Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ නම වෙනස් කරයි ද? භාරත් නමින් ආරාධනා පතකුත් යවලා

ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දියාවේ නිදහසේ සංකේතයක් වන මහත්මා ගාන්ධි, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව හින්දු රාජ්‍යයක් බවට පත් කිරීමට කරන ඉල්ලීම්වලට විරුද්ධ විය

“ඉන්දියාව, එනම් භාරතය, ප්‍රාන්තවල එකතුවක් වනු ඇත,” (ඉන්දීය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය පවසයි. එහි ප්‍රාරම්භය මෙසේ කියයි: “ඉන්දියාවේ ජනතාව වන අපි…”

හින්දි බසින් ඉන්දියාව හැඳින්වීමට පුළුල් ලෙස භාවිත වන්නේ ‘භාරත්’ යන වචනය යි. ඉංග්‍රීසි බසින් නිල සන්නිවේදනයේ යෙදීමේ දී නිරන්තරයෙන් භාවිතා වන්නේ ‘ඉන්ඩියා’ යන වචනය යි.

දැන් නරේන්ද්‍ර මෝදිගේ රජය දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම භාවිතාව වෙනස් කරමින් සිටියි. මෝදිගේ රජය, G20 සමුළුවට සමගාමීව සැප්තැම්බර් නවය සෙනසුරාදා දිනයේ දී පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ‘භාරතයේ ජනාධිපතිනියගේ’ නමින් ඇරයුම් පතක් යවා තිබේ.

නරේන්ද්‍ර මෝදි ‘භාරතයේ අගමැති’ ලෙස හඳුන්වමින් නිකුත් කෙරුණු ආසියාන්-ඉන්දියා සමුළුව පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිසා එම තත්ත්වය දෙගුණ වී ඇත.

‘භාරතය’ යනු කුමක් ද?

හින්දු සාහිත්‍යය විසින්, හිමාලය කඳු වැටිය සහ මුහුදු අතර පිහිටි භූමිය “භාරත්වර්ෂ” යනුවෙන් හඳුන්වයි.

Modi attending a  Rashtriya Swayamsevak Sangh (RSS) gathering in Ahmedabad (2009)
ඡායාරූප ශීර්ෂ වැකිය,නවයොවුන් වියේ දී නරේන්ද්‍ර මෝදි රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග් (RSS) පක්ෂයට එක්විය

හින්දු පුරාවෘත්තයන්ට අනුව, ‘භාරත’ යනු හස්තිනාපුර (වර්තමානයෙහි ‘හස්තිනාපූර්’ ලෙස ව්‍යවහාර කරන අතර දිල්ලියේ නැගෙනහිරින් පිහිටා තිබේ) පාලනය කළ රජු ය. ඔහු සමස්ත ඉන්දියාවේ බලය අල්ලාගත් අතර ධර්මිෂ්ට රජෙකු ලෙස සැලකිණි.

පැරණිතම හින්දු ලේඛනයක් වන ඍග් වේදයෙහි භාරත යනුවෙන් නම්කර ඇත්තේ එක්තරා ජන කණ්ඩායමකි.

සංස්කෘත බසින් ‘භාරත’ යන්න ‘රැකවරණය සහ සියල්ල ලබා දෙන භූමිය’ යනුවෙන් අර්ථ දැක්විය හැකි ය. එය සංස්කෘතිය සංකේතවත් කරයි.

පසුකලෙක ඉන්දියාවේ අග්‍රාමාත්‍යධුරයට පත්වූ ජවහර්ලාල් නේරු විසින් 1927 වසරේ දී මෙසේ ලියන ලදී: “ඉන්දියාව වූයේ, හින්දූන්ගේ ශුද්ධ භූමිය වූ භාරතය යි. ඉන්දියාවේ සතර කොණෙහි හින්දු සිද්ධස්ථාන පිහිටා තිබීම වැදගත්කමක් නැතුවා ම නොවේ.”

එහෙත්, භාරත් යනු ඓතිහාසික පුද්ගලයෙකු නොවේ.

