2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නැන්කින් සංහාරය.

දැනට වසර 82කට පමණ පෙර සිදු වූ කුප්‍රකට සිදුවීමක් වශයෙන් “මහා නැන්කින් සංහාරය” ලෝක ඉතිහාසය තුළ ලියවී තිබේ. එහි දී ලක්ෂ තුනකට වැඩි චීන වැසියන් ගණනක් මරා දමනු ලැබිණි. විසි දහසකට අධික කාන්තාවන් ගණනක් සමූහ දූෂණය කොට, අමානුෂික ලෙස ඝාතණය කරනු ලැබිණි. මෙම සිදුවීම කෙතරම් පිළිකුල් සහගත ද කිවහොත්, ඒ පිළිබඳ සිතන විටත් සියොළඟ කිළිපොලා යයි. හදවත කෝපයෙන් කැකෑරෙයි.

ඒ, දෙ වන ලෝක යුධ සමය යි. ජර්මනිය, ඉතාලිය හා ජපානය එකට එකතු වී මිත්‍ර හමුදාවට එරෙහි ව සටන දියත් කරමින් සිටියහ. ජපන් හමුදාව චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කළ අතර, එම ප්‍රදේශයේ තැනක “මන්චුකුවෝ” යන නමින් ජපන් රාජ්‍යයක් ද පිහිටුවා ගත්හ. 1937 වසරේ ජුලි මස වන විට ජපානයත් චීනයත් අතර පෙර පටන් විටින් විට ඇති වෙමින් තිබූ විරෝධතාවන් යුද්ධයක් බවට පෙරළිණි. ඊට ආසන්නතම හේතුව වූයේ “මාර්කෝ පෝලෝ” පාලමේ සටන යි. අගෝස්තු මාසය වන විට ජපන් හමුදාව චීනයේ “ෂැන්හයි” නගරයට පහර දුන්හ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය චීන ජනරජයේ අගනුවර වූ “නැන්කින්” ය.

මේ බව දැන ගත් චීන රජය වටහා ගත්තේ නියත වශයෙන් ම ඔවුන් ජපානයට පරාජය වන බව යි. එහෙයින් වහා ම ක්‍රියාත්මක වන පරිදි සිය සුපිරි හමුදාව නැන්කින් නගරයෙන් ඉවත් කර ගත් රජය, ඒ වෙනුවට ආධුනික හමුදා භට ඛණ්ඩ කිහිපයක් එහි රැඳවූහ. නැන්කින් නගර වැසියන් ද බිල්ලට දීමට සැලසුම් කළ ඔවුහු, එම වැසියන් පළා යාම වැළැක්වීම පිණිස අදාළ ආධුනික භටයන් මුරට යෙදවූහ. දෙසැම්බර් මාසයේ දී ජපන් හමුදාව නැන්කින් නගරයට පහර දුන් අතර එම මස 13 වන දින ඉතා පහසුවෙන් නගරය යටත් කර ගත්හ. සංහාරය ඇරඹුණේ ඉන් පසු ය. 

ජපන් හමුදා නිළධාරීන් වූ “තොශියාකි මුකායි’ සහ “ත්සුයෝශි නෝද” යන දෙදෙනා සිවිල් වැසියන් මරා දැමීමේ තරඟයක් පැවැත්වූහ. කඩු ගත් ඒ දෙදෙනා, අතට හසු වන හසු වන ආකාරයෙන් පිරිමින්, කාන්තාවන් , දරුවන් ආදී ඕනෑම පුද්ගලයෙකු මරා දැමූ අතර පළමුව සියයේ සීමාව පසු කරන තැනැත්තා ජයග්‍රාහකයා විය. මෙය කෙතරම් අමානුෂික වුවත් අදාළ නිළධාරීන් දෙදෙනා හා තරඟය සම්බන්ධ සම්පූර්ණ ලිපියක් ජපන් පුවත්පතක් වූ “ටෝකියෝ නිචි නිචි ෂිම්බුන්” හි පළ කෙරුණේ එයින් ජපන් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය වැඩෙන බව කියමිනි. 

