Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නවාල්නි සහ ඡන්ද කෙරුවාව.

ගෙවී ගිය දිනෙක රුසියානු විපක්ෂ නායක “ඇලෙක්සි නවාල්නි නොවිචොක්” තේ කෝප්පයකට යෙදූ විෂක් ශරීරගත වීමෙන් රෝහල්ගත කෙරිණි. ඔහුගේ පාක්ෂිකයින් චෝදනා කළේ මෙම අනතුර සිදු කරනු ලැබූයේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ අනුදැනුම සහිත ව බව යි. එහෙත් අද වන තුරුත් ඒ පිළිබඳ වගකීම රුසියානු ආණ්ඩුව විසින් පිළි ගෙන නැත. එවැනි තත්ත්වයක් තිබියෙ දී පසුගිය 11 සහ 12 යන දිනවල දී රුසියාවේ පළාත් පාලන මැතිවරණය ද පැවැත්විණි. අපේක්ෂකයින් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රාදේශීය පාර්ලිමේන්තු ආසන සඳහා තරඟ වැදුණු අතර බොහෝ කලාප සඳහා ආණ්ඩුකාරවරුන් ද තෝරා පත් කර ගනු ලැබීමට නියමිත ය. 

මෙලෙස නියමිත කාලසීමාවට මඳක් කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට එරට ඡන්දදායකයින් හට ඉඩ දී තිබුණේ පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මැතිවරණය වඩාත් සෞඛ්‍යාරක්ෂිත අන්දමින් පවත්වා ගත යුතු වන බැවිනි. එහෙත් කලාප 11ක් පුරා මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් සඳහා ප්‍රධාන දිනය ඉරිදා වූ අතර ඡන්ද මධ්‍යස්ථාන 56,000 කට වැඩි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් සූදානම් කර තිබිණි. මතභේදාත්මක ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයක් සහිත ව ජූලි මාසයේ දී පැවැති ජනමත විචාරණයෙන් ව්ලැඩ්මීර් පුටින් හට 2036 වසර වන තෙක් බලයේ රැඳී සිටීමට අවසර ලබා දීමෙන් පසු එරට පැවැත්වුණු පළමු මැතිවරණය මෙයයි. වර්තමාන තත්ත්වය මෙසේ වුව ද ලබන වසරේ දී ජාතික පාර්ලිමේන්තුව සඳහා පැවැත්වෙන මැතිවරණය පිළිබඳ ආණ්ඩුව එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. 

මේ වන විටත් පෙර කී විපක්ෂ නායකවරයා ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු පසු වන්නේ කෝමා තත්ත්වයක වුවත්, අද වන විට ඔහුගේ සෞඛ්‍යය මඳක් යහපත් අතට හැරී ඇති බව වෛද්‍යවරු පවසති. විෂ ශරීරගත වීමට පෙර පැවැත්වුණු කතාවක දී ඔහු විසින් පුටින් ප්‍රමුඛ ආණ්ඩුව හඳුන්වා දී තිබුණේ “සොරුන් හා වංචනිකයින්ගේ ආණ්ඩුවක්” වශයෙනි. විපක්ෂ නායකවරයාට වස දීමේ තත්ත්වයක් යටතේ ඔහුගේ අනුගාමිකයින් ද ඡන්දය ප්‍රකාශ කළ බැවින්, පුටින් ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට සිටින්නේ මඳක් අන්තරාදායක ස්ථානයක බව පෙනේ. එක්සත් රුසියාව පරාජය කිරීම සඳහා වඩාත් සුදුසු අපේක්ෂකයින්ට සහාය දැක්වීම සඳහා උපායශීලී ව ඡන්දය ලබා දෙන ලෙස ඔහුගේ කණ්ඩායම ද රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රීනි ලංකා ජයකොඩි