2022 ජූලි 6

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඥාණක්කා කතා කරයි : දේශපාලනයෙන් කිසිම කිසිම වරප්‍රසාදයක් අරගෙන නෑ ලු

ඥානවතී ජයසූරිය හෙවත් ඥානා අක්කා, කුමුදිනී හෙට්ටිආරච්චි සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් මගින් ලබාගත් බලතල තමන් විසින් භාවිත කිරීම පිලිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මැයි 09දා මැර පිරිසක් තම නිවසට පහර දීමෙන් පසු තමාගේ දහඩිය කඳුළෙන්, වෙහෙස මහන්සිවී ගොඩනගා ගත් සියල්ල දැන් විනාශ වී ඇති බව ඇය පවසයි.

ඇතැමෙක් ඇයව ගෞරවාන්විතව ඥානා අක්කා ලෙසත්, තවත් සමහරු මැණියෝ හෝ නිකම්ම අම්මා ලෙසත් හඳුන්වති. නමුත් තවත් සමහරු කාලි අම්මාගේ උදහසට ලක් වූ තැනැත්තියක ලෙස ඇයට අපහාස කරන අතර ශ්‍රී ලංකාවට වර්තමානයේ සිදුවී ඇති දරුණු දුක්ඛිත තත්වයන් සඳහා ඇයට ශාප කරති.

අනුරාධපුර ඉසුරුපුර පදිංචි ඥානවතී ජයසූරිය නැමති 66 හැවිරිදි මෙම කුප්‍රකට තැනැත්තිය, ඕනෑම කෙනෙකුට තමන්ට මුහුනදිමේ හැකියාව ඇති බවත් ඇය පිලිබඳ ඕනෑම ආන්දෝලනාත්මක හෝ අපකීර්තියට ලක්වන චෝදනාවක් ඔප්පු කරන ලෙස ඔවුන්ට අභියෝග කරන බවත් දැඩි ලෙස පවසයි.

මේ සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය ඇතිවීමට තමා සම්බන්ධ බවට කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. තවද මන්ත්‍ර ගුරුකම් භාවිතා කරමින් නායකයින් හරහා, විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය පාලනයට මඟ පෙන්වීමට උත්සාහ කළ බව තරයේ ප්‍රතික්ෂේප කරයි. “මම බුදුන්ව වදින්නේ, ආගම දහමට ලැදියි” ඇය පවසන්නේ බුදුන් වඳින බෞද්ධ ඉගැන්වීම් පිළිපදින කෙනෙකු ලෙසිනි. තමන්ට කිසිඳු දේශපාලන හෝ හමුදා රැකවරණයක් ලැබෙන බවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඇය ගොඩනැගූ සියලු දේ, ඇය ඇගේම දහඩිය කඳුළින්, වෙහෙස වී ලබා ඇති නමුත්, දැන් ඒ  සියල්ල කොල්ලකා ගිනි තබා ඇතැයි ඇය පවසයි.

ඇයගේ පුද බිමේ (ශුද්ධ භූමියේ) 41 වසරක සේවා කාලය තුළ, ප්‍රසිද්ධ මාධ්‍යයකට දුන් ප්‍රථම සම්මුඛ සාකච්ඡාව මෙය බවද ඇය පවසයි. උතුරු මැද පළාතේ පිහිටි මෙම ස්ථානයට මෙම කාලය තුළදී, බලවතුන් සහ දුර්වල පුද්ගලයින්, ඉහළ මට්ටමේ මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ද, නිරෝගී සහ රෝගාතුර අයද කාන්දමක් මෙන් මෙම ස්ථානය වෙත ඇදී ආ බව ඇය පැවසීය. 

