Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ගේ රණවිරු ගාය

අප රට තුළ තිස් වසරක් පැවැති යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන් සියලු දෙනා අප හට යුධ විරුවෝ ය. ඔවුන් දිවි පිදුවේ රට වෙනුවෙන් බවත් ඔවුනට අපහාස නොකළ යුතු බවත් අපි උදක් ම පිළිගනිමු. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින්නේ යුද්ධයෙන් මිය ගිය සියලු හමුදා භටයින් පරාජිතයින් බව ය. “උන් මහ එපා කරපු මිනිස්සු ටිකක්. නැත්තන මැරිලා යයි යැ. බේරෙන්න එපැයි…” ට්‍රම්ප් සිතන්නේ එසේ ය. 

ඔහුගේ මෙම අදහස අලුතින් ඇති වූවක් නොවේ. දැනට වසර දෙකකට පමණ පෙර, එනම්, 2018 දී පළමු ලෝක යුද්ධයට වසරක් සපිරුණි. එය අරමුණු කොට ගෙන ලොව වටා සංචාරයක යෙදුණු ට්‍රම්ප් ප්‍රංශයට ගොඩ බැසි විට එහි පිහිටා තිබෙන ඇමරිකානු හමුදාවේ රණවිරු සොහොන් ගැබ නැරඹීමටත්, ඔවුනට ආචාරය පුද කිරීමටත් යනු ඇතැයි ඇමරිකානු ජනතාව ඉත සිතින් බලාපොරොත්තු වූහ. එහෙත් එහි ගියේ ට්‍රම්ප් නොවේ. පැරදුණු මිනිසුන් දැක ගැනීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සඳහන් කළ ඔහු, එහි යාම තරයේ ප්‍රතික්ෂේප කළේ ය. මෙයින් අපහසුතාවට පත් වූ ජනාධිපති මාධ්‍ය අංශය සැබෑ කාරණාව විස්තර කර, ලැජ්ජාවට පත්වනු වෙනුවට වෙනත් බොරුවක් ගැට ගැසූහ. ඔවුන් පැවසුවේ ඒ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරය ආරක්ෂිත ව සුසාන භූමියට ගොඩ බැස්විය නොහැකි බව යි. එහෙයින් ගමන හදිසියේ අවලංගු කිරීමට යෙදුණු බවත්, නැවත වරක් ප්‍රංශයේ සංචාරයක පැමිණි දිනෙක අනිවාර්යයෙන් ම රණවිරු ස්මාරක නැරඹීමට ජනාධිපතිවරයා පැමිණෙනු ඇති බවත් ඔවුහු පැවසූහ.

එහෙත් සැබෑ හේතුව සියලු දෙනා දන්නා බැවින් මේ වන විට ඇවිළෙමින් යන ඡන්ද සටනට ට්‍රම්ප්ගේ එම සංකල්පය බාධාවක් වී ඇති බව පෙනේ. මෙම කරුණ හදිසියේ ම කරළියට පැමිණ තිබෙන්නේ දැනට දින කිහිපයකට පෙර හමුදා පුවත්පතක ට්‍රම්ප්ගේ මෙම ආකල්පය පිළිබඳ විස්තර කර තිබීම නිසා ය. ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පාක්ෂික “ජෝ බයිඩන්” පවසා සිටින්නේ ට්‍රම්ප් හට සිය රටෙහි හමුදාවට ගරු කළ නොහැකි නම්, ඔහු සැබැවින් ම ජනාධිපති ධූරයට නුසුදුස්සෙකු වන බව යි. බයිඩන්ගේ සහායිකා “ටමී ඩක්වර්ත්” ද ආබාධිත සෙබළියක වන අතර ඇය ද මෙම ආකල්පය පිළිබඳ දැඩි ව විරෝධය පළ කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ නායකයින් අවම වශයෙන් ස්වල්ප කාලයකට හෝ හමුදා සේවයේ නිරත ව සිටියවුන් ය. එහෙත් ට්‍රම්ප් සිය ජීවිත කාලය පුරා එකදු දිනකවත් හමුදා නිළ ඇඳුමෙන් සැරසී නැත. දැනට වසර ගණනාවකට පෙර ඔහු තරුණ වියෙහි සිටියෙ දී හමුදාවට බැඳෙන ලෙස ලිපි පහක් ලැබී ඇති අතර, සිව් වරක් අධ්‍යයන හේතූන් මත ද එක් වරක් සිය පාදවල විළුඹෙහි කැල්සියම් වැඩි වීමේ රෝගයක් ඇති බව ද පවසමින් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ. 

ද්වන්ද සටනක දී නම් මිය ගිය පුද්ගලයා පරාජිතයෙකු බව සඳහන් කිරීම යම් තරමකට සාධාරණ ය. එහෙත් රටවල් දෙකක් අතර හමුදාව හරහා සිදු වන සටනක දී මියගිය හා තුවාල ලැබූ සියලු භටයෝ ද විරුවෝ ය. එය පඩිපෙළක් මෙන් මිය ගියවුන්ගේ සිරුරු මතින් ගොඩ නැගෙන ජයග්‍රහණයකි. මෙම සරල කාරණය වටහා ගත නොහැකි නායකයෙකු ලැබීම අභාග්‍යයකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author