සියලු චීන භටයින් පිටිතල හයා බැඳ යැන්සි නදිය වෙත ගෙන ගිය අතර පසුව එක පෙළට තබා වෙඩි තබනු ලැබිණි. සියලු මළ සිරුරු ගඟට අත්හැර දැමිණි. අනෙකුත් සිවිල් වැසියන්ට ද අත් වූයේ ඊට සමාන ඉරණමකි. ඔවුන් දුටු දුටු තැන වෙඩි තබා ඝාතණය කෙරුණු අතර, ඇතැම්හු එම වැසියන් වෙනුවෙන් පතරොමක් හෝ නාස්ති කිරීමට අකැමැති ව, බයිනෙත්තුවලින් ම ඇන ඔවුන් මරා දැමූහ. බයිනෙත්තුවේ උල් අගින් මිනිසුන්ගේ සිරුරේ බාහිර මෙන් ම අභ්‍යන්තර කොටස් ද ඉරා, ඉවතට ඇද දැමීමේ ක්‍රියාවලිය කිව නොහැකි තරම් දරුණු වුව ද, ඉන් ජපන් හමුදා භටයින්ට දැනුණේ සතුටක් පමණි. මිනිසුන්ගේ විලාපය ඔවුන්ගේ කන්වලට මී බඳුනක් විය. පසුව විශාල වළවල් කපා ඒ සියලු මළ මිනී එක ම වළකට දමා පස්වලින් පුරවන ලදී. ඇතැම් වැසියන් ඒ වන විටත් මිය ගොස් නොසිටිය ද, ඔවුන් ද පණපිටින් ම වළලා දැමිණි. තවත් වැසියන් පිරිසක් “තායිපින් ද්වාරය” අසලට ගෙන ගොස් බිම් බෝම්බ ආධාරයෙන් පුපුරවා දමනු ලැබිණි. 

කාන්තාවන්ගේ තත්ත්වය කිව නොහැකි තරම් අමානුෂික විය. සංහාරයෙන් ගැලවී ගත් චීන කාන්තාවක ඇය දැරියක ව සිටි කාලයේ දී මුහුණ දුන් එම අත්දැකීම විස්තර කරන්නේ මෙසේ ය. 

“පළවෙනියෙන් ම එයාලා අපි වගේ පොඩි ගැහැනු ළමයින් ව ගත්තේ නෑ. ටිකක් ලොකු ගැහැනු ළමයින්වයි ලොකු ගැහැනු අයවයි තමයි හොය හොයා ගිහින් අරගෙන ආවෙ. ඊට පස්සෙ ඒ හැමදෙනාව ම දූෂණය කළා. එක ගැහැනු කෙනෙක් අඩුම තරමින් පස් දෙනෙකුගෙන්වත් දූෂණය වුණා. ඊට පස්සෙ මරලා දැම්මා. බබෙක් හම්බ වෙන්න හිටිය අම්මා කෙනෙක්වත් එයාලගෙන් බේරුණේ නෑ. ලොකු අය ඉවර වුණා ම අපි වගේ පොඩි ළමයින් ව හොයාගෙන ආවා. අපේ අම්මා මාව පිදුරු ගොඩක හැංගුවා. ඒත් එයාලා පිදුරු ගොඩවල් ඔක්කොටම බයිනෙත්තුවලින් ඇන්නා. අපි කෑ ගැහුව ම අපිව හොයාගෙන එළියට ඇදලා ගත්තා. ඊට පස්සෙ හුඟක් කරදර කළා. අපි පණහක් විතර පැනලා ගිහිල්ලා ගං ඉවුරෙ හැංඟුණා. ඒත් එයාලා අපට වෙඩි තිබ්බා. මමයි තව දෙන්නෙකුයි විතරයි ගඟට පැනලා බේරුණේ.