සුදු හැට්ටයකින් සහ ලා දුඹුරු පැහැති ලුන්ගියකින් සැරසී සිටින ඥානා, (ඇයට ඥානා ඇන්ටි යැයි පවසන මෙන් ඉල්ලා සිටී) ඇගේ දියණිය නදිශානි, බෑනා පන්ථක ප්‍රනාන්දු සහ දැඩි අනුගාමිකයින් වන පිරිමියෙකු සහ කාන්තාවක් (ඥාති සහෝදරියන්) සමඟ සිටියාය. වර්තමානයේ රට මුහුණදෙන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් රජය පිළිකුල් සහගත ලෙස පහත වැටීම ගැන ඥානා පමණක් නොව ඇගේ පවුලේ අයද සමාජ මාධ්‍ය තුළ දැඩි කෝපයට පාත්‍ර වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විවිධ තලයේ දේශපාලනඥයන් කෙරෙහි, ඥානා ඇගේ ඊනියා දිව්‍යමය වශීකරණය මගින් අනිසි බලපෑම් කර ඇති බවට නොයෙකුත් ප්‍රකාශයන් හේතුවෙන්, මැයි 09 වනදා රාත්‍රියේ ඇයගේ නිවස කොල්ලකෑම සහ ගිනිබත් කිරීම් සිදු කරන ලදී.

පැල්පතකින් ආරම්භ කර කාමර පහකින් යුත් දෙමහල් නිවස දක්වා මෙන්ම, තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමද, සිදුකර ඇත්තේ ඇගේ අධිෂ්ඨානය සහ ධෛර්යය මත බව ඇය පවසයි. ඇයගේ පිහිට පතන අය හමුවන ඉසුරුපුර සහ ඇගේ නිවස පිහිටි ස්ථානය අනුරාධපුර රෝහලේ සිට ගුවන්තොටුපළ පාරෙන් (නුවර පාර) කිලෝමීටර් හතරක් පමණ දුරින් පිහිටා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කිරීම සම්බන්ධයෙන් ඇය විසින් උපදෙස් ලබා දෙන බවට ජනතාව නගන චෝදනා පිළිබඳ ඇසූ විට ඥානා පවසන්නේ කිසිදු දේශපාලන ප්‍රශ්නයක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවයි. ඒ සියල්ල පුද්ගලික කාරණා බවය. නමුත් විධායක ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික කාරණා බොහොමයක් දේශපාලන කාරණා නොවේද? තම භූමිකාව පිළිබඳ වඩාත් සවිස්තර පිළිතුරක් ඉල්ලා සිටි විට ඥානා පවසන්නේ ‘ඥාන මැණියෝ’ ජනාධිපතිවරයාට හෝ කුටියේ (ඇගේ කාමරයේ) වෙනත් කිසිවෙකුට ලබා දුන් ආශිර්වාදය සහ මග පෙන්වීම මතක නැති බවයි.

“මෑණියෝ වෙනයි, මම වෙනයි”, ඇය තවදුරටත් පැහැදිලි කිරීමට යයි; එකම පුද්ගලයා වුවද චෛතසික බලය ඇති තැනැත්තා මැණියෝ වන අතර මම ඒ පුද්ගලයාට වඩා වෙනස් ය”.

ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මීට වසර 12-13 කට පමණ පෙර සිට පුදබිමට පැමිණ ඇත. ඒ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගත් කාලයේ බව පෙනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් පැමිණ තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා සතිපතා සංචාරය කරන නමුත් හැකි සෑම විටම පැමිණෙන බව පැවසීම ඇය ප්‍රතික්ෂේප කරයි. ඔහු මාස ​​ගණනකින් පැමිණ නැතැයි ඇය පවසයි.

ජනාධිපතිවරයාගේ පවුලේ උදවිය පුද බිම අතුගාන බවටත්, අසුන්ගෙන සිටින ජනාධිපතිවරයාව හිමිදිරි උදෑසන ඇය අතින් නාවන බවටත් කෙරෙන ප්‍රකාශයන් මොනවාද? “එහෙම දෙයක් නැහැ”, ඇය කියනවා.” මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – මගේ පුද බිමේ නාන්න තැනක් නැහැ” නමුත් බෙහෙත් දීමට උදව් කරන බව මෙම හිටපු රෝහල් සේවිකාව වැඩිදුරටත් පවසයි.

