2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නින්ද නොයෑමේ රෝගය

මිනිස් අප්‍රිකානු ට්‍රයිපනොසෝමියාසිස් (African trypanosomiasis) නමැති රෝගය නින්ද නොයෑමේ රෝගය ලෙස ද හැඳින්වේ. එය කෘමීන්ගෙන් බෝ වන පරපෝෂිත රෝගයකි. එම රෝගකාරක විෂබීජ මිනිසුන්ට සම්ප්‍රේෂණය කරනු ලබන්නේ මිනිසුන්ගෙන් හෝ මිනිස් පරපෝෂිතයින්ට රැකවරණය සපයන සතුන්ගෙන් ලබා ගත් සෙට්සි මැස්සන් හෙවත් tsetse fly (Glossina genus) දෂ්ට කිරීම් මඟිනි.

මෙම වර්ගයේ මැස්සන් අප්‍රිකාවේ සහරා කාන්තාරය ආශ්‍රිත ව පමණක් දක්නට ලැබේ. එහෙත් මෙතෙක් සොයාගෙන නොමැති හේතු අනුව පෙනී යන්නේ, සෙට්සි මැස්සන් සිටින බොහෝ ප්‍රදේශවල මෙවැනි නිදා නොගැනීමේ අසනීපයක් කිසිවෙකුටත් නොමැති බව යි. කෘෂිකර්මාන්තය, මසුන් ඇල්ලීම, සත්ව පාලනය හෝ දඩයම් කිරීම මත ජීවනෝපාය රඳා පවතින ප්‍රදේශවල වෙසෙන ග්‍රාමීය ජනගහණය මෙම මැස්සන්ට වඩාත් නිරාවරණය වන අතර එම නිසා ඔවුන් අන්‍යයන්ට වඩා රෝගයට ගොදුරු වන බව පෙනේ. මෙම රෝගය එක් ගමක සිට සමස්ත කලාපයක් දක්වා පැතිරී යා හැකි ය. ආසාදිත ප්‍රදේශයක් තුළ රෝගයේ තීව්‍රතාව ද එක් ගමකින් තවත් ගමකට වෙනස් විය හැකි ය.

පරපෝෂිතයා මත පදනම්ව නින්ද නොයෑමේ රෝගය ආකාර 2 ක් ගනී. එනම්, Trypanosoma brucei Gambians (TbG) හා Trypanosoma brucei rhodesiense (TbR) ය. මින් පළමු ආකාරය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ රටවල් 24ක පමණ දක්නට ලැබේ. දැනට හමු වී ඇති රෝගීන්ගෙන් 98%ක් වාර්තා වන්නේ ටී.බී.ජී. හේතුවෙනි. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ නොමැති ව වුව ද අවුරුදු ගණනාවක් දක්වා කිසියම් පුද්ගලයෙකුට ආසාදනය වී තිබිය හැකිය. වඩාත් පැහැදිලි රෝග ලක්ෂණ මතු වන කාලය වන විට, බොහෝ දුරට රෝගය මධ්‍යම ස්නායු පද්ධතියට බලපා අවසන් වී තිබිය හැකි වේ. දෙවැනි වර්ගය දැනට නැගෙනහිර හා දකුණු අප්‍රිකාවේ රටවල් 13ක දක්නට ලැබේ. වර්තමානයේ, මෙම වර්ගයේ රෝගීන් හමු වී ඇත්තේ වාර්තා වූ රෝගීන්ගෙන් 2%ක් පමණි. එනමුත් මුල් වර්ගයට වඩා මෙම වර්ගයේ විෂබීජය උග්‍ර ආසාදනයක් ඇති කරයි. ආසාදනයෙන් මාස කිහිපයකට හෝ සති කිහිපයකට පසු පළමු රෝග ලක්ෂණය පෙන්නුම් කෙරෙයි. මෙම දෙවන වර්ගයේ රෝගය වේගයෙන් වර්ධනය වන අතර මධ්‍යම ස්නායු පද්ධතිය ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරයි.

නිදි නොයෑමේ රෝගයේ තවත් ආකාරයක් ප්‍රධාන වශයෙන් ලතින් ඇමරිකාවේ දී සොයා ගෙන තිබේ. එය “ඇමරිකානු ට්‍රයිපනොසෝමියාසිස්” හෝ “චාගාස් රෝගය” ලෙස හැඳින්වේ. හේතුකාරක ජීවියා වෙනස් ට්‍රයිපනොසෝමා උප ප්‍රභේදයකට අයත් වන අතර එය සම්ප්‍රේෂණය වන්නේ වෙනත් දෛශිකයකිනි.

ට්‍රයිපනොසෝමා කුලයට අයත් අනෙකුත් පරපෝෂිතයින්, සතුන් සඳහා ද ව්‍යාධිජනක වන අතර, වන සතුන් සහ ගෘහාශ්‍රිත සතුන් තුළ “සත්ත්ව නිදි නොයෑමේ රෝගය” ඇති කරයි. ගවයින් තුළ දී මෙම රෝගය “නාගනා” ලෙස හැඳින්වේ.  ගෘහස්ථ සතුන් හා විශේෂයෙන් ගවයන් බලපෑමට ලක් වූ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික සංවර්ධනයට අදාළ රෝගය ප්‍රධාන බාධකයකි.

