Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෝ බයි‌ඩෙන්.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟ ඇති වූ ඡන්ද උණුසුම තුළ ලොව පුරා වෙසෙන බහුතරයකගේ අවධානය වඩාත් යොමු වූ චරිතය වන්නේ නව ජනාධිපති, ජෝ බයිඩන් ය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට හොඳ තරඟයක් ලබා දුන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ඔහු ය. මේ වන විට වයස අවුරුදු 78ක් වන ඔහුගේ ජීවන ගමන පිළිබඳ සොයා බලන විට එය කටු කොහොලින් පිරි අතිශයින් දුෂ්කර ගමනක් බව පෙනී යයි.

1942 නොවැම්බර් මස 20 වන දින උපන් ජෝසෆ් රොබිනෙට් බයිඩන් සිය ළමා කාලය ගත කළේ පෙන්සිල්වේනියාවේ ස්ක‍්‍රැන්ටන්හි ය. ඔහුගේ පියාට ස්ථිර රැකියාවක් තිබුණේ නැත. “ජෝ” ට වයස අවුරුදු 10 දී, බයිඩෙන් පවුල ඩෙලවෙයාර්හි පදිංචියට ගියේ ඔහුගේ පියාට කාර් විකිණීමේ රැකියාවක් ලැබීමෙන් පසුව ය. එම පවුල ජීවත් වූයේ අතිශයින් කුඩා නිවසක ය. බයිඩෙන් පවුලේ පිරිමි ළමයින් තිදෙනා තම මාමා වන එඩ්වඩ් බ්ලෙවිට් ෆිනෙගන් (බූ බූ මාමා) සමඟ එක් නිදන කාමරයක් බෙදා ගත්හ. ඔවුන් සිව්දෙනාට ම නිදා ගැනීමට තිබුණේ බංකු ඇඳන් දෙකක් පමණි.

කුඩා කාලයේ දී බයිඩෙන්ට කතා කිරීමේ දුර්වලතාවක් තිබුණි. ඔහුට සිය නමවත් සම්පූර්ණයෙන් කියා ගැනීමට අපහසු විය. එහෙයින් ළමයි ඔහුට “බායි-බයි” යනුවෙන් විහිළු කළහ. ගුරුවරයා සමඟ කළ සංවාද නැවත නැවතත් ඇසීම, කටේ ගල් කැට තබාගෙන කතා කිරීම පුහුණු වීම සහ ශබ්ද නඟා කියවීම වෙනුවට ඡේද කටපාඩම් කිරීම ආදිය මඟින් ඔහු බොහෝ අපහසුවෙන් නොවැටී සිටීමට උත්සාහ කළේය. ආර්ච්මියර් ඇකඩමියේ දී ඔහු පන්ති නායකයා ලෙස තේරී පත් වූ නමුත් කථන ගැටලු නිසා ම පාසල් පරිපාලකයින් විසින් බයිඩෙන් ශිෂ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය සඳහා තරඟ කිරීම තහනම් කෙරිණි.

සිය අනාගත බිරිඳ නීලියා හන්ටර් හමු වී, දෙවන දිනයේ දී ඇය සමඟ පිටතට ගිය ද, අවන්හලේ බිල්පත ගෙවීමට තරම් ජෝට ප්‍රමාණවත් මුදලක් නොතිබුණි. නීලියා මේසය යටින් ඔහු වෙත ඩොලර් 20ක් යැව්වා ය. බයිඩෙන් මුල් වරට නීලියාගේ මව මුණගැසුණු විට, ඇය ඇසුවේ ඔහුගේ රැකියාව පිළිබඳ යි. එවිට බයිඩෙන් ඇයට දැනුම් දුන්නේ තමා එක්සත් ජනපදයේ ජනාධිපති වීමට අදහස් කරන බවයි. ඔහු 1966 දී නීලියා සමඟ විවාහ වී දරුවන් ලැබුවේ ය. “ලෝකයේ ඇති එකම හොඳ දෙය ළමයින් ය. ” බයිඩෙන් පැවසීය. 1967 ඔහු සිරකූස් විශ්ව විද්‍යාලයේ නීති සිසුවෙකු ලෙස සිටිය දී නීලියාට බලු පැටියෙකු මිල දී ගෙන ඌ “සෙනේටර්” (සෙනෙට් සභිකයා) ලෙස නම් කළේය.