ඥානා ජනාධිපති ආර්යාව ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන අතර, රටේ ප්‍රථම යුවළ ඇයව බැලීමට පැමිණෙන්නේ “කෘතගුණ සැලකීමක්” නිසා සහ සමීප බැඳීමක් නිසා බව විශ්වාස කරයි.

ප්‍රභූවරුන් වෙනුවෙන් ඇයගේ කාර්යයන් ඉටු කිරීම සඳහා හෙලිකොප්ටරයකින් රැගෙන යන බවට එල්ල වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි. තව දුරටත් ඇය පවසන්නේ පිටරට සිට ආනයන කරන ලද මල් පෙතිවලින් සාදන ලද මතුරපු (ශාප ලත්) ජලය ඔවුන් විසුරුවා හැරීම සඳහා ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන් අතර බෙදා හැරීමට යැව්වේ නැති බවය. “මම ඒ දේවල් කරන කෙනෙක් නෙවෙයි” ඇය අවධාරනය කරයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා රුවන්වැලිසෑයට සමීපව සඳ හිරු සෑ විහාරය ඉදිකිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් පෙළඹවීමක් ඇය විසින් සිදු කර නොමැති බවත්, ඇය කිසිම මැජික් ඖෂධයක් ලබා දී නොමැති බවත් පැවසීය.

සේවයේ නියුතු සහ විශ්‍රාමික ජෙනරාල්වරුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු හමුදාවේ ඉහළම නිලධාරීන් නිතර පැමිණ ඇති බව පවසන ඥානා, හමුදාව සමඟ වෙනත් කිසිදු සම්බන්ධයක් ඇති බව වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි – “මට ඔවුන් පැමිණීම නවත්වන්න බැහැ,” ඇය පවසයි. ඇයගේ දේපල ගොඩනැගීම සඳහා හමුදා ශ්‍රම ශක්තිය ලබාලත් බවද ඇය ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරු කිහිප දෙනෙක්, හමුදාපතිවරු කිහිප දෙනෙක්, ව්‍යාපාරිකයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරු, නීතිඥවරු, සාමාන්‍ය ජනතාව ඇතුළු ප්‍රබල දේශපාලඥයන් මෙන්ම විවිධ පුද්ගලයන්  පැමිණෙන පොදු භූමියක් බව ඥානා සහ ඇගේ පවුලේ අය යළි යළිත් කියති. සමහර දිනවල භික්ෂූන් වහන්සේලා 25-30ක් පමණ වැඩම කර ඇති අතර වාර්ගික භේදයක් නොමැති බවත් ඇය පැවසීය. 

ඇයගේ හෘදසාක්ෂිය ඇයගේ “විශාලතම” ශක්තිය වන අතර, ඉතා වැදගත් පුද්ගලයන් සමඟ දේශපාලන සබඳතාවලින් තමන් ප්‍රතිලාභ ලබා තිබේද යන්න පිළිබඳ ඕනෑම පරීක්ෂණයකට මුහුනදීමට සුදානම්ව සිටින බවද ඇය පවසයි.

ඥාන යනු කවුද සහ ඇයට ඊනියා දිව්‍ය බලය ලැබුණේ කෙසේද?

තම ගම වන ඉසුරුපුරයේ සිටියදී, ඥානා තම පියා කුඹුරු ගොවියෙකු වූ බැවින් වගා කිරීමට ප්‍රිය කලාය.

දීපානි මහා විද්‍යාලයෙන් (දැන් ජනාධිපති විද්‍යාලය) පාසල් අධ්‍යාපනය ලබන ඇය සාමාන්‍ය පෙළ (O/L) විභාගය සමත් වූ නමුත් දෙමාපියන්ගේ අකමැත්තෙන්, එවකට නුගේගොඩ සිට අනුරාධපුරයේ පදිංචිව සිටි ඇගේ පෙම්වතා වූ කේ.ඒ ජයසූරිය සමඟ විවාහ විය. ඒ 1970 දශකයේ අග භාගයේදීය.

