Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙන දඩුවමක් දෙන්න නැත්නම් නිදහස් කරන්න LTTE සිරකරුවන් ආණ්ඩුවට කියයි

තමන්ට එරෙහිව මහාධිකරණවල පවතින නඩු කඩිනමින් විභාගකර දඬුවම් දෙන ලෙස නැතිනම් ඇප පිට නිදහස් කරන ලෙස ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට සැකපිට වසර දහයකටත් වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් රජයෙන් ඉල්ලා සිටිති. නඩු දාහතරකට සම්බන්ධ සැකකරුවන් හැට හත් දෙනකු දැනට රැඳවුම්භාරයේ වසර තුන හතරක් හා රක්ෂිත බන්ධනාගාරගතව වසර දහයකට වැඩි කාලයක් වශයෙන් වසර පහළොවකට ආසන්න කාලයක් සිටින බවට ඔවුහු පවසති.

ඒ අතර ගාල්ල නාවික හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ, පාකිස්තාන මහකොමසාරිස්වරයාට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම, හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම, හිටපු අමාත්‍ය ද.මු. දසනායකට ප්‍රහාර එල්ල කිරීම, අකුරැස්ස ගොඩපිටිය පල්ලියේ මරාගෙන මැරෙන ප්‍රහාරය ඇතුළු සිද්ධීන් දාහතරක සංඛ්‍යාව සිංහල සැකකරුවන් පස් දෙනකු හා දෙමළ සැකකරුවන් 67ක් මෙසේ අත්අඩංගුවේ පසුවෙති.

ඔවුන් සඳහන් කරන්නේ නඩු ප්‍රමාදවීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිගින් දිගටම නඩු සඳහා පෙනී නොසිටීම, කල් ලබා ගැනීම නිසා නඩු විභාග කල් යාමට හේතු වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්නගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ නඩු කල්යාමට සිය දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය පමණක් නොව අනෙකුත් නීතිඥවරුන්ගේ හා අධිකරණවල ඇති ගැටලුත් බලපා ඇති බවයි. දැනට ඇප ලබා දීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මත් කුඩු මිලිග්‍ර්‍රෑම් දෙකට අඩුවෙන් ළඟ තබාගෙන සිටි සැකකරුවන්ට බැවින් සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා ගෙන සිටින නිසා ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන බවද ඇය සඳහන් කළාය.

© චමින්ද සේනාරත්න – අරුණ