ඔහු නීති විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු යුධ හමුදාවට ඉල්ලුම් කළ ද, ඇදුම රෝගයෙන් පෙළීම නිසා අසමත් විය. 1970 දී නිව් කාසල් කවුන්ටි කවුන්සිලයට තේරී පත්වීම සඳහා තරඟ කරමින් සිටියෙදී ඔහුට ජාතිවාදීන්ගෙන් නිර්ණාමික දූරකථන ඇමතුම් ලැබිණි. ඒ, බයිඩෙන් සියලු දෙනා එක සමාන බව සිතමින් සුළු ජාතීන් වෙනුවෙන් කතා කළ නිසාවෙනි. 1972 දී 29 වන වියට පා තබන විට ඔහු වත්මන් රිපබ්ලිකන් සෙනෙට් සභික “කේල් බොග්ස්” පරාජය කරමින් එක්සත් ජනපද සෙනෙට් සභාවට තේරී පත් වූ පස්වන ලාබාලතම පුද්ගලයා බවට පත් වී තිබිණි.

බයිඩෙන් සිය සෙනෙට් අසුන දිනා සති කිහිපයකට පසු, ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා නිවස බලා යමින් සිටිය දී බඩ ඉරිඟු පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටරයක ට්‍රේලරයක් ඔවුන් ගමන් ගත් වැගන් රථයේ වැදී තිබිණි. නීලියා සහ ඔවුන්ගේ 13 හැවිරිදි දියණිය නයෝමි රෝහලට ගෙන යාමට ද පෙර මිය ගියහ. කුඩා පුතුන් දෙදෙනා වන බියු සහ හන්ටර් බරපතල තුවාල සහිත ව රෝහල් ගත කෙරිණි. බයිඩෙන් සෙනට් සභාවට දිවුරුම් දුන්නේ සිය පුත් බියුගේ රෝහල් කාමරය තුළ දී ය. අනතුරෙන් පසු ඔහු ඩෙලවෙයාර් පිහිටි සිය නිවසේ නැවතී සිටියේය. එබැවින් අවුරුදු 15කට වැඩි කාලයක් සෑම දිනකම මිනිත්තු 75ක දුම්රිය ගමනකින් වොෂිංටන් බලා යාමට ඔහුට සිදු විය. එහෙයින් බයිඩෙන් සිය දුම්රිය කාර්යය මණ්ඩලය “පවුල” ලෙස පිළිගත් අතර ඔවුන් වෙනුවෙන් සාද පවා සංවිධානය කළේ ය.

1974 දී බයිඩෙන් වාර්තාකරුවෙකුට පැවසුවේ “ගබ්සාව වැනි කාරණා සම්බන්ධයෙන් මම ඔබේ මිත්තණිය තරමට ම ලිබරල් ය. ගබ්සාව පිළිබඳ [රෝයි වී. වේඩ්] තීරණයට මම කැමති නැත. තමන්ගේ ශරීරයට කුමක් සිදුවිය යුතුදැයි තීරණය කිරීමේ පූර්ණ අයිතිය කාන්තාවට පමණක් ම තිබිය යුතු යැයි මම නොසිතමි.” යනුවෙනි. 1981 දී ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඡන්දය දුන් අතර රෝයි වී. වේඩ් රජය පෙරළා දැමීමට උදව් කළේ ය. 1970 දශකයේ දී බයිඩෙන් පාසල් බස්රථ සම්බන්ධ උසාවි නියෝගයට විරුද්ධ විය. ඒ, අදාළ නියෝගය මඟින් රජයේ පාසල්වලට ගැටලුවක් වන බව පවසමිනි. එහෙත් ඔහු නිවාස අවලංගු කිරීම් වැනි දේවලට එකඟතාව දැක්වීය. 

බයිඩෙන් 1977 දී නැවත විවාහ වූයේ ඉංග්‍රීසි ගුරුවරියක වන ජිල් ට්‍රේසි ජේකොබ්ස් සමඟ ය. 1984 දී සෙනෙට් අධිකරණ කමිටුවේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදියා වශයෙන් ඔහු ජාතිවාදී නීතිවලට විරුද්ධ විය. 1980 දශකය පුරා ම කළ කථාවල දී ඔහු “සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය” වෙනුවෙන් පාගමන් ගිය බව පුන පුනා කියා සිටි අතර “බුල් කොනර් සහ ඔහුගේ බල්ලන්” ඔහුගේ දේශපාලන පිබිදීමට වටිනාකමක් දුන් බව සඳහන් කළේය.  එහෙත් මෙම යුගය තුළ බයිඩෙන් සිවිල් අයිතිවාසිකම් පාගමන්වලට සම්බන්ධ වූ බවට කිසිදු සාක්ෂියක් නැත. ඔහු 1960 ගණන්වල විල්මිංටන්හි වෙන් කරන ලද රියාල්ටෝ සිනමා ශාලාව අසල උද්ඝෝෂණයකට පමණක් සහභාගී වී තිබේ.