ආසාදන හා රෝග ලක්ෂණ.

රෝගය බොහෝ දුරට සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත සෙට්සි මැස්සෙකුගේ මුඛය හරහා වන නමුත් වෙනත් ක්‍රම ද තිබේ.

1.මවගෙන් දරුවාට ආසාදනය – ට්‍රයිපනොසෝමා විෂබීජයට වැදෑමහ තරණය කොට කළලයට ආසාදනය විය හැකි ය.

2. රුධිරය උරා බොන වෙනත් කෘමීන් හරහා යාන්ත්‍රිකව සම්ප්‍රේෂණය විය හැකි ය.

3. දූෂිත විෂබීජය සහිත ඉඳිකටු වැනි උපකරණවලින්.

4. ලිංගික සම්බන්ධතා මඟින්.

රෝගයේ පළමු අදියරේ දී අදාළ විෂබීජය චර්මයේ අභ්‍යන්තර පටක, රුධිරය හා වසා ගැටිති තුළ පැතිරෙයි. මෙය “හීමෝ-වසා ගැටිති අවධිය” ලෙස හැඳින්වේ. එහි දී උණ, හිසරදය, විශාල වූ වසා ගැටිති, සන්ධි වේදනාව සහ කැසීම ආදී ලක්ෂණ ඇති වේ.

දෙවන අදියරේ දී පරපෝෂිතයන් ශරීරයේ රුධිර ස්නායු බාධකයෙන් එතෙර වී, මධ්‍යම ස්නායු පද්ධතියට ආසාදනය වේ. මෙය “ස්නායු රෝග අවධිය” ලෙස හැඳින්වේ. පොදුවේ ගත් කල මෙය සිදුවන්නේ රෝගයේ වඩාත් පැහැදිලි රෝග ලක්ෂණ මතු වන විට ය. හැසිරීමේ වෙනස්වීම්, ව්‍යාකූලතා, සංවේදක කැළඹීම් සහ දුර්වල සම්බන්ධීකරණය ආදිය මෙන් ම, රෝගයට එහි නම ලබා දෙන නින්දේ චක්‍රයට බාධා කිරීම ද මෙම අවධියේ වැදගත් ලක්ෂණයකි. නින්ද අහිමි වීම කෙනෙකුගේ ස්නායු පද්ධතියට ඍජුව ම බලපාන බැවින් සාමාන්‍යයෙන් මෙය මාරාන්තික රෝගයක් ලෙස සැලකේ.

රෝගයේ පරිපූර්ණ පරීක්ෂාව සඳහා මානව හා ද්‍රව්‍යමය සම්පත් අතිවිශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. එහෙත් අප්‍රිකාවේ එවැනි සම්පත් බොහෝ විට හිඟ ය. විශේෂයෙන් නගරයෙන් දුර බැහැර ප්‍රදේශවල මෙම රෝගය බහුල ව දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමහර ආසාදිත පුද්ගලයින් රෝග විනිශ්චය කර ප්‍රතිකාර ලබා ගැනීමට පෙර ම මිය යා හැකිය.

ප්‍රතිකාර.

රෝගය සඳහා ප්‍රතිකාර සිදු වන ආකාරය රෝගයේ ස්වරූපය සහ රෝග අවධිය මත රඳා පවතී. පළමු අදියර සඳහා භාවිත කරන ඖෂධ දෙවන අදියර සඳහා වඩා ආරක්ෂිත වුවත්, එතරම් සාර්ථක වන්නේ නැත. එසේ ම, කලින් රෝගය හඳුනාගෙන තිබුණහොත් සුව කිරීමේ අපේක්ෂාව වැඩි ය. ප්‍රතිඵල තක්සේරු කිරීම සඳහා රෝගියා මාස 24ක් පමණ ගත වන තෙක් පසු විපරම් කිරීමක් අවශ්‍ය වනුයේ පරපෝෂිතයන් දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පැවතිය හැකි බැවිනි. මෙහි දී රෝගියාගේ හිසින් ලබා ගත් මස්තිෂ්ක තරලය පරීක්ෂා කිරීම සිදු කෙරේ.

දෙවන අදියරේ දී ප්‍රතිකාරයේ සාර්ථකත්වය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ පරපෝෂිතයාට ළඟා වීමට රුධිර මොළයේ බාධකයෙන් එතෙර වන ඖෂධවල සාර්ථකත්වය මත ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 දී මෙම නිදි නොයෑමේ රෝගය සඳහා නව ප්‍රතිකාර මාර්ගෝපදේශයක් නිකුත් කරන ලදී. 

නිදි නොයෑමේ රෝගයේ ප්‍රධාන මිනිස් වසංගත.

විශ්වාස කිරීමට අපහසු වුව ද මෙය සැබැවින් ම වසංගතයක් ආකාරයෙන් පැතිර යා හැකි ය. පසුගිය ශතවර්ෂය තුළ අප්‍රිකාවේ මෙම රෝගයට අදාළ වසංගත කිහිපයක් දක්නට ලැබී තිබේ.

