Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩයනා උසාවියට භාර වෙයි – ඇප ලබා ගැනීම පිටුපස සැලසුමක් බවට චෝදනා

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ගමගේ රුපියල් ලක්ෂ 05ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (21) නියෝග කළේය.

සැකකාරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශ්වකරුවන්ට සහ නීතිඥ ප්‍රජාවට අගතියක් වන ආකාරයෙන් ප්‍රකාශ නොකරන ලෙසට ද සැකකාරියට තරයේ අවවාද කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකාරිය වන ඩයනා ගමගේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනීනොසිටි අතර, පැමිණිල්ලට පෙනීනොසිටීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු අදාළත්වයක් නැති බවත් මෝසන් පත්‍ර කැඳවීම සිදු කළ යුතු බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නියම කළේය.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ සඳහන් කර සිටියේ තම සේවාදායිකාව මෙම සිද්ධියට අදාළව සැකකාරියක ලෙස නම් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ලිඛිතව දැනුම් දී ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගත් බවත් ඒ හේතුවෙන් තම සේවාදායිකාව අධිකරණයට භාරවන බවත්ය.

ජනමාධ්‍ය මඟින් තම සේවාදායිකාව අතුරුදන් බවට ප්‍රචාරය කළත් එය එසේ නොවන බැවින් තමන් අධිකරණයට භාරවන අතර, මෙම වරද ඇප ලබාදිය හැකි වරදක් බැවින් ඇප පනත ප්‍රකාරව ඇයට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.

නීතිඥ ප්‍රජාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ අතුල රණගල සඳහන් කර සිටියේ මෙම සැකකාරිය අධිකරණය හමුවේ පෙනීසිටියේ පැමිණිල්ල වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට නොපැමිණෙන දිනයක බැවින් පැමිණිල්ල කැඳවන ලෙසය.

නිතීඥ ගුණරත්න වන්නිනායක – ස්වාමීනි, දීර්ඝ කාලයක සිට මෙම තැනැත්තියට දඬුවමක් ලබා දෙන්න අවශ්‍ය බවට නීතිඥ ප්‍රජාව නියෝජනය කරමින් අප අධිකරණයෙන් ඉල්ලුවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්තුවා. ඒ වගේම පැමිණිල්ලට සහායක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් ඊට එක්වුණා. එහෙත් මෙම තැනැත්තියට එරෙහිව සාක්ෂි තිබිලත් ඇය සැකකරියක් කිරීම හෝ ඇයව අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබුණා. ඒ ඉකුත් 08 වැනිදා. එදින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම තැනැත්තියට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් ලැබීමට සුදුසු නැති බවයි. එමෙන්ම රාජ්‍ය ඇමැතිනියව සිටි ඩයනා ගමගේ යන අය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැර ඇති බව හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති බව හෝ සඳහනක් ඉදිරිපත් කර නැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණේ. සිද්ධියට අදාළව ඇගෙන් ඉකුත් 16 වැනිදා ප්‍රකාශයක් අරගෙන තිබුණා. එදා ප්‍රකාශයක් අරගෙන අත්අඩංගුවට ගන්නේ නැතුව ගෙදර යැව්වා. හරි නම් අත්අඩංගුවට අරගෙන උසාවි දාන්න ඕනෑ. විමර්ශකයන් එසේ කළේ නැහැ. සාමාන්‍යයෙන් සාක්ෂි තිබෙනවා නම් අත්අඩංගුවට ගන්න ඕනෑ. ඊට පස්සේ මේ තැනැත්තිය සැකකාරියක් ලෙස නම් කරන්න කියලා නීතිපතිවරයා උපදෙස් දුන්නා කියලා සීඅයිඩී එක අධිකරණයට දැනුම් දුන්නා. දැන් අද මේ අය මෝසමක් මඟින් අධිකරණයට ඉදිරිපත් වෙනවා. අද දිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටින දවසක් නොවේ. සාමාන්‍යයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටින දවස බ්‍රහස්පතින්දා දිනයයි. නීතිඥ ප්‍රජාව වශයෙන් අප ප්‍රශ්න කරන්නේ සීඅයිඩී එක නැත්නම් විමර්ශකයන් නැති දවසක මොන හේතුවක් මතද මේ නඩුව කැඳවන්නේ. මේ හේතුවෙන් පැමිණිල්ල නැතිව සැකකාරියට ඇප ලබා දීම සම්බන්ධයෙන් අපි විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. මෙවැනි දෙයක් ඉතිහාසයේ වෙලා නැහැ. මේක ගේම් එකක්.

නීතිඥ අතුල රණගල – සාමාන්‍යයෙන් මෙවැනි වරදකට කටඋත්තරයක් ලියාගන්න ගියාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. පැහැදිලිව සාක්ෂි තියෙද්දි මෙම තැනැත්තිය මුදා හැරලා තියෙනවා. මේ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියලා පැහැදිලියි. මේ ගැන සීඅයිඩී එකයි නීතිපති එකයි ඔක්කෝම දන්නවා. අපි මෙය හෙළාදකිනවා. ඒ වගේම තමයි මෙය නීතියට කළු පැල්ලමක් එක් කළ අවස්ථාවක්. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඇප පනත ප්‍රකාරව සැකකාරියට ඇප ලබා දෙමින් නඩුව ලබන ජූනි මස 11 වැනිදා තෙක් කල් තැබීය.

©දිනමිණ

About The Author