Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටයිග්‍රේ පාක්ෂිකයෝ පහර දෙති.

පසුගිය දිනෙක ටයිග්‍රේ පාක්ෂිකයින් ඉතියෝපියාවේ මායිම හරහා එරිත්‍රියාව වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති. අස්මාරා නගරයෙන් පිටත රොකට් කිහිපයක් ගොඩබස්වන ශබ්දයෙන් අනතුරුව පිපිරීම් කිහිපයක් සිදු ව තිබුණ ද තුවාලකරුවන් පිළිබඳ තවමත්  වාර්තා වී නොමැත. ඉතියෝපියාවේ ෆෙඩරල් රජය සමඟ ගැටුමක පැටලී සිටින ටයිග්‍රේගේ පාලක පක්ෂය මින් පෙර ද නගරය වෙත ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර තිබුණි. එම පක්ෂයේ හමුදා මීට පෙර ඉතියෝපියාවේ වෙනත් ප්‍රදේශයකට ද රොකට් ප්‍රහාර එල්ල කර තිබිණි. ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන් භාර ගන්නා ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (ටී.පී.එල්.එෆ්.) කියා සිටියේ මේ වන විට අනාගත ප්‍රහාර සඳහා තමන් අම්හාරා කලාපයේ ස්ථාන දෙකක් ද ඉලක්ක කර තිබෙන බව ය.

ටී.පී.එල්.එෆ්. සහ ෆෙඩරල් රජය අතර ගැටුම් පසුගිය මාසය තුළ උත්සන්න විය. ටයිග්‍රේට එරෙහිව සටන් කිරීමේ ගැටලුව සුඩානයට ද බලපා ඇති අතර මේ වන විට අවම වශයෙන් සිවිල් වැසියන් 17,000ක් ඉතියෝපියාවේ සිට සුඩානය දෙසට ඇති දේශ සීමාව තරණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එරිත්‍රියාවේ අර්ධ නිල වෙබ් අඩවියක් වන “ටෙස්ෆා නිවුස්” අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ටී.පී.එල්.එෆ්.වරුන් තම රට වෙත රොකට් ප්‍රහාර දෙකක් එල්ල කොට ඇති බවයි. ටී.පී.එල්.එෆ්. ප්‍රකාශකයෙකු මීට පෙර ද එරිත්‍රියාවට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇති අතර, එයට හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ එරිත්‍රියානු හමුදා ෆෙඩරල් හමුදාවන්ට සහාය දැක්වීම පිණිස ඉතියෝපියාවට ඇතුළු වන බව යි.

එරිත්‍රියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුත් ඇතැම් නිළ නොවන ආරංචි පවසන්නේ එරිත්‍රියානු රෝහල් තුළ සොල්දාදුවන් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් සිය දේශ සීමාව තුළ දී ටයිග්‍රේවරුන්ට එරෙහි ව සටන් කරන බවත් ය. ඉතියෝපියානු රජයේ හදිසි කාර්ය සාධක බලකාය පැවසුවේ ටයිග්‍රේ පක්ෂය විසින් අම්හාරා ප්‍රාන්තයේ බහීර් ඩාර් සහ ගොන්ඩාර් යන නගර දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි. ඉන් එක් රොකට්ටුවක් ගොන්ඩාර් ගුවන්තොටුපළට පහර දී අර්ධ වශයෙන් හානි සිදු කළ අතර දෙවන වෙඩි පහර එකවරම බහීර් ඩාර් ගුවන්තොටුපළ තුළට ගමන් කර තිබේ.

ඉතියෝපියානු අගමැති, අබී මහතාගේ හමුදා විසින් මෑතක දී සිදුකරන ලද ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස රොකට් ප්‍රහාර එල්ල කළ බව ටී.පී.එල්.එෆ්. පක්ෂය පවසා තිබේ.

“ටයිග්‍රේ වැසියන්ට එරෙහි ප්‍රහාර නතර නොවන තාක් කල් ප්‍රහාර තීව්‍ර ව පවතිනු ඇත” යැයි එම පක්ෂයේ ප්‍රකාශක “ගෙටචෙව් රෙඩා” ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේය. පසුව ඔහු ටයිග්‍රේට අයත් රූපවාහිනී නාලිකාවක කතා කරමින් තවදුරටත් සිදු විය හැකි ප්‍රහාර පිළිබඳ ද අනතුරු ඇඟවීය.

ඉතියෝපියාවේ අගමැතිවරයා මේ වන විට ටයිග්‍රේට එරෙහි මිලිටරි ජයග්‍රහණයක් ගැන පුරෝකථනය කර ඇති නමුත් ඔහු තම සතුරා අවතක්සේරු කර ඇති බව පෙනේ. සටන ආරම්භ වූ දා සිට ඉතියෝපියාවේ සිය ගණනක් මියගොස් ඇති අතර, මේ සතිය මුල දී සිවිල් සංහාරයක් පිළිබඳ ද ආරංචි මතු විය. මානව හිමිකම් සුරැකීමේ කණ්ඩායමක් වන “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය” සඳුදා මයි-කද්රා (මැයි කේඩෙරා) නගරයේ දී සිය ගණනක් මිනිසුන් පිහියෙන් ඇන හෝ කපා කොටා මරා දමා ඇති බව තහවුරු කර තිබේ. නගරය පුරා පැතිරී ඇති මළ සිරුරුවල බිහිසුණු ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ද ඔවුන් සතු ව ඇත.

ටයිග්‍රේ නායකයින්ට පක්ෂපාතී බලවේග විසින් මෙම සමූහ ඝාතණ සියල්ල සිදු කළ බවට අගමැති අබී අහමඩ් චෝදනා කර ඇති අතර ඉතියෝපියාවේ මානව හිමිකම් කොමිසම කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශනයක් සඳහා කණ්ඩායමක් යවනු ලැබූ බව යි.