අපි ඉස්කෝලේ යන කාලේ හම්බවුනා, මම දීපානි එකේ සහ එයා නිවත්තක චේතිය විද්‍යාලයේ” ඇය පවසන්නීය.

ඥානා විවාහ වී සිටියදී උසස් පෙළ කළ නමුත් එක් විෂයයක් පමණක් සමත් වී උපස්ථායකයෙකු ලෙස සේවය කිරීමට පටන් ගත් අතර පසුව විභාගයකින් සමත් වූ පසු ඇය අනුරාධපුර රෝහලේ දුරකථන ක්‍රියාකරු තනතුරට පත්  විය. ජයසූරිය ජීවත්වීම සඳහා කුඩා කොන්ත්‍රාත් වැඩකල අතර පසුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුරකරු විය. වැඩි කල් නොගොස් මෙම යුවළට අනුරුද්ධ නලින් කුමාර නම් පුතෙකු සහ නදිෂානි නම් දියණියක් ලැබුණි. ඥානා දැන් දරුවන් තිදෙනකුගේ ආච්චි කෙනෙක්.

ඇගේ ස්වාමිපුරුෂයාගේ මරණය හා සම්බන්ධ බොහෝ කථා ගැන අපි කතා කලෙමු. “ඔව්, ඔහුව ඝාතනය කළේ 1996 අප්‍රේල් 14 (අලුත් අවුරුද්ද)” ඇය පවසයි. ඔහු තවත් කිහිප දෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරන විට සිදුවූ ගුටිබැට හුවමාරුවකින් එය සිදුවිය. ජයසූරිය එජාප ආධාරකරුවෙකු වූ අතර ශ්‍රීලනිප ආධාරකරුවන් ඔහුව ඝාතනය කළේය. අපට අසන්නට ලැබෙන තවත් කතාවක්  නම් ඇගේ සැමියා තනිවම ගඟේ නෑමට ගොස් සිටි අවස්ථාවකදී, තවත් 10 දෙනෙකු පමණ පැමිණ ඇතිවූ ආරවුලකින් මෙම මරණය සිදුවූ බවයි. ඔහුව පොලුවලින් ගසා මරා දමා තිබූ අතර පසුව ඔහුගේ සිරුර හඳුනාගත් සාක්ෂිකරුවෙකු වූයේ ඥානාය.

වැන්දඹු වූ පසු, තම දරුවන් ඇති දැඩි කිරීමට සහ ඉගැන්වීට රෝහලේ දුරකථන ක්‍රියාකරුගේ රැකියාවට අමතරව, ඥානා පවසන්නේ වැලි ගොඩදැමීමේ වැඩවලට උදව් කිරීම සඳහාද ඇය වෙහෙස වූ බවයි. පමුණුවට කෝච්චියෙන් පැමිණ රෙදි මිලදී ගන්නා ඇය කුඩා ලාභයකට එම රෙදි අනුරාධපුරයේදී විකිනූ නමුත් ඇයගේ ප්‍රධාන ඉපැයීම් මාර්ගය වූයේ ඉඩම් ගනුදෙනු තැරැව් කිරීමයි.

මීට පෙර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා නිතර ගීය නමුත්, 1981 වසරේදී ස්වාමිපුරුෂයා සමග බුදුන් වඳින විට ඇයගේ සිතට නොසන්සුන්කමක් දැනී ඇත. ඇය ඒ ගැන වැඩි යමක් සිතුවේ නැත – නමුත් එය නිතිපතා සිදු වූ අතර අනෙක් අයට සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ විය. ඇයට අධි ස්වභාවික බලයන් උරුම වී ඇත. ඇයගෙන් උපකාරය පැතූ පළමු පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකි.

