Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ගේ සහයට ඇමරිකාවේ විරෝධතා.

මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් දහස් ගණනක් පසුගිය මැතිවරණයේ දී සිදු වූ වංචා පිළිබඳ ඔහු සිදු කළ ප්‍රකාශයන්ට සහාය දැක්වීම සඳහා වොෂිංටන් ඩී.සී. වෙත රැස් වෙමින් සිටිති. දැනට දිනුම ලබා සිටින ජෝ බයිඩන්ගේ ආධාරකරුවන්ගෙන් තමන් වෙත තර්ජන එල්ල විය හැකි බවට සැක කරන ඔවුහු හිස් ආවරණ සහ වෙඩි නොවදින කබා හැඳ සිටිති. මේ පෙළපාළි දෙස බලමින්, අත වනමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සෑම දිනක ම ක්‍රීඩා කිරීම පිණිස ගොල්ෆ් පිටියට යන අතර, ඇතැම් ආධාරකරුවන් ඔහුට ආරක්ෂාව සැපයීමට මෙන් ඔහුගේ වාහනය දෙපසින් පිටිය දක්වා ගමන් කිරීමට උත්සුක වන බව පෙනේ.

පසුගිය සිකුරාදා දින අවසන් වන විට ජෝර්ජියා ප‍්‍රාන්තය ද ජයග්‍රහණය කරමින් ජෝ බයිඩන් සිය දිනුම තහවුරු කර ගත්තේ ය. එරට මැතිවරණය අනුව ජය සඳහා ඔහු ලබා ගත යුතු වූයේ ඡන්ද 270ක් වුව ද,මේ වන විට එම සීමාව පසු කරමින් ඡන්ද 306කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට බයිඩන් සමත් ව තිබේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් මෙතෙක් එම ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ජනාධිපතිවරණයේ දී සිදු වූවා යැයි සැක කෙරෙන පුළුල් මැතිවරණ වංචා පිළිබඳ සනාථ නොකළ චෝදනා ඉදිරිපත් කරමින් ට්‍රම්ප් අධිකරණ කිහිපයක ම නඩු පවරා ඇති නමුත් ඔහුගේ උත්සාහය මෙතෙක් සාර්ථක වී නොමැත. ඔහු එම නඩු පැවරීම සිදු කළ දා සිට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ධවල මන්දිරයට නැඟෙනහිරින් පිහිටි ෆ්‍රීඩම් ප්ලාසා අසල සිට ශ්‍රේෂ්ඨාධිකරණය දෙසට පා ගමන් යමින් සිටිති. ට්‍රම්ප්ගේ “මේක් ඇමරිකා ග්‍රේට් අගේන්” නමැති ආදර්ශ පාඨය රැගත් ආධාරකරුවන් සිය ගමන හඳුන්වා ගන්නේ “මිලියන් මාගා මාර්ච්”, “මාර්ච් ෆෝ ට්‍රම්ප්”, “ස්ටොප් ද ස්ටීල් ඩී.සී.” ආදී නම්වලිනි. ට්‍රම්ප්ගේ තවත් ප්‍රධාන ආධාරකරුවන් වන “ෆා රයිට් ප්‍රවුඩ් බෝයිස්” සහ “දිවුරුම් ප්‍රකාශකයින්ගේ මිලීෂියා කණ්ඩායමේ” සාමාජිකයින් ද පෙළපාලිකරුවන් අතර වෙති. මෙහි මූලිකත්වය ගනිමින් දේශනා පැවැත්වීම භාර ගෙන ඇත්තේ ඇලෙක්ස් ජෝන්ස් ය.

ට්‍රම්ප් පවසනුයේ තමා මෙම තත්ත්වය පිළිබඳ සතුටු වන බව යි. පා ගමන්කරුවන් දකින සෑම අවස්ථාවක දී ම නැවතී, ඔවුන්ට ආයුබෝවන් කීමට කිසිසේත් පසුබට නොවන බව ද ඔහු පවසයි. ධවල මන්දිර නිලධාරී ඩෑන් ස්කාවිනෝ විසින් “අපි දිනන්නෙමු” යන ප්‍රතිඥාව ද සහිත විරෝධතාකරුවන්ගේ වීඩියෝවක් සිය ට්විටර් ගිණුම තුළ දක්වා තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප් තවදුරටත් පෙළපාලි භූමියේ පෙනී සිටීමට සැලසුම් කර තිබේද යන්න පැහැදිලි නැත. බයිඩන්ගේ කණ්ඩායම් කිහිපයක් ප්‍රතිවිරෝධතා සැලසුම් කර තිබුණ ද බරපතල ගැටුම් කිසිවක් වාර්තා වී නොමැත.

මේ අතර නවාතැන් සපයන වෙබ් අඩවියක් වන “එයාර්බන්බ්” අඩවිය මේ සතිය මුල දී “ප්‍රවුඩ් බෝයිස්” යැයි කියනු ලබන සාමාජිකයෙකු විසින් කරන ලද වෙන් කිරීමක් අවලංගු කරමින් කියා සිටියේ, “වෛරී කණ්ඩායම් සමඟ සම්බන්ධ වූ කිසිවෙකුට එයාර්බන්බ්හි නවාතැන් නොමැති” බවයි. තව ද කොරියානු පොප් සංගීතයේ (කේ-පොප්) රසිකයන් ට්‍රම්ප් ගැති රැළියට විරෝධය පළ කරමින් “පෑන්කේක්වල” පින්තූර පළ කිරීම සඳහා #MillionMAGAMarch හැෂ් ටැගය අන්තර්ජාලය හරහා භාවිතා කරමින් සිටිති.

බොහෝ ආධාරකරුවන් පැතිර යන කොවිඩ් 19 වසංගතය ද නොසලකා, කිසිදු මුඛ ආවරණයක් නොමැති ව හැසිරෙනු දක්නට ලැබිණි. අපේක්ෂකයින් දෙදෙනා අතර ඇති ගැටලුව නිසා ජෝර්ජියාවේ ඡන්ද ප්‍රතිඵල නැවත ගණනය කිරීමක් සිදු කළ යුතු බවට තීරණය වී ඇති නමුත්, එය වෙනස් වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. මැතිවරණ නිලධාරීන් කියා සිටියේ මෙම ඡන්දය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම සුරක්‍ෂිත මැතිවරණය වූ බවයි. 

About The Author