1987 දී ජෝ පළමු වරට ජනාධිපති ධුරය සඳහා තරඟ කළේය. ගල් අඟුරු ආකරවල සේවය කළ ඔහුගේ මුතුන් මිත්තන් ගැන ව්‍යාජ ලෙස සඳහන් කරමින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක නීල් කින්නොක්ගේ කතාවක කොටස් උපුටාගෙන තමාගේ මෙන් ප්‍රකාශ කළ බව හෙළි වූ පසු ඔහු තරඟයෙන් ඉවත් විය. එම වසරේ ම අධිකරණ කමිටුවේ සභාපති වශයෙන් ඔහු කොන්සර්වේටිව් නීති විශාරදයකු හා ෆෙඩරල් විනිසුරුවරයෙකු වූ “රොබට් බෝර්ක්” ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීමට විරුද්ධ විය. බයිඩෙන්ගේ උපායමාර්ගය වූයේ, බෝර්ක්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම, පැහැදිලි හා සාපේක්‍ෂ භාෂාවෙන් ප්‍රශ්න ඇසීම සහ ඔහුගේ දේශපාලනික වශයෙන් මතභේදාත්මක අදහස් පිළිබඳ නීත්‍යානුකූලව විකාශනය කිරීමට බෝර්ක් හට ඉඩ දීම ය. 42 – 58 සෙනෙට් සභාවේ දී බෝර්ක්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ අතර ඇතැම් ඉතිහාසඥයින් එය අධිකරණ අංශයට එරෙහි දේශපාලන යුද්ධවල නව යුගයක ආරම්භය ලෙස උපුටා දක්වයි. 1988 පෙබරවාරි මාසයේ දී, බයිඩෙන් මොළයේ ශල්‍යකර්මයකට භාජනය වූ අතර මාස තුනකට පසු ඔහුට දෙවන ශල්‍යකර්මය ද සිදු කරන ලදී.

1991 දී බයිඩෙන් සිය සෙනෙට් සභික ඩිමොක්‍රටිකයින් බහුතරයක් සමඟ එක් ව ඉරාකය කුවේටයෙන් පලවා හැරීමට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කළේය. 1993 දී බෝල්කන් සංචාරයක යෙදී සිටියදී බයිඩෙන් සර්බියානු නායක ස්ලොබොඩන් මිලොසෙවික් හමුවිය. බයිඩෙන් පවසන්නේ තමා මිලොසෙවික් “නින්දිත යුද අපරාධකරුවෙකු” ලෙස හැඳින්වූ නමුත් රැස්වීමට පැමිණ සිටි අනෙක් අයට නම් එය වඩාත් රාජ්‍ය තාන්ත්‍රික හමුවක් ලෙස පෙනුණු බවයි. ඔහු 1994 දී ප්‍රචණ්ඩකාරී අපරාධ පාලනය සහ නීතිය බලාත්මක කිරීමේ පනත ලියා ඇති අතර එය ෆෙඩරල් සිර දඬුවම් දැඩි කළේ ය. කළු සහ දුඹුරු ඇමරිකානුවන් අසමානුපාතිකව සිරගත කිරීම සම්බන්ධයෙන් අද දිනටත් එම නීතිය නීති සම්පාදකයින්ගේ ඇගයුමට ලක් වේ. ඔහු 1994 දී කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ පනතට අනුග්‍රහය දැක්වූයේ සෙනෙට් සභික ඕරින් හැච් සමඟ එක්ව ය. “විශාල අපරාධ පනත්” කෙටුම්පතට ඇතුළත් කර ඇති මෙම නීතිය මගින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී අපරාධ විමර්ශනය කිරීම හා නඩු පැවරීම සඳහා ඩොලර් බිලියන 1.6 ක් ලබා දී ඇති අතර, වැරදිකරුවන් වූ වින්දිතයින්ට සිවිල් උසාවියේ දී නඩු පැවරීමට ඉඩ දී ඇත.

ඔහු 2002 ඉරාක යුද්ධයට පක්ෂ ව ඡන්දය දුන් අතර, ඒ අනුව එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉරාකයට එරෙහිව බලය යෙදවීමේ යෝජනාව සම්මත කර ගත්තේ ය. එහෙත් එතැන් සිට බයිඩෙන් සිය ඡන්දය “වැරැද්දක්” ලෙස නම් කර තිබේ. ඔහු කැපිටල් හිල් තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුගේ හී සැර වැනි කතා සහ නොවරදින ප්‍රකාශ නිසාය. ඔහුගේ දීර්ඝ සෙනෙට් කතාවකට සවන් දෙමින් සිටිය දී එවකට සෙනෙට් සභික බරක් ඔබාමා බොහෝ සතුටට පත් වී තිබේ.

බයිඩෙන් දුම්වැටි හෝ මත්පැන් පානය කරන්නේ නැත. 1970 දී පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක දී ඔහු පවසා සිටියේ, “