Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ට අදාළ නැති වේල්ල.

මතභේදාත්මක නයිල් වේල්ල විනාශ කිරීමට ඊජිප්තුව උත්සාහ කළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබේ. එහෙත් ඉතියෝපියාවේ අගමැතිවරයා පවසා ඇත්තේ තම රට කිසිදු ආකාරයකින් ඇමරිකානු ආක්‍රමණයකට යටත් වීමට සූදානම් නොමැති බවයි.

“මහා ඉතියෝපියානු පුනරුද වේල්ල” ඉතියෝපියාව, ඊජිප්තුව සහ සුඩානය සම්බන්ධ දීර්ඝකාලීන ආරවුලක කේන්ද්‍රස්ථානයයි. ට්‍රම්ප් කියා සිටියේ ඊජිප්තුවට කිසිසේත් එම වේල්ල සමඟ ජීවත් වීමට නොහැකි වනු ඇති අතර අනිවාර්යයෙන් ම එම ඉදිකිරීම් පුපුරවා හැරිය යුතු බවයි. ඉතියෝපියාව ප්‍රකාශ කරනුයේ ඇමරිකා එක්සත් ජනපදය මෙම ගැටලුවේ දී අසාධාරණ අන්දමින් ඊජිප්තු පක්ෂය ගන්නා බව ය. ජුලි මාසයේ දී වේල්ල පිටුපස ජලාශය පිරවීම ආරම්භ කිරීමෙන් පසු මෙතුවක් ඉතියෝපියාවට ලබා දෙන ලද කිසියම් ආධාරයක් කපා හරින බවට ද එක්සත් ජනපදය නිවේදනය කළේය.

නයිල් ගඟේ ජලයෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නේ ඊජිප්තුව යි. එහෙයින් ඉතියෝපියාව අප්‍රිකාවේ දිග ම ගංගාවේ ගලා යාම පාලනය කිරීමට උත්සාහ ගැනීම ගැටලුවක් විය හැකි ය. එනමුත් මෙම ව්‍යාපෘතිය දිගට ම කරගෙන ගියහොත් බටහිර ඉතියෝපියාවේ නිල් නයිල්හි පිහිටි ඩොලර් බිලියන 4ක වටිනාකමකින් යුත් වේල්ල අප්‍රිකාවේ විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය බවට පත් වනු ඇත.

ඉතියෝපියාව වේල්ල පුරවන වේගය ඊජිප්තුවට කොතරම් තදින් බලපායි ද? යන්න පැවසීම අසීරු ය. කෙසේ වෙතත් එම ක්‍රියාවලියට වසර කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2011 දී වේල්ලේ ඉදිකිරීම් ආරම්භ කළ ඉතියෝපියාව පවසන්නේ තම ආර්ථික සංවර්ධනය සඳහා වේල්ල අත්‍යවශ්‍ය බවයි. මුල දී රටවල් තුන අතර සාකච්ඡා සිදු වූයේ එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් වූ නමුත් දැන් එය අප්‍රිකානු සංගමය විසින් අධීක්ෂණය කරනු ලැබේ.

“ඉතියෝපියානුවන් හැම විට ම පුහුණු වූයේ ඔවුන්ගේ සතුරන්ට කීකරු වීමට නොව ඔවුන්ගේ මිතුරන්ට ගරු කිරීමට ය. අපි අද මෙන් ම අනාගතයේ දී ද වැරදි දේ නොකරන්නෙමු.” යනුවෙන් ඉතියෝපියානු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියි. මෙම ගැටලුව සම්බන්ධයෙන් පළ වන ඕනෑ ම ආකාරයක තර්ජන, නොමඟ යවනසුලු ප්‍රකාශ ආදී සියල්ල ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව ජාත්‍යන්තරය විසින් දැනුම් දී තිබේ.

ඉතියෝපියානු විදේශ අමාත්‍යංශය මෙසේ ද පැවසීය. 

“එක තැන වාඩි වී සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු විසින් ඉතියෝපියාව සහ ඊජිප්තුව අතර යුද්ධය උසිගැන්වීම යනු ඉතියෝපියාව සහ එක්සත් ජනපදය අතර දීර්ඝකාලීන ගැටලුවලට හේතු වන්නකි. තත්ත්වය මෙසේ නම්, අන්තර් රාජ්‍ය සබඳතා පාලනය කරන ජාත්‍යන්තර නීතිය පිළිගත නොහැකිය.”

සිකුරාදා ධවල මන්දිරයේ දී වාර්තාකරුවන් ඉදිරියේ ඇමරිකානු ජනාධිපතිවරයා සුඩානයේ අගමැති අබ්දුල්ලා හැම්ඩොක් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථනයෙන් කතා කළේය. මෙවැනි අවස්ථාවක් ඇති වීමට හේතු වූයේ එක්සත් ජනපදය විසින් ගනු ලැබූ සාමයේ පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට එකඟ වීමට ඊශ්‍රායලය සහ සුඩානය ගත් තීරණයයි. ඒ අතර වේල්ල පිළිබඳ මාතෘකාව මතු වූ අතර ට්‍රම්ප් සහ හැම්ඩොක් මහතා ආරවුලට සාමකාමී විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. ට්‍රම්ප් මහතා කියා සිටියේ “අනාගතයේ දී එය ඉතා භයානක තත්වයක් බවට පත් විය හැකි නිසා ඊජිප්තුවට ඒ ආකාරයෙන් ජීවත් වීමට නොහැකි වනු ඇති” බවයි. ඊජිප්තුවරුන් එම වේල්ල පුපුරවා හරිනු ඇතැයි ට්‍රම්ප් නිසැකව ම කියා සිටියේ ය.

කෙසේ වෙතත් අප්‍රිකානු සංගමය මෙම ගැටලුවට මැදිහත්වීම ආරම්භ කළ දා සිට සාකච්ඡා වඩාත් ප්‍රගතියට පත් ව ඇති බව ඉතියෝපියානු අගමැතිවරයා පවසයි. එනමුත් ජලාශය පිරවීම ආරම්භ කිරීමට ඉතියෝපියාව ගත් තීරණය, නියඟයක දී සිදුවන දේ සහ අනාගත ආරවුල් විසඳන්නේ කෙසේ ද? වැනි ප්‍රධාන ගැටලු කිහිපයක් තවමත් නිරාකරණය වී නැත.