Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඩබල් කරන්ගේ “අග්නිපත්”.


චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක් වෙන කරන් ජෝහර් නිෂ්පාදනය කරපු ”අග්නිපත්” චිත්‍රපටය, 2012 ජනවාරි 25 වෙනි දා තිරගත වුණා. අළුත් කිව්වට කතාව නම් පරණයි. ඒ කියන්නේ මේ චිත‍්‍රපටය හරියට ”දේව්දාස්”, ”දොන්” වගේ කලින් තිබුණු චිත‍්‍රපටයක නැවත නිෂ්පාදනයක්. කලින් එකේ නමත් “අග්නිපත්” ම තමයි. එක නමින් ඇයි ද මේ දෙකක්? අළුත් චිත‍්‍රපටයේ දී සමාන වෙන්නේ නමයි කතාවයි විතරයි. අනිත් හැම දේ ම, ඒ කිව්වේ නළු නිළියන්, සිද්ධි, රූගත කරපු තැන්… ඔය හැම එකක් ම වෙනස්.


මේක සටන් ජවනිකා සහිත, ත‍්‍රාසජනක චිත‍්‍රපටයක්. අග්නිපත් අධ්‍යක්ෂණය කළේ කරන් ජෝහර්ගේ ම හිටපු සහයක, කරන් මල්හෝත‍්‍රා. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපාන්නේ සුපිරි නළු රිතික් රෝෂන්. කලින් චිත‍්‍රපටයේ හැටියට එයාගේ චරිතය වෙන්නේ විජය දීනානාත් චෞහාන් කියන අමිතාබ් බච්චන් රඟපෑව චරිතය. වීරයෙක් ඉන්නවා නම් දුෂ්ටයෙකුත් ඉන්න එපැයි. ඩැනී ඩෙන්සොන්පා, කන්චා චීනා කියන නමින් කලින් චිත‍්‍රපටයේ දුෂ්ටයාට රඟපෑවා. අළුත් එකේ දුෂ්ටයා සන්ජේ දත්. ප‍්‍රධාන නිළිය, සුරූපී ප‍්‍රියංකා චොප්රා. රිෂී කපූර් එච්චර කාලෙකට කළු චරිත රඟපාලා තිබුණේ නැහැ. ඒත් අග්නිපත් චිත‍්‍රපටයෙන් එයාත් පළවෙනි සැරේට කළු චරිතයක් විදිහට එළියට ආවා. 1991 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්ත චරිතයක් වුණත්, අළුත් චිත‍්‍රපටයෙන් මිතුම් චක‍්‍රබෝර්තිගේ චරිතය ඉවත් කරලා. ඒ හැරුණාම ඕම් පූරි, කරීනා කපූර් වගේ අය අළුත් අගිනිපත් චිත‍්‍රපටයට රඟපෑමෙන් දායක වුණා. මේක රූ ගත කරලා තියෙන්නේ ඉන්දියාවේ ”දියූ” නගරයේ සහ බොම්බායේ හදලා තියෙන චිත‍්‍රපට ගම්මානයේ දී. නිෂ්පාදන අයිතිය කරන් ජෝහර්ගේ ධර්මා ප‍්‍රඩක්ෂන්ස්.


කතාව කියනවා නම්,
මන්ද්වා කියන ගමේ පාසල් ගුරුවරයා වන දීනානාත් චෞහාන් (චේතන් පණ්ඩිත්) ගමේ දේපොළ කන්චා චීනා ට අයිති වෙන එකට විරුද්ධව වැඩ කරනවා. ඒ නිසා කන්චා, තමාගේ පාසලේ දැරියක් දූෂණය කළ බවට බොරු චෝදනාවක් චෞහාන්ට පටවලා, මුළු ගම ම බලාගෙන ඉන්නැද් දී එයාව ගහක එල්ලලා, මරණවා. චෞහාන්ගේ අවුරුදු 12 ක පුතා අම්මත් එක්ක නගරයට එනවා. පුතා ලොකු වෙලා කන්චාගෙන් පළිගන්න හිතලා, තවත් මැරයෙක්ට එකතු වෙනවා. ඊට පස්සේ ඒ මාර්ගයෙන් කන්චාව අඳුනගෙන අන්තිමේ දී තමන්ගේ තාත්තා මැරීමේ පළිය ගන්න සමත් වෙනවා. පුතාට ශක්තිය ලබා දෙන්න තාත්තා උගන්නපු කවියක් තියෙනවා. අග්නිපත් කියන්නේ ඒ කවියේ නම. ඒකේ තේරුම, “ගින්දර වෙත යන මාර්ගය” කියන එක.


චිත‍්‍රපටය හදන්න වැය වෙලා තියෙන මුදල ඉන්දියානු රුපියල් කෝටි 62 යි. ඒත් තිරගත වුණු පළවෙනි දවසේ ම කෝටි 21.76ක් එකතු කරගෙන සල්මාන් ඛාන්ගේ ”බොඩිගාර්ඩි” චිත‍්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තාව බිඳ හෙළන්න අග්නිපත් ට පුළුවන් වුණා. තුන් වෙනි දවස වෙද් දී එයාලා තමන්ට ගිය වියදම හොයලා ඉවරයි. පළවෙනි සතියේ විතරක් චිත‍්‍රපටයේ ලාභය කෝටි 81ක් බව ආරංචියි. නිෂ්පාදනයත් කරන් – අධ්‍යක්ෂණයත් කරන්. ඩබල් කරන්ගේ “අග්නිපත්” ශ්‍රී ලාංකීය රසික රසිකාවියනුත් වැළඳ ගත්තේ බොහෝ ම ආදරයෙන්…

About The Author