Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ – අගමැති පාර්ලිමේන්තුවට කියයි

නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදි ඊයේ (06 වැනිදා) සදහන් කළා.

මේ වන විට නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බවද මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.

නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ බැවින් කොළඹ වරායේ නාවික තදබදය ඉවත් කොට සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යාම සඳහා ඉදිරි වසර දෙක ඇතුළත නැගෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය ඉන්දියාව, සහ ජපාන රජයන් අතර එකඟතාවයට ආ ගිවිසුම් අනුව නොව වත්මන් රජය ණය ලබා නොගෙන නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අගමැතිවරයා පැවසීය.

එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට වාසි දායක වන අයුරින් පවත්වාගෙන යාම සඳහා අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඇමැති මණ්ඩල අනුමැතිය පරිදි සම්මුති හා ව්‍යාපෘති වශයෙන් කමිටු දෙකක් පත්කර ඇතැයිද මෙහිදී පැවැසීය.

නැගෙනහිර බහාලුම් පර්යන්තයේ දිග මීටර් එක්දහස් තුන්සිය විස්සක් වන අතර දැනට සංවර්ධනය කර ඇත්තේ මීටර් හාරසිය හතලිහක් වැනි ප්‍රමාණයක් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

සංවර්ධනය කර ඇති මෙම කොටස මුළු ව්‍යාපෘතියෙන් සියයට පහළොවක් බවත් ඉතිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 590 ක් පමණ වැයවන බවත් අගමැති රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.