1.1896 සහ 1906 අතර, වැඩි වශයෙන් උගන්ඩාවේ සහ කොංගෝ ද්‍රෝණියේ.

2. 1920 දී අප්‍රිකානු රටවල් ගණනාවක.  

3. නවතම වසංගතය 1970 දී ආරම්භ වූ අතර 1990 දශකය අග දක්වා පැවතිණි.

1920 වසරේ දී වසංගතය පාලනය කරනු ලැබුවේ මිලියන සංඛ්‍යාත ජනයා අවදානමට ලක්ව ඇති ජංගම දුරකථන කණ්ඩායම්වලට ස්තුතිවන්ත වන්නට ය. 1960 ගණන්වල මැද භාගය වන විට මුළු මහාද්වීපයේ ම රෝගීන් 5000කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගය පාලනය විය. මෙම සාර්ථකත්වයෙන් පසුව, සෝදිසි කිරීම් ද ලිහිල් වූ අතර 1970 වන විට රෝගය නැවත මතු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික පාලන වැඩසටහන්, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ රාජ්‍ය නොවන සංවිධාන (එන්. ජී. ඕ.) යන සියලුදෙනා ම එක් වී 1990 සහ 21 වන සියවසේ මුල් භාගයේ දී මෙම රෝග චක්‍රය ආපසු හැරවූහ.

2000 සහ 2018 අතර වාර්තා වූ නව මානව අප්‍රිකානු ට්‍රයිපනොසෝමියාසිස් රෝගීන් සංඛ්‍යාව 95% කින් පහත වැටී තිබේ. එහෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකසන ලද නිවර්තන රෝග මාර්ග සිතියමෙහි මෙම රෝගය හඳුන්වා දී ඇත්තේ 2030 පමණ වන විට සම්පූර්ණයෙන් සුව විය හැකි රෝගයක් වශයෙනි. 

නිදි නොයෑමේ රෝගය අප්‍රිකාවේ රටවල් 36ක මිලියන සංඛ්‍යාත ජනතාවකට තර්ජනය කරයි. බලපෑමට ලක් වූ ජනගහණයෙන් බොහෝ දෙනෙක් ජීවත් වන්නේ ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් සඳහා සීමිත ප්‍රවේශයක් සහිත දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ය. එහෙයින් රෝගය හඳුනා ගැනීම මෙන් ම ප්‍රතිකාර කිරීම ද දුෂ්කර වන බව පෙනේ. ඊට අමතරව, අවතැන්වීම, යුද්ධය සහ දරිද්‍රතාවය ද රෝගය බෝ වීම වැඩි කරයි. 1998 දී රෝගීන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් ඒ ඇස්තමේන්තු ගත ගණන පමණි. සැබැවින් ම විෂබීජය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යාව 300,000ක් පමණ වන බවට තොරතුරු ලැබී තිබේ.

අවසන් වසංගතය අතරතුර ඇන්ගෝලාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ දකුණු සුඩානයේ ගම්මාන කිහිපයක පැතිරීම 50% දක්වා ඉහළ ගියේය. එච්.අයි.වී / ඒඩ්ස් රෝගයට වඩා ඉදිරියෙන් ඇති මෙම රටවල මරණ සඳහා පළමු හෝ දෙවන විශාලතම හේතුව බවට පත්ව තිබෙන්නේ නින්ද නොයෑමයි. අදටත් රෝගයේ අවදානමට ලක්ව ඇති ඇස්තමේන්තුගත ජනගහණය මිලියන 65කි.

වත්මන් රෝග ව්‍යාප්තිය

නිදි නොයෑමේ රෝගය ඇතිවීම එක් රටකින් රටකට මෙන්ම තනි රටක විවිධ ප්‍රදේශවලට අනුව ද වෙනස් වේ. පසුගිය වසර 10 තුළ වාර්තා වූ සිද්ධීන්ගෙන් 70% කට වඩා සිදු ව ඇත්තේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ය. රුවන්ඩාව, සෙනෙගල්, සියරා ලියොන්, ස්වාසිලන්තය සහ ටෝගෝ වැනි රටවල් දශකයකට වැඩි කාලයක් තිස්සේ කිසිදු නව සිද්ධියක් වාර්තා කර නොමැත. මෙලෙස සමහර රටවල රෝග සම්ප්‍රේෂණය නතර වී ඇති බවක් පෙනෙන්නට තිබුණත්, අස්ථායී සමාජ තත්වයන්, දුෂ්කර ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට හා රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාකාරකම්වලට ඇති බාධා ආදිය හේතුවෙන් නිශ්චිත තත්වය තක්සේරු කිරීමට අපහසු සමහර ප්‍රදේශ තවමත් පවතින බව පෙනේ. එසේ නම් මෙම මාරාන්තික රෝගය සම්පූර්ණයෙන් ම ලොවෙන් තුරන් ව ගොස් ඇති බව තවමත් කිව නොහැකි ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.