හැබැයි මාව අහු වුණා. මාව ගැට ගහලා කකුල් දෙක මුලින් ඉරිලා යනකල් ම හිරිහැර කළා. මට සිහි නැති වුණා. සිහිය එද්දි සීයා මගේ ළඟ හිටියා. එයා මගේ කකුල් එකට ළං කරලා ලණුවකින් ගැට ගහලා තුවාලෙ හොඳ වෙනකල් ලණු ගලවන්න එපා කිව්වා. මගේ කොණ්ඩෙත් කපලා කොල්ලෙක් වගේ ඇන්දුවා. ඒ නිසා ආයෙ කවුරුත් මාව දූෂණය කළේ නෑ. ඒත් පයින් පාරවල් කකා හුඟක් වැඩ කරන්න සිද්ධ වුණා. අවුරුදු අසූවක් ගිහිල්ලත් තාම මගේ තුවාල හොඳ නෑ. කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නෙ නැති ඔළුව කැක්කුමකුයි කොන්දෙ කැක්කුමකුයි ඉතුරු වෙලා තියෙනවා…”

කුඩා දරුවන් ද ජපන්නුන්ගෙන් බේරුණේ නැත. ඔවුහු මාස ගණනක් වූ බිළිඳුන් පවා මවගේ තන පුඬුවෙන් උදුරා ගෙන, උඩ දමා, බිළිඳා බිමට වැටෙන විට බයිනෙත්තු උල ඇල්ලූහ. බිළිඳුන් බයිනෙත්තු මත ම අවසන් හුස්ම හෙළුෑහ. කුඩාවුන් වේදනාවෙන් කෑ ගසන විට ජපනුන් මහ හඬින් සිනහ වූයේ “අන්න බලාපල්ලා… පොඩි එකා හිනා වෙනවා… ” යනුවෙන් පවසමිනි. නගරය තුළ තිබූ සියලු ගොඩනැඟිලි හා නිවාස කොල්ලකනු ලැබූ අතර පසුව පුළුස්සා දැමිණි. මෙම ක්‍රියාවලිය සති හයක් පමණ පැවතිණි. යැන්කින් නගරය තුළ තවත් කිසිවක් ඉතිරි නොවූ හෙයින් 1938 මාර්තු මාසය පමණ වන විට ජපන් හමුදාව නගරය හැර දමා පිට ව ගොස් සිටි අතර, චීන රජය විසින් නැවත එහි වැසියෝ පදිංචි කරනු ලැබූහ. 

ජපානය සිය බලය පතුරුවාලීමටත්, සිය කර්මාන්ත වෙනුවෙන් ශ්‍රමිකයන් හා අමුද්‍රව්‍ය සපයා ගැනීමටත් උත්සාහ නොකළේ නම් මේ කිසිවක් සිදු නොවනු ඇත. පළමු ලෝක යුද්ධයෙන් පසු ජපානය පසුබා ගිය අතර චීනය පිබිදුණේ ය. බල ලෝභී මිනිසුන් හට ඉවසා ගත නොහැකි වූයේ සිය අසල්වැසියාගේ නැඟිටීම යි. යුද්ධය අවසන් වූ විගස ම, ජපන් හමුදාවේ අණ දෙන නිළධාරීන් වූ “මාට්සුයි” සහ ඔහුගේ ලුතිනන් “ටානි හිසාඕ”, “පෙරදිග ජාත්‍යන්තර මිලිටරි විනිශ්චය සභාව” විසින් යුද අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කොට, වරදකරුවන් කරනු ලැබිණි. එහෙත් නැන්කින්හි සිදුවීම් පිළිබඳ කෝපය අද දක්වා ම චීන – ජපන් සබඳතාවල දී අළු යට ගිනි පුපුරු මෙන් නැඟෙමින් පවතී.

ශ්‍රීනි ලංකා ජයකොඩි.