2022 අගෝස්තු 10

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නම්ගිට සිම්හල බැරිද?

ඔබ දන්නා කිසියම් පුද්ගලයෙකු හට සිය මව් භාෂාවෙන් නිවැරදි ව වචන උච්චාරණය කිරීමේ අපහසුතාවක් තිබේ ද? ඔබේ මිතුරා කතා කරන විට වෙනත් රටකින් පැමිණ, හදිසියේ මව් බස ඉගෙන ගත් බවක් හැඟේ ද? එසේ නම් ඔහුට බොහෝ විට විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමය තිබියි හැකි ය. මෙය වූ කලි Foreign Accent Syndrome හෙවත් FAS යනුවෙන් හැඳින්වෙන අතිදුර්ලභ රෝගයකි.

එක්සත් රාජධානියේ වෙසෙන ජුලී මතියස්ගේ පවුලේ අය රාත්‍රියේ දී නිවසට එකතු වූ පසු, සෙල්ලම් කිරීමට කැමති ක්‍රීඩාවක් ඇත. රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ඔවුහු විදේශීය උච්චාරණයක් තෝරා ගන්නා අතර අමුතු හඬකින් කතා කරන ලෙස එකිනෙකාට අභියෝග කරති. මෙම විහිළුකාරී ක්‍රීඩාව ඇය විඳිමින් සිටින මානසික පීඩාවෙන් අත් මිදීමට උපකාරී වේ. ඇගේ මුළු ජීවිත කාලයම එක්සත් රාජධානියේ ජීවත් වුව ද, දිනක් මතියස් හදිසියේ ම වටහා ගත්තේ ඇය තවදුරටත් ඉංග්‍රීසි උච්චාරණයකින් කථා නොකරන බව ය. “මීට අවුරුදු හතරකට පෙර පාස්කු ඉරිදා… මගේ සැබෑ කටහඬ මට ඇසුණු අවසාන අවස්ථාව එයයි.” ඇය කියන්නී ය.

මතියස් යනු එක්සත් රාජධානියේ විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමය ඇති අතළොස්සක් දෙනාගෙන් කෙනෙකි. ඔවුන්ගේ කථනය මුළුමනින්ම චතුර ලෙස පැවතුණ ද, ඔවුන්ගේ හඬෙහි කෙසේ හෝ අමුතු ගති ලක්ෂණ මතු වේ. එමඟින් ඔවුන් වෙනත් රටක හැදී වැඩුණු බවක් පෙනී යයි. “කතා කරන විට ඔබේ මොළය පුපුරා යන බවක් දැනෙනවා” කියා මතියස් පවසයි. මෙම වෙනස ඉතා ඉක්මනින් ඇගේ රූපලාවණ්‍යාගාරයට පැමිණෙන කාන්තාවන්ගේ අවධානයට ලක් විය. “සේවාදායකයින් මට කතා කළේ මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති ආකාරයටයි.”

රෝගියාට සමීප ව කටයුතු කරන බොහෝ පුද්ගලයින් හට මෙය දැනෙනුයේ විහිළුවක් ලෙස ය. හොඳින් මව් බස හසුරුවමින් සිටි තම හිතවතා හදිසියේ අමුතු උච්චාරණයකින් වචන හැසිරවීම අන්‍යයන්ගේ කෝපයට වුව ද ලක් විය හැකි ය. ඔවුන් සිතනුයේ මෙය අදාළ රෝගියා විසින් අන්‍යයන්ගේ අවධානය ලබා ගැනීම පිණිස කරන බොරු රඟපෑමක් බව යි. එහෙත් එය සිනාසෙන්නට කාරණයක් නොවේ. රොඩ් අයිලන්ඩ්හි, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ, ෂීලා බ්ලුම්ස්ටයින් පවසන්නේ “සිතන්න: ඔබ නින්දට ගියා. අවදි වන විට ඔබ ඇත්ත වශයෙන් ම සිටින පුද්ගලයා මෙන් තවදුරටත් හඬ නඟන්නේ නැත. එය බොහෝ තැති ගන්නාසුලු ය.” යනුවෙනි. වාසනාවකට මෙන්, බ්ලුම්ස්ටයින් වැනි පර්යේෂකයන් දැන් මෙම ව්‍යාකූල ආබාධයේ හේතු සහ අමුතු ප්‍රතිවිපාක යන දෙවර්ගය ම හඳුනා ගැනීමට සමත් වී තිබේ.

හේතු.

විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමය සාමාන්‍යයෙන් ආඝාතයක් (Stroke) නිසා ඇති වේ. තව ද හිසෙහි ඇති වූ කම්පනයක්, ඉරුවාරදය හෝ වර්ධන ගැටලු හේතුවෙන් ද රෝගය ඇති විය හැකි ය. මොළයේ කථන නිෂ්පාදන ජාලයේ ඇති වන තුවාල හේතුවෙන් මෙම තත්ත්වය හට ගන්නා බව කියවේ. මෙය ස්නායු මනෝචිකිත්සක තත්ත්වයක් ලෙස ද සැලකිය හැකිය. අදාළ තත්ත්වය ප්‍රථම වරට වාර්තා වූයේ 1907 දී ය. 1941 සිට 2009 දක්වා කාලය තුළ පමණක් ලොව පුරා රෝගීන් 62ක් වාර්තා විය. අදටත් නොයෙකුත් රෝහල් තුළින් විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන රෝගීන් පිළිබඳ දැන ගත හැකි වේ.

