Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රයිටෝනයේ වේදනාව.

සංගීතය යනු සිතට සහනයක් ගෙන දෙන්නකි. ගීතයේ භාෂාව කුමක් වුව ද සංගීතයේ භාෂාව ලොව ඕනෑ ම පුද්ගලයෙකුට වටහා ගත හැකි ය. ඇතැම් මානසික රෝගවලට ප්‍රතිකාර වශයෙන් වෛද්‍යවරුන් විසින් එක් එක් ආකාරයේ සිත සනහාලන සංගීත ඛණ්ඩ පවා සිය රෝගීන්ට ඇසීමට සලස්වන බව පෙනේ. එනමුත් මේ අතර යක්ෂයාගේ සංගීත ඛණ්ඩ ද තිබෙන බව ඔබ දන්නවා ද?

සාමාන්‍යයෙන් සංගීත ඛණ්ඩයක් නිපදවීමේ දී එය නියමිත කාල පරතර සහිත ව වාදනය කළ යුතු ය. අදාළ සංගීතය ඇසිය හැකි මට්ටමකට පත් වන්නේ මෙම කාල පරතරය නිසාවෙනි. කාලය වෙනස් වූ විට, එනම් අප සිත යටින් බලාපොරොත්තු වන අන්දමට වඩා ඉක්මන් කාල පරතරයකින් සංගීත ඛණ්ඩ වාදනය වේ නම් එය ඉතා හිංසාකාරී වනු ඇත. සංගීතයේ “ට්‍රයිටෝන්” යනුවෙන් හැඳින්වෙන්නේ එවැන්නකි.

මධ්‍යකාලීන යුගයේ දේවස්ථාන මෙම ට්‍රයිටෝන් සංගීතය හඳුනා ගෙන ඇත්තේ යක්ෂයින්ගෙන් නිකුත් වන්නක් ලෙසිනි. එවැනි ඛණ්ඩ වාදනය කිරීම තහනම් වූ අතර, වාදනය කොට හසු වුවහොත් මරණීය දණ්ඩනයට පවා ලක් වීමට හැකියාව තිබිණි. සැබැවින් ම කියතොත් අදාළ සංගීතයේ තිබෙන හිරිහැරදායක බව හේතුවෙන් එයට සවන් දුන් පුද්ගලයින් උමතුභාවයට පත්වූ අවස්ථා තිබිණි. එසේ නම් ජනතාව මානසික රෝගීන් බවට පත් කෙරෙන එවැන්නක් තහනම් වීම පුදුමයක් ද නොවේ.

එහෙත් වර්තමානයේ දී මෙම තත්ත්වය වෙනස් වී ඇති බව පෙනේ. අදටත් දේවස්ථානවල වැයෙන සංගීත ඛණ්ඩවල ට්‍රයිටෝන් දක්නට නොලැබුණත්, ඇතැම් සරල ගීතවල තැනින් තැන එවැනි ඛණ්ඩ ඇතුළත් වන බව පෙනේ. නිදසුන් වශයෙන් “මෙටැලිකා” කණ්ඩායමේ “එන්ටර් සෑන්ඩ්මෑන්”, ජෙත්රෝ ටල්ගේ “මයි ගෝඩ්”, ද ස්ට්‍රෝක්ස්ගේ “ජූස්බොක්ස්”, “පින්ක් පැන්තර්”ගේ තේමා වාදනය, “ද සිම්ප්සන්ස්”ගේ තේමා වාදනය ආදී බොහෝ ගීත දැක්විය හැකි ය. ගීතයේ වෙනසක් අපේක්ෂාවෙන් ඇතුළත් කරන ලද එම ඛණ්ඩ රසිකයින් ගැටලුවකින් තොර ව විඳිනුයේ අද වන විට මිනිසුන්ගේ මනස විසින් සොයා යන්නේ නිවුණු, තැන්පත්කමට වඩා කලබලකාරීත්වය වන නිසා යැයි සිතිය හැකි ය. එසේ නම් අපට සිතා ගත හැකි වන්නේ වර්තමාන වෛද්‍යවරුන් හට සිය මානසික රෝගීන්ගේ සිත හැදීමට උපයෝගී කර ගැනීම සිදු වන්නේ යක්ෂයාගේ සංගීත ඛණ්ඩ වන බව යි.

