුය. අපේ “ජනතා කොමිසමක් ‘ පත් කර ගත යුතුය. හැබැයි එවිට “ පිස්තෝල නිර්මාණකරුවන් එම කොමිසමේ නායකයා වීම වැලක් වීමට ක්‍රමයක් මට නැත.

© නන්දන වීරරත්න

About The Author