ඥානා මුලින්ම මෝහනය වන අතර ඉන් පසු සිදුවන දේ පිලිබඳ ඇයට මතකයක් නොමැත. පුද්ගලයන් දෙදෙනෙකු ඇත – භෞතික පුද්ගලයා සහ අනෙක් පුද්ගලයා. සිදුවූ සිදුවිම් පිලිබඳ ඇයට මතකයක් නොමැති අතර ඒ පිලිබඳ නැවත මතක් කිරීමටද ඇයට නොහැකිය. ඇය දිව්‍යමය පණිවිඩ ප්‍රකාශ කරන මාධ්‍යයක් බඳුය.

වසර 41කට පෙර මුල් කාලයේ, පුද බිමට වැඩි පිරිසක් නොපැමිණි නමුත් කටින් කටින් පණිවිඩ යාමෙන් පැමිණෙන සංඛ්‍යාව වැඩි වූ අතර එයින් බහුතරයක් බෙහෙත් සොයා පැමිණි පුද්ගලයන් වේ. මේ වනවිට ඇයගෙන් සහය සහ සුවය පතා 800කට වැඩි පිරිසක් පැමිණෙන අතර, ඇතැම් අවස්ථාවලදී එය 1,000ද ඉක්මවයි.

තමා පුදබිම සිද්ධස්ථානයක් ලෙස හඳුන්වන්නේ නොමැති බවත් එහි මන්ත්‍ර ගුරුකම්, බලි තොවිල්, යාග-මාන, කොඩිවින වැනි සේවාවන් සිදු නොවන බවත් ඖෂධීය සේවාවන් පමණක් සිදු කරන බවත් ඇය පවසයි. එය පන්සලක් ලෙස පෙනෙන අතර එහි බෝධියක්ද ඇත.

සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයින් පුදබිමට රැස්වේ. ඔවුන් වත්ත පිරිසිදු කිරීම, ලී බඩු පිසදැමීම, පහන් පත්තු කිරීම, දන් දීම වැනි කටයුතුවල නිරත වී මෑණියන්ගෙන් කැඳවීමක් ලැබෙනතුරු නිස්කලංකව ඉඳගෙන බලා සිටි. ඇගේ කුටිය තුළදී, පත්තිනි (ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත වන්නේ ගැබිනි කාන්තාවන් ආරක්ෂා කරන කරුණාවන්ත මාතෘ දේවතාවිය ලෙස) ඥානාව බැහැදැකීමට පැමිණ ඇති විට, ඇය තමාට හමුවන පුද්ගලයින් පිලිබඳ විස්තර කරන අතර, ඇය වෙත තනි තනිව යන ලෙස ඇගේ දියණිය ඔවුන්ට දන්වයි. ඒ සඳහා තෝරාගන්නා පිරිස 200ක් පමණ වනු ඇත.

මාසයකට වරක්, අඟහරුවාදා දිනයක, ඥානා බැලීමට කාලි (කාලය, ලෝකාන්තය සහ මරණය යන කළු දේවතාවිය) පැමිණේ.

කාලි පත්තිනිට වඩා වෙනස් ස්වරුපයක් ගන්නා බව පවසන ඥානා සඳහන් කරන්නේ එවිට ඇයට කුමක් සිදුවේදැයි තමා නොදන්නා බවයි. පත්තිනි බෙහෙත් දෙන විට කියනවා කාලි මෑණියෝ හම්බවෙන්න කියලා. ඊට වඩා සෘජු පිළිතුරු ලබා දෙන්නේ කාලි බව ඇගේ පවුලේ අය පවසයි.

මැණික් කටුවෙහි බැඳ ඇති ආශීර්වාද ලත් නූල සහ රතු නූල් කල්ලිය – රතු නූල සහිත කණ්ඩායම ගැන අපි විමසුවෙමු. සුදු නූල පත්තිනි සඳහා වන අතර රතු පැහැය කාලි සඳහා වන බව බෙහෙවින් ජනප්‍රිය කරුණකි. එය ආශීර්වාදයක් පමණි – සමහරු එය අඳිති, සමහරු එය ඉවත් කරති.