පැරිස්හි ශාස්ත්‍රීය කටයුතුවල නිරත කැතරින් ක්ලෙමන්ටින්-ඕජා 2014 වසරේ දී පර්යේෂණ පත්‍රිකාවක මෙසේ ලියා තිබිණි: “භාරත යනු අවකාශය පිළිබඳ කතිකාවක් වුව ද, එම අවකාශයේ දෘශ්‍ය නිරූපණයකට ඉඩ නොදෙන කතිකාවකි. එම කතිකාව මත නූතන වචනාර්ථයෙන් සිතියමක් ඇඳීම සිදුකළ නොහැකි දෙයකි.”

‘ඉන්දියාව’ සහ ‘හින්දුස්ථානය’ යන නම් ගැන කිව හැක්කේ කුමක් ද?

පර්සියානුවන් ඉන්දු නදිය ‘හින්දු’ ලෙස හැඳින්වූ අතර, එය ලතින් භාෂාවෙන් ‘ඉන්දියාව’ බවට තත්සම විය. ‘ඉන්දියාව’ යන නාමය තනිව ගත්කල ද එතරම්ම පෞරාණික ය.

Constitution of India - first page
ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රරම්භයේ ‘ඉන්දියාව’ යන නම භාවිතා වන අතර පළමු වගන්තියේ ‘ඉන්දියාව, එනම් භාරතය’ යනුවෙන් සඳහන් වේ

සියවස් දෙකකට වැඩි කාලයක් භූමිය පාලනය කළ මුස්ලිම් මෝගල්වරු, “හින්දුස්තානයේ බාද්ෂාවරුන්”, හෙවත් හින්දුස්ථානයේ පාලකයන් හෝ අධිරාජ්‍යයන් ලෙස වැජඹුණහ.

‘හින්දුස්ථාන්’ යන නාමය ද පැමිණෙන්නේ පර්සියානු බසිනි. එහෙයින්, ‘ඉන්දියා’ සහ ‘හින්දුස්ථාන්’ යන නම්, 1757 වසරේ දී බ්‍රිතාන්‍යයන් බෙංගාලය අත්පත්කර ගැනීමත් සමග ආරම්භ වූ යටත්විජිත පාලනයට පෙර සිට දිගු කලක් තිස්සේ පැවති නාමයන් වේ.

‘භාරත්’ යනුවෙන් රටෙහි නම වෙනස් කිරීම, බ්‍රිතාන්‍ය යටත්විජිත සම්බන්ධතා ඉවත් කිරීමට උපකාරී වනු ඇති බව ඉන්දීය රජය පවසයි.

“‘භාරත්’ යන්න භාවිත කිරීමට ගන්නා තීරණය, යටත්විජිත මානසිකත්වයට එරෙහි දැවැන්ත පියවරක්,” ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් පවසයි.

කෙසේ වෙතත්, ‘ඉන්දියා’ නාමය සහස්‍ර දෙකකට අධික කාලයක් තිස්සේ ව්‍යවහාරයේ පැවතියේ ය.

ඉන්දියාව පිළිබඳ මෙතෙක් පැරණිතම සටහන හමුවන්නේ ක්‍රි.පූ. 350 දී උපත ලද ග්‍රීක ඉතිහාසඥ මෙගස්තිනීස්ගෙනි. ඔහු ‘ඉන්ඩිකා’ නමින් පොත් හතරක් රචනා කළේ ය.

ඉංග්‍රීසි නාට්‍යකරුවෙකු වූ විලියම් ෂේක්ස්පියර් ද ඔහුගේ නිර්මාණ තුළ ‘ඉන්ඩියා’ යන නාමය භාවිත කළේ ය.

“මගේ කිරුළ ඇත්තේ මගේ හදවතේ මිස හිසේ නොවේ. එය දියමන්ති සහ ඉන්දීය [මැණික්] ගල්වලින් සරසා නැත,” 1591-92 කාලයේ රචනා කළේයැ යි විශ්වාස කෙරෙන Henry VI නාට්‍යයේ හයවන හෙන්රි රජු කියයි.

1600 වසරේ දී බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෝ පැමිණ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම පිහිටුවූහ.

ප්‍රොතෙස්තන්ත භක්තිකයන් සඳහා වූ කිං ජේම්ස් බයිබලයේ පළමු සංස්කරණයේ ඉන්දියාව ‘ඉන්ඩී’ (Indie) ලෙස සඳහන්කර ඇත. මේ සියල්ල සිදුවූයේ බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත්විජිතයක් බවට පත් කිරීමට පෙර ය.