දත් පීරි ගෑම.

දත් සම්බන්ධයෙන් කතා කරන විට එය  කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සිය ජීවිත කාලය තුළ දී අවම වශයෙන් එක් වරක් හෝ මුහුණ දීමට සිදු වන ගැටලුකාරී තත්ත්වයක් සහිත අවයවයක් ලෙස සැලකිය හැකිය. කෙතරම් වුවමනාවෙන් දත් මැද්දේ වුව ද, කෙතරම් කැල්සියම් ශරීරගත වී තිබුණ ද, දත් ආරක්ෂා කර ගැනීම අතිශයින් අසීරු ය. අපගේ මුඛයේ පිහිටි එක් දතකට හෝ කිසියම් හානියක් සිදු වුවහොත් එය ඇතැම් විට ස්නායුවලට ද බලපෑ හැකි ය. එහෙත් ලොව පුරා ජීවත් වන ඇතැම් ගෝත්‍රිකයන් පිළිබඳ සොයා බැලූ විට ඔවුන් සිය දත්වලට නොදෙන වධයක් නොමැති බව පෙනී යයි.

මිනිස් දත්වල හැඩය හිතාමතා වෙනස් කිරීම යනු දත් විකෘති කිරිමකි. පැසිෆික්, ආසියාතික, අප්‍රිකානු, දකුණු සහ මධ්‍යම ඇමරිකානු ප්‍රදේශ ඇතුළු ලොව විවිධ ප්‍රදේශවලින් මෙලෙස දත් විකෘති කිරීම සම්ප්‍රදායක් කර ගත් මිනිසුන් හමු වේ. එසේ කරනුයේ නොයෙක් මිත්‍යා විශ්වාසවලට අනුගත ව ය. මෙම විකෘති කිරීම් අතර දත් කැඩීම, කඩතොලු කිරීම, පීරි ගෑම, පාට කිරීම, ගැලවීම, හැඩය වෙනස් කිරීම ආදී නොයෙකුත් ක්‍රියාවන් පවතී. මානව වර්ගයාගේ දීර්ඝ ඉතිහාසය පුරාවට ම නිරෝගී දත් සෑම විටම තාරුණ්‍යය, අලංකාරය, ශක්තිය සහ සෞඛ්‍යය සංකේතවත් කර ඇත. එනමුත් දත් ව්‍යුහයේ සාපේක්ෂ අභ්‍යන්තර ශක්තිය හා පෙනුම අනුව එමඟින් වෙනත් ආකාරයේ පණිවිඩ ද යැවිය හැකි බව පෙනේ. මධ්‍යකාලීන යුගයේ දී පීරි ගානා ලද දත්වලින් කියවුණේ අදාළ පිරිමියාගේ නිර්භීතකමයි. ඇතැම් ගෝත්‍රවල විවාහක බව හැඟවීම සඳහා ඉදිරි දත් කඩා දමන ලදී. සමහර ලෙඩ රෝගවලට ප්‍රතිකාර වශයෙන් ද දත් විකෘති කෙරිණි.

කෙසේ වුවත් මෙම දත් විකෘතිය එතරම් සුදුසු දෙයක් නොවේ. විකෘති කිරීමට උත්සාහ ගැනීමේ දී දතට මෙන් ම වීදුරුමසට ද හානි සිදු වේ. එ් තුළින් සම විෂබීජවලට නිරාවරණය වන අතර සිතා ගත නොහැකි අන්දමේ ලෙඩ රෝග ද ඇති විය හැකි ය. එහෙත් විශේෂයෙන් අප්‍රිකානු රටවල නගරබද ව නොවුවත් ඇතැම් ගම්බද ප්‍රදේශවල මෙම දත් විකෘති කිරීම් අදටත් දක්නට ලැබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.