කාලි ‘ප්‍රහාරක දෙවඟනක්’ නිසා විරුද්ධවාදීන්ට හානියක් සිදුකිරීම අරමුණු කරගෙන, අන්‍යයන්ගේ දුක් වේදනාවලින් ලාභ උපයා ගැනීම ගැන කුමක් කිව හැකිද? යන ප්‍රශ්නයට ඥානාගෙන් පිළිතුරු ලැබෙන්නේ මේ ආකාරයටය; “කාලි කිසිවිටෙක අනුන්ට පීඩාවක් හෝ අයහපතක් කරන්නැයි කියන්නේ නැත.”

ඥානා කිසිම මුදලක් අය කරන්නේ නැති නමුත් මිනිසුන් බුලත්-අතක් පූජා කර, රුපියල් විස්සක් වැනි කුඩා පූජාවක් ලබා දෙයි. මෙය බෙහෙත් සඳහා වන අතර බොහෝවිට ඥානා අනුගාමිකයින්ට ආපසු නිවසට යාමට ඔවුන්ගේ බස් ගාස්තුවට මුදල් ලබා දී ඇති බව අන් අයගෙන් අසා ඇත. ඥානා තවදුරටත් පවසා සිටියේ “එහෙම හම්බ කරලා නැහැ. වැරදි පැත්තට හැරිලා නැහැ.” (මම වැරදි ක්‍රියාවෙන් මුදල් උපයාගෙන නැහැ.).

ප්‍රහාරකයන්ගේ පැමිණීම

මැයි 9 වැනිදා සවස ඥානා සහ ඇගේ දියණිය අභයගිරියේ සිටිනවිට අනතුරු ඇඟවමින් දුරකථන ඇමතුමක් ලැබී ඇත. එමගින් දන්වා ඇත්තේ සමාජ මාධ්‍ය මගින් තමන්ට උමතු ලෙස පහර දෙන බැවින් ගෙදර නොයන ලෙසය.

“අපි ගෙදර ගියේ නැහැ,” ඥානා පවසයි. නමුත් ඇගේ පුත්, අනුරුද්ධ (එංගලන්තයේ ජීවත් වන නමුත් දැනට ශ්‍රී ලංකාවේ සිටින) සහ ඇගේ බෑනා වන පන්ථක සමග ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි මිතුරන් 20ක් පමණ නිවසේ සිටියහ.

ඥානා ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට කතා කර “සර්, කරුණාකර උදව් කරන්න” යැයි පවසා ඇත. ජෙනරාල් ශවේන්ද්‍ර නිතර පුද බිමට පැමිණෙන නිසා ඇය ඔහුව දැන සිටියාය.

අනතුරුව පොලිස් භටයන් දස දෙනෙකු ආරක්ෂාවට පැමිණ ඇති අතර පසුව ප්‍රදේශයේ බලසේනාධිපතිවරයා සන්නද්ධ සෙබළුන් 250ක් පමණ රැගෙන පැමිණ ඇත. යුධ හමුදාව සතු වාහන ආරක්ෂාව සැපයීමට මිදුලෙහි නවතා ඇත. අයගේ පුතාට, බෑනාට සහ යහළුවන්ට පවසා ඇත්තේ ගේට්ටුව ඇතුළත හෝ පිටත රැඳී සිටින ලෙසයි. මුව ආවරණ සහ හෙල්මට් පැළඳ සිටිම හේතුවෙන් පවුලේ සාමාජිකයන් වෙන්කර හඳුනාගැනීමට නොහැකි බැවින් ඔවුන් එදින රාත්‍රී 8.30 පමණ සිට පසුදා අලුයම වනතුරු නිවසෙන් පිටත රැඳී සිටිමින් එළිමහනේ ඔවුන්ගේ දෑස් ඉදිරිපිට සිදුවන දර්ශනය දෙස බලා සිටියහ. ඔවුන් සිද්ධිය පුරාවටම ඥානාට දුරකතන ඇමතුම් ලබා දී ඇත.