බිය සහ විරෝධය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2014 වසරේ සිට ඉන්දියාව පාලනය කර තිබෙන අතර, ප්‍රාන්ත රැසක පාලන බලය සහිත භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරයි. දක්ෂිණාංශික පක්ෂයක් වන එයට, ඉන්දියාව ‘හින්දු දේශයක්’ විය යුතුයැ යි පවසන ‘රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග්’ (ජාතික ස්වේච්ඡා සේවකයින්ගේ සංගමය) සමග සමීප සබඳතා තිබේ.

නවයොවුන් වියේ දී රාෂ්ට්‍රීය ස්වයම්සේවක් සංග් (RSS) පක්ෂයට එක්වූ නරේන්ද්‍ර මෝදි එහි ධූරාවලියේ ඉහළට ගමන් කළේ ය.

නිදහස ලැබීමෙන් පසු එම පක්ෂය ඉන්දියාව තුළ තෙවරක් තහනම් කෙරිණි. RSS පළමු වරට තහනම් කෙරුනේ 1948 වසරේ දී මහත්මා ගාන්ධි ඝාතනයවීමෙන් පසු ය. ඒ, ජාතික සංකේතයක් වූ ගාන්ධි ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනාවට ලක්වීමෙනි. නමුත් එය පසුව චෝදනාවෙන් නිදහස් විය.

ඉන්දියාවේ නිදහස් අරගලය තුළ හින්දු ජාතිකත්ව කණ්ඩායම් සුළු භූමිකාවක් නිරූපණය කළේ ය.

An RSS march past in Jaipur
ඡායාරූප ශීර්ෂ වැකිය,මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය අවුළුවාලීම සම්බන්ධයෙන් RSS චෝදනා ලබා තිබේ

මෝදි රජය සැප්තැම්බර් 18 සිට 22 දක්වා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් කැඳවා තිබේ. මෙය රටේ නම වෙනස් කිරීම සඳහා පවත්වන සැසියක් බවට විපක්ෂ දේශපාලනඥයෝ සහ විචාරකයෝ අනුමාන කරති.

එය, දැනටමත් මහා භාරතයේ සිතියමක් සහිත අලුතින් ඉදිකරන ලද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පළමු සැසිවාරය වනු ඇත.

මෙම සිතියමෙහි ඇෆ්ඝනිස්ථානයේ කොටස් කිහිපයක්, සමස්ත පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සහ මියන්මාරය යන අසල්වැසි රටවල් ද අන්තර්ගත වේ.

ඉන්දියාවේ අසල්වැසි රටවල් මීට නිල වශයෙන් විරෝධය පළකර තිබේ.

India's new parliament
ඡායාරූප ශීර්ෂ වැකිය,ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පවත්වන පළමු සැසිවාරය විසින් එරට නම වෙනස් කළ හැකි ය

විචාරකයින් පවසන්නේ, භාරතීය ජනතා පක්ෂය හින්දු සංස්කෘතික සංකේත ඓතිහාසික චරිත ලෙස භාවිතා කිරීමේ පුරුද්දක් ඇතිකර ගෙන සිටින අතර මේ නවතම පියවරයන් සම්බන්ධයෙන් විපක්ෂය ගැටුමකට සූදානම් වෙමින් සිටින බව ය.

“රටේ නිල නාමයන් දෙකෙන් එකක් වන ‘භාරත්’ කියන වචනයෙන් ඉන්දියාව හැඳින්වීමට ව්‍යවස්ථාමය බාධාවක් නැතත්, සියවස් ගණනක් පුරා අප්‍රමාණ සන්නාම වටිනාකමක් ගොඩනගාගෙන ඇති ‘ඉන්ඩියා’ යන්න සම්පූර්ණයෙන් ම අත්හැරීමට තරම් රජය මෝඩ නොවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා,” ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂෂී තරූර් X (පෙර Twitter ලෙස හැඳින්වූ) සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබිණි.

© බී.බී.සී සිංහල වෙබ් අඩවියේ පළවූ පුවතකි

About The Author