Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවමත් නොවිසඳුණු බ්‍රෙක්සිට් ගැටලුව.

පශ්චාත් බ්‍රෙක්සිට් වෙළඳ ගනුදෙනුවක් සඳහා සාකච්ඡා දිගටම පවත්වාගෙන යමින් සිටින බැවින් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර සැලකිය යුතු ගැටලු කිහිපයක් ම පවතින බව එක්සත් රාජධානියේ අගමැති, බොරිස් ජොන්සන් පවසයි. පසුගියදා නැවතත් යුරෝපා සංගම් කොමිෂන් සභාවේ සභාපති, උර්සුලා වොන් ඩර් ලේන් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අගමැතිවරයා කියා සිටියේ ප්‍රගතියක් ලබා ඇති නමුත් ක්‍රීඩා පිටිය සහ මසුන් ඇල්ලීම සම්බන්ධ ගැටලු තවමත් පවතින බවයි. ඉදිරි සතියේ ලන්ඩනයේ දී නැවත සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. ඉදිරි දිනවල දී සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ද ඔවුහු එකඟ වූහ.

ජොන්සන් මහතා සමඟ එකඟ වෙමින් වොන් ඩර් ලේන් මහත්මිය ද “යම් ප්‍රගතියක් ලබා ඇති නමුත් එකඟතාවයේ විශාල වෙනස්කම් පවතී. අපේ කණ්ඩායම් ලබන සතියේ දීත් සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා දිගින් දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමු.” යැයි සිය ට්විටර් වෙබ් අඩවියේ ලියා තිබේ.

ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා මෙය “කළ යුතු ම ගනුදෙනුවක්” බවත් ඒ පිළිබඳ තමාට “බොහෝ බලාපොරොත්තු” ඇති බව විශ්වාස කරන බව අගමැතිවරයා පවසා තිබේ. එනමුත් දෙපාර්ශ්වයට ම අදාළ ගිවිසුමේ සඳහන් සියලු කාරණාවලට එකඟ විය නොහැකි නම්, ගිවිසුම පසෙක ලා වුව ද ඉදිරියට යාම සඳහා තම රට ඉතා හොඳින් සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර, බ්‍රෙක්සිට් සංක්‍රාන්ති කාලය අවසන් වන විට සිය රට වෙත සැලකිය යුතු බාධාවන් කිහිපයක් එල්ල වනු ඇති බවට එක්සත් රාජධානියේ ජාතික විගණන කාර්යාලය අනතුරු අඟවා තිබේ.

බොහෝ යුරෝපා සංගම් නියමිත නීති රීති අනුගමනය කරමින් වෙළඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කරන අතරතුර එක්සත් රාජධානිය ජනවාරි 31 වන දින යුරෝපා සංගමයෙන් ඉවත් ව සංක්‍රාන්ති සමයකට පිවිසියේ ය. සංක්‍රාන්ති කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර, එයින් අදහස් වන්නේ ලබන වසරේ සිට එක්සත් රාජධානිය යුරෝපා සංගමය සමඟ ලෝක වෙළඳ සංවිධානයේ නීති රීති මත වෙළඳාම් කරනු ඇති බවයි. එනම්, තීරුබදු පැනවෙනු ඇති බව යි. කෙසේ වුවත් විචාරකයින් පවසන්නේ මෙය එක්සත් රාජධානියේ ආර්ථිකයට හානියක් විය හැකි ය යන්න යි. එනමුත් රජය කියා සිටින්නේ ගනුදෙනුවක් සමඟ හෝ නැතිව සිය රට සමෘද්ධිමත් වනු ඇති බවයි.

About The Author