එහි රෝග ලක්ෂණ වන්නේ විකෘති කථනය හා සම්බන්ධීකරණ ගැටලු ය. කෙසේ වුවත් විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන පුද්ගලයින් හට නිශ්චිත විදේශීය උච්චාරණයක් හෝ විදේශීය භාෂාවක අමතර චතුරත්වයක් නො ලැබේ. 2010 වසරේ දී පමණ කලක් කෝමා තත්වයෙන් සිට නැවත සිහි ලැබූ ක්‍රොඒෂියානු රෝගියෙකු හට චතුර ලෙස ජර්මානු භාෂාව කථා කිරීමේ හැකියාව ලැබී ඇති බවට සැක සහිත වාර්තාවක් තිබේ. එනමුත් මොළයේ ඇති වූ ආබාධයකින් පසු රෝගියෙකුගේ විදේශීය භාෂා කුසලතා වැඩිදියුණු වී ඇති බවට තහවුරු කර ගත් කිසිදු සිද්ධියක් නොමැත.

රෝග ලක්ෂණ.

නුපුහුණු කනකට නම්, මෙම සින්ඩ්‍රෝමය ඇති අය ශබ්ද කරන්නේ ඔවුන්ගේ මව් භාෂා විදේශීය උච්චාරණයකින් කතා කරන ආකාරයට බව සිතේ. නිදසුනක් වශයෙන්, ඇමරිකානු ස්වදේශික ඉංග්‍රීසි පුද්ගලයෙකු ගිනිකොනදිග ඉංග්‍රීසි උච්චාරණයකින් කතා කළ බවක් හැඟිය හැකි ය. නැතහොත් බ්‍රිතාන්‍යයේ ස්වදේශික ඉංග්‍රීසි පුද්ගලයෙකු නිව්යෝර්ක් ඇමරිකානු උච්චාරණයෙන් කතා කළ හැකිය. කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ සමහර විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝම සහිත අවස්ථාවල දී එයට හේතු වී ඇත්තේ මොළයේ නිශ්චිත කොටස්වලට සිදු වූ තුවාල පමණක් ම බව යි. එයින් පෙන්නුම් කරන්නේ මොළයේ විශේෂිත කොටස් විවිධ භාෂාමය ක්‍රියාකාරකම් පාලනය කරන බවත්, හානිවීම නිසා තාරතාව හෝ වැරදි ලෙස උච්චාරණය කළ හැකි අක්ෂර වින්‍යාස ඇති විය හැකි බවත් ය.

පොදුවේ ගත් කල, FAS යනු නොනැසී පවතින ආබාධයක් නොවේ. එය රෝගියා පෙළෙන ආඝාතයෙන් හෝ කම්පනයෙන් සුවය ලැබීමේ තාවකාලික අවධියක් හෝ පිරිහීමේ අවධියකි. මෙම රෝගය ප්‍රධාන වශයෙන් කථන අංශයට හෝ ප්‍රොසොඩික් මට්ටමට බලපායි. ව්‍යංජනාක්ෂරවලට වඩා ස්වරවලට වැඩි බලපෑමක් ඇති කරයි. ඇතැම් රෝගීන් අදාළ ස්වරය කෙටි කර කතා කරන අතර ඇතැම්හු මදක් ඇද පැද කතා කරති. කටහඬ ද වෙනස් වේ. තව ද මෙවැනි රෝගීන් හට ශබ්ද උස් පහත් කිරීමේ අපහසුතා ඇති විය හැකි ය.  ප්‍රායෝගික ගැටලු මෙන් ම අර්ථය දැක්වීම සඳහා හැඟීම් සමඟ එකතු වූ උච්චාරණ භාවිත කිරීමේ දුෂ්කරතා ද ඇත.

රෝගය ඇති වන්නේ කාට ද? 

FAS රෝගීන් 112 දෙනෙකු යොදා ගෙන සිදු කළ විශ්ලේෂණයක දී ඉන් 97% වැඩිහිටියන් වූ අතර 67%ක් කාන්තාවෝ වූහ. විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුල ව දක්නට ලැබෙන බව පෙනේ. මෙම රෝගයේ සාමාන්‍ය වයස් සීමාව වයස අවුරුදු 25 – 49 පමණ වේ. රෝගීන්ගෙන් බහුතරයක් දකුණත් ය. මෙම නියැඳිය අතරින් හදිසියේ රෝගය මතු වී තිබුණේ 12.5% ​ක් තුළ පමණි. ඉතිරි සියල්ලන්ට ම රෝගය වැළඳී තිබුණේ කිසියම් අනතුරකට මුහුණ දුන් පසු හෝ දීර්ඝ කාලයක් තිස්සේ වෙනත් රෝගයකින් පෙළීමෙන් පසු ය.

විදේශීය උච්චාරණ සින්ඩ්‍රෝමයට ප්‍රතිකාර වශයෙන් වෛද්‍යවරුන් විසින් නියම කෙරෙන්නේ දැඩි කථන චිකිත්සාව ය. Orometer අභ්‍යාස, දර්පණ භාවිත කිරීම, ශබ්ද ඉලක්ක කරවීම, ලැයිස්තු සහ පෙළ කියවීම සහ විද්‍යුත් විච්ඡේද්‍ය විද්‍යාව වැනි ක්‍රම අතීතයේ සිට අද දක්වා ම භාවිත කරමින් යන ක්‍රමවේද වේ. රෝගියාගේ කථන මට්ටම මත ප්‍රතිකාර කිරීම වෙනස් කළ යුතුය. කෙසේ වුවත් මෙවැනි රෝගීන්ගෙන් හතරෙන් එකක් පමණ ප්‍රතිකාරවලින් පසු සුවය ලබා ගන්නා බව දැන ගැනීම සතුටට කරුණකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.