2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දරුවන් පොලවේ ගසා සෙත් පතන ඉන්දියානුවෝ

ලෙඩ රෝග සුව කර ගැනීම හා සෙත් ශාන්තිය වෙනුවෙන් අමුතු ක්‍රම අනුගමනය කරන ජාතීන් අතර ඉන්දියානුවන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. දියුණු යැයි සම්මත නගර තුළ ආයුර්වේදීය ක්‍රම සහ බටහිර වෛද්‍ය ක්‍රම බෙහෙවින් භාවිත වුවත්, පිටිසර ගම්මාන තුළ අදටත් මෙවැනි ඇදහිය නොහැකි මතවාද මුල් බැස පවතී.


1. ලෙලි ගැසූ පොල් ගෙඩියකින් ඔබේ ඔළුවට ගැසුවහොත් කුමක් දැනේවි ද? තමිල්නාඩු ප්‍රදේශයේ, කරූර් දිස්ත්‍රික්කයේ පිහිටි මහාලක්ෂ්මී දේවාල භූමියේ දී මෙවැනි චාරිත්‍රයක් සිදු වේ. සෑම වසරක ම “ආදි” මාසයේ ( ජුලි ) දහඅට වන දිනට සිදු වන එම හිසට පොල් ගෙඩිවලින් පහර දීමේ පූජාව හේතුවෙන් ප්‍රදේශවාසී රෝගී – නීරෝගී සියලු දෙනාට වාසනාව හා සෙත උදා වන බවට විශ්වාස කෙරෙයි.
එහි දී සිදු වන්නේ දේවාලයේ පූජකවරුන් විසින් ආශිර්වාද කරන ලද පොල් ගෙඩිය බැගින් ගෙන, බිම වාඩි වී සිටින බැතිමතුන්ගේ හිසට ගසා, බිඳ දැමීම යි. මෙය අතිශය වේදනාකාරී බව සැබෑවකි. එහෙත් වසරක් පාසා දහස් ගණනක් බැතිමත්තු මෙසේ චාරිත්‍රය ඉෂ්ට කොට සෙත් ශාන්තිය ලබා ගැනීම උදෙසා පැමිණෙති.
අදාළ ක්‍රියාව ආරම්භ වී ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ය. බ්‍රිතාන්‍යයන් එම ලක්ෂ්මී දේවාලය කඩා, ඒ හරහා දුම්රිය මාර්ගයක් තැනීමට උත්සාහ කර තිබේ. එවිට ගම්වැසියෝ විරුද්ධ වූහ. බ්‍රිතාන්‍ය සේවකයින්ට දේවාලය අසල තිබී පොල් ගෙඩියක හැඩය ඇති ගල් 187ක් හමු වී ඇති අතර, ගම්වැසියන්ගේ විරෝධය පාලනය කිරීම සඳහා ඔවුන් ම්ලේච්ඡ උපක්‍රමයක් යෝජනා කර තිබේ. එනම්, සියලු ගම්වැසියන් එක් වී අදාළ ගල් සියල්ල තම තමන්ගේ හිස පමණක් භාවිත කොට කඩා දැමුවහොත්, දේවාලය නොකඩා ඉතිරි කරන බව යි. කෝප නොවූ ගම්වැසියෝ, වතාවත් පුරා, ලක්ෂ්මී දේවියට භාර වෙමින් අදාළ ගල් සියල්ල කඩා දැමීමට සමත් වූහ. බ්‍රිතාන්‍යයෝ පරාජය භාර ගත්හ. එහෙයින් අදටත් මහාලක්ෂ්මී දේවාලය කරූර් ප්‍රදේශය තුළ විජරාමාන වෙමින් පවතින අතර අදාළ උපක්‍රමය චාරිත්‍රයක් වශයෙන් ශේෂ වී තිබේ.


2. ඉන්දියානුවන් යනු නපුරු ආත්මවල බලපෑම පිළිබඳ අතිශයෝක්තියෙන් විශ්වාස කරන්නා වූ ජාතියකි. එවැනි ආත්මයක් තම ඥාතියෙකුගේ ශරීරය තුළට ඇතුළු වූ බව දැන ගත් විට ඔවුහු නොයෙක් ආකාරයේ උපක්‍රම භාවිතයෙන් එයින් මිදීමට උත්සාහ දරති.

සතුන් හා විවාහ වීම ද එවැන්නකි. සත්ත්ව – මිනිස් විවාහය සම්මත ලෝක චාරිත්‍ර අනුව විකෘති ක්‍රියාවක් ලෙස සැලකුණ ද අදටත් ඉන්දියානුවෝ බල්ලන්, එළුවන්, නාගයින් ආදී සත්ත්ව විශේෂ සමඟ සිය දරුවන් විවාහ කරවති. විශේෂයෙන් ම මුඛයේ දත් සහිත ව උපත ලැබූ ගැහැනු දරුවන් හා මුහුණේ යම් යම් අඩුපාඩු හෝ විකෘතිතා සහිත ව උපත ලැබූ ගැහැනු හෝ පිරිමි දරුවන් නපුරු ආත්මවල බලපෑමට යටත් වී ඇති බවට විශ්වාස කෙරෙයි. එබැවින් එවැනි දරුවන් වැඩිවිය පැමිණි පසු අනිවාර්යයෙන් ම ඔහුගේ හෝ ඇයගේ හඳහනට අදාළ සත්ත්වයා සමඟ විවාහ කරවයි. එසේ නොකළහොත් මුළු ගම්මානය ම නපුරාට යටත් වෙතියි ඔවුහු බිය වෙති.


3. පවුලේ සාමාජිකයින්ගේ රෝ බිය දුරලා, සෙතක් උදා කර දෙනු පිණිස ඔබ ඔබගේ කුඩා දරුවා උස් තැනක සිට බිමට අතහරිනවා ද? වසර හත්සියයක පමණ සිට ඉන්දියානුවන් අතර මෙවැනි සෙත් පූජාවක් සිදු කෙරෙයි. ප්‍රමුඛ වශයෙන් මහාරාෂ්ට්‍ර සහ කර්ණාටක යන ප්‍රාන්තවල අදටත් එම දරුවන් උඩ වීසි කිරීමේ චාරිත්‍රය සිදු වන බවට සාක්ෂි ලැබී ඇත.
ඇතැම් පූජකවරුන් බිම සිටගෙන, අතට ගත් දරුවා හැකි තරම් ඉහළට වීසි කර දමන අතර, ඇතැම්හු අඩි පණහක් පමණ උස ගොඩනැඟිල්ලක සිට දරුවා බිමට අතහරිති. බිම සිටින දරුවාගේ පවුලේ සාමාජිකයෝ එකතු වී රෙද්දක් ගෙන, එය සතර කොණින් අතෙහි පටලවාගෙන, ඉහළ සිට වැටෙන දරුවා බිමට පතිත වීමට නොදී අල්ලා ගනිති. මෙය වූ කලි එක් අයෙකුගේ සුළු වරදකින් හෝ මහා විනාශයක් සිදු විය හැකි අන්දමේ භයානක ප්‍රතිකර්මයක් වුව ද, එම සෙත් පැතීමේ උත්සවවල සංවිධායකවරුන් කියා සිටින්නේ අද දක්වා කිසිදු ළදරු මරණයක් වාර්තා වී නොමැති බව ය.