ප්‍රහාරකයන් වෙනත් දේශපාලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා යතුරුපැදි 100-150 කින් පමණ සහ කුඩා වෑන් රථ දෙකකින් පැමිණ ඇත. හමුදාව දැකීමෙන් අඩක් පමණ විසිරී ගිය නමුත් තවත් පිරිසක් ඥානා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ නම්ද ඉලක්ක කරගනිමින් කුණුහරුප කියමින් අවට ගැවසෙමින් සිටියහ. ඉන් පසු තවත් 100ක පමණ පිරිසක් එක්වූ පසු, ඉන් පුද්ගලයින් පිරිසක් බිත්තියේ කොනක් කඩන්න පටන් ගෙන ඇත.

ඥානා පවසන්නේ ඇගේ පවුලේ අය එම ප්‍රහාරකයන් තම නිවසට ඇතුළු වූ ආකාරය විස්තර කළ බවයි. “හතර දෙනෙක් යාබද ප්‍රජා ශාලාවකට සහ ඇඹරුම් මෝලකට ඇතුළු වී, ඇඹරුම් මෝලේ වැසිකිළියේ සිට මීටර් එකහමාරක් පමණ දුරක් තිබූ මගේ නිවසේ තාප්පය දක්වා පාලමක් ලෙස ඉනිමගක් තබා වත්තට පැන පසුව නිවසට ඇතුළු වුනා, තාප්පයෙන් රිංගා ගත් 25 දෙනෙකු පමණ ඔවුන් සමඟ ඉක්මනින්ම එකතු වී වුනා. කොල්ලකෑම ආරම්භ වූයේ ඉන් පසුවයි. තවත් පිරිසක් හමුදා බාධකය තල්ලු කර කඩා දැම්මා. රන් භාණ්ඩ මෙන්ම හාල්, කුළුබඩු, ගෑස් සිලින්ඩර් වැනි දේවල්ද ත්‍රීරෝද රථවලින් රැගෙන ගියා.”

කඩා දැමීම පසුව ආරම්භ විය – නමුත් උඩුමහලේ සහ පහළ මාලයේ පූජනීය කාමරවල ඇඟිල්ලක්වත් තබා නැත.

ගිනි තැබීම සිදු වූයේ – ගිනිබත් කළ පළමු කාමරය ඥානාගේ කාමරයයි, පසුව පංචකගේ සහ නදිශානිගේ කාමරයයි. ගින්න නිවීම වැළැක්වීම සඳහා ජල මීටරයද කඩා දමා ඇත. මැයි 10 වැනි දින අලුයම 2.30 පමණ වනතුරු මෙම හිංසාකාරී ප්‍රහාරය සිදු විය.

මල් පෝච්චි සහ කූඩුකල ගිරවෙක් පවා රැගෙන ගොස් ඇත. විශාල සොල්දාදුවන් පිරිසක්ද අසල සිටියහ. එය ගිනිබත් කිරීමෙන් පසු ඥානා තවමත් තම නිවසට පැමිණ නැත.

ඇයගේ කීර්තිමත් මානසික ශක්තීන් සැලකිල්ලට ගෙන, තමන්ට සිදුවන්නට යන අවාසනාවන්ත ඉරණම ගැන ඇයට පෙරනිමිත්තක් නොතිබුනේද?

“මෑණියෝ වෙනයි, මම වෙනයි. මට සැකයක් තිබ්බේ නැහැ,” ඥානා පැවසුවාය. පුද්ගලයා සහ මානසික ශක්තිය (මනෝ කායික) සහිත පුද්ගලයා, එක් ශරීරයක වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු ලෙස වෙන්කර  හඳුන්වා දීමට ඇය උත්සාහ කරයි.

ඇය දෙදෙනා අතර ඇති වෙනස තවදුරටත් පැහැදිලි කරයි: ඇය තුළ සිටින පුද්ගලයාට සැකයක් නොතිබුණු නමුත්, ඇය තුළ සිටින මෑණියන් අනුගාමිකයෙකුට පවසා ඇත්තේ ඥානා නම් පුද්ගලයාට තම නිවසේ රැඳී නොසිටින ලෙස පණිවිඩය ලබා දෙන ලෙසයි.

ඤාණ නම් එකම පුද්ගලයාට මෑණියන්ගෙන් තවත් පණිවිඩයක් ලබා දී ඇත. එනම්, පෙර භවයක සිදුකළ පාපයක් ගෙවන්නට සිදු වූ නිසා දුක් නොවන ලෙසය.

මැර කල්ලියේ මීළඟ ඉලක්කය වූයේ අනුරුද්ධට සහ පංචකට අයත් නෙළුම්කුලමේ පිහිටි කාමර හතකින් යුත් ‘ලේක් මොනාක් හෝටලය’යි.

අපි එහි පසුබිම් කතාව සාකච්ඡා කරන ලද අතර එය බුටික් හෝටලයක් නොව අමුත්තන්ගේ නිවසක් බව පැවසුවාය. මෙම ගොඩනැගිල්ල සහ පර්චස් 90 ක ඉඩම මීට වසර හතකට පෙර මිලදී ගෙන ඇති අතර ගොඩනැගිල්ල වර්ණ ගන්වා ඇත. ඉන්පසු ඊට යාබදව තවත් හිස් පර්චස් 40ක ඉඩමක් ඔවුන් මිලදී ගෙන ඇත.

ඒ සඳහා නුවර වැව රක්ෂිතයට කිසිදු අනවසර ආක්‍රමණයක් සිදුකර නොමැති බව පවුලේ අය අපට ඒත්තු ගැන්වීමට වෙහෙස විය. ඔවුන් රක්ෂිතයේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට රට පුරා සිටින බොහෝ අය මෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවසරය ලබා ගත්හ. හෝටල් ව්‍යාපාරය සඳහා ඥානාගේ කිසිදු සම්බන්ධයක් නැති බව අපට පැවසීය. ඊට අදාළ සියලුම ලියකියවිලි තිබුණත් දැන් ඒවා අළු වී ඇත. සමාජ මාධ්‍යවල පැතිර යන ඡායාරූප අසත්‍යය – එය ඔවුන්ගේ guest-house ය නොවේ. ඉණිමඟ මත සිටින සොල්දාදුවන් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී වන ඡායාරූප ඔවුන්ගේ නොව වෙනත් හෝටල්වල ඡායාරූප වේ.

ප්‍රහාරකයන් කවුද සහ එවැනි කෝපයක් ඇති වූයේ ඇයි?

ප්‍රහාරය එල්ල කළ බොහෝ දෙනා තමන් දන්නා බව පවුලේ අය පවසයි. ඔවුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පුද්ගලයන් බව පැවසේ.

ඥානා පවසන්නේ ඔවුන්ගේ නිවසේ තිබූ හැඳුනුම්පත්, උප්පැන්න සහතික, විදේශ ගමන් බලපත්‍ර, ලැප්ටොප් පරිගණක සියල්ල විනාශ වී ඇති බවයි. ඇය සතුව ඇත්තේ එදින ඇඳ සිටි ඇඳුම් පමණක් බවයි.

කෙසේ වෙතත්, ඇයට ධෛර්යය ලබා දෙන්නේ සාමාන්‍ය මිනිසුන් බවත්, ඇයට තැවුල් ඇති කර නොගන්නා ලෙස ඔවුන් පවසන බැවින්, ඇය ශක්තිමත්ව සිටින බව ඇය පවසීය. මෙම ජනතාව ඇගේ වැඩ කටයුතු නැවත ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ඔවුන්ගේ උපකාරය ලබා දීමට සහතික කර ඇත.

®සන්ඩේටයිම්ස් හි පලවූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය