2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් අද සිට – මාස ගණනාවකට පසු මාධ්‍යවේදීන්ටත් දොර ඇරේ

නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් අද (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටී.

 ඒ අනුව අද (05) පෙරවරු 10.00 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වේ. පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුව විවෘත වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු, එනම් ඔක්තොම්බෙර් මස 22 වනදාට පසුව පළමු වතාවටයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු කළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි (08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වේ.

ඒ අනුව අද (05) සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04 ක් විවාදයට ගැනීමට නියමිත වේ. හය වැනිදා එනම් හෙට දිනයේදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත 03 ක් විවාදයට ගැනේ. ජනවාරි 07 වැනිදා බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ ගුවන් තොටුපළ බදු ඇතුළු නියෝග 10ක් විවාදයට ගැනීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසිය.

එමෙන්ම ජනවාරි 06 වැනි බදාදා පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් කර තිබෙන බවද දසනායක මහතා සඳහන් කළේය.