ගුවන්ගත වී මිනිත්තු 15කින් නොපෙනී ගියා – ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ
චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගතවී මිනිත්තු පහළොවකින් පමණ ගුවන් හමුදාවට අයත් පී.ටී. 6 (PT6) ගුවන් යානය රේඩාර් තිරයේ නොපෙනී ගොස් අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසනවා.
මෙම යානය 2018 දී චීනයෙන් මිලදී ගත් අලුත්ම පුහුණු යානයක් බවද හෙතෙම අවධාරණය කළේය.
ඊයේ පස්වරු 1.05ට යානය ගුවන්ගත වීමෙන් පසු මිනිත්තු දහයෙන් දහයට ගුවන් යානයේ පුහුණු වන නියමුවා පාලක මැදිරිය සමග සම්බන්ධ වී පණිවුඩ හුවමාරු කළත් එක්වරම යානය රේඩාර් තිරයේ නොපෙනී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.
අනතුරට හේතුව නිශ්චිතවම තහවුරු කළ නොහැකි බැවින් එම පරීක්ෂණයට පස් දෙනකුෙගන් යුත් විශේෂ මණ්ඩලයක් පත් කළ බව ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේය.
අනතුරින් මියගිය ගුවන් නියමු ශාලින්ද අමරකෝන් පියාසර පුහුණුවේ ‘සොලෝ ටෙස්ට්’ නමැති පුහුණුව සඳහා තනිවම පියාසර කරද්දී අනතුරට ලක්ව තිබේ. මෙම නිලධාරියා පියාසර පැය අනූවක් පියාසර කර පුහුණුවේ අවසන් අදියරේ සිටි අයෙකි.
මෙම ගුවන් යානය එකවරම කැරකෙමින් පහතට වැටෙන අයුරු අසල සිටි ගොවි මහතෙකු දැක ඇති බව ගුවන් හමුදාපතිවරයා කියා සිටී.
අනතුරට හේතුව සොයාගන්නා තුරු ගුවන් හමුදාව සතු පී.ටී. 06 ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත්වීමට නියෝග.
කන්තලේ සූරියපුර ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ (15 වැනිදා) පස්වරුවේ පී.ටී. 06 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එය පැදවූ නියමුවා ජීවිතක්ෂයට පත් විය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ශාලින්ද අමරකෝන් නමැති විසිතුන් හැවිරිදි ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකි.
යානය තුළ සිරවී තිබූ කැඩේට් නිලධාරිවරයා ගේ සිරුර පිටතට ගැනීමට ගුවන් හමුදා නිලධාරීහු මහත් වෙහෙසක් ගනිමින් සිටියහ. පැයක පමණ උත්සාහයකින් පසු යානයේ කොටස් ද කපා පිටතට ගත් සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමල රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විටත් ඔහු මිය ගොස්ය.
ගුවන් යානය කඩාවැටී ඇත්තේ මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි ඇළ මාර්ගයකට වන අතර නියමුවා අවම හානියකින් යානය ගොඩබෑමට උත්සාහ දරා ඇති බව එමගින් පැහැදිලි වන්නේ යැයි එම ස්ථානයේ සිටි නිලධාරීහු පැවැසූහ. එම අනතුර සිදු ව ඇති ස්ථානයට ළඟාවීමට පැමිණි ගුවන් හමුදාවට අයත් ගිනිනිවීමේ රථයක් ද මාර්ගයේ සිරවී අනතුරට ලක්ව ඇත.
ගුවන් යානය කඩා වැටී ඇති ස්ථානයට මීටර් පහළොවක පමණ දුරකින් පිහිටි කුඩා තේ කඩයක් පවත්වාගෙන යන ඩී. වීරසිංහ නමැති අය සිද්ධිය ගැන මෙසේ කියයි. ‘‘මම කඩේ හිටියේ නෑ වැවට ගිහින් ඉන්නකොට රේසර් සද්දයක් වගේ ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ කඩේ පැත්තට එනකොට තව කෙනෙක් මගදී හමුවෙලා කීවා කඩේ ළඟට ප්ලේන් එකක් කඩා වැටිලා කියලා. ඇවිත් බලන කොට ඇතුළේ එක්කෙනෙක් මියගොස් හිටියා. ඩිංගක් හරි පණ තිබුණා නම් අපි ගෙනියන්න තමයි බැලුවේ.’’
මිය ගිය පුහුණු ගුවන් නියමුවා කෑගලු මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.
උසස් පෙළ ගණිත අංශයෙන් සමත් ශාලින්ද 2016 වර්ෂයේ පාසල් මාතාවගෙන් සමුගෙන 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව පුහුණු ගුවන් නියමු පාඨමාලාව හදාරා ඇත. මෙම පුහුණු ගුවන් නියමුවා කෑගල්ලේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන දිවංගත සමන් අමරකෝන්ගේ බාල පුතාය. මිය ගිය ශාලින්දට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකි. ශාලින්ද තම මව සහ එම සොහොයුරියන් සමග රුවන්වැල්ල මාපිටිගම පදිංචිව සිට ඇත.
© අරුණ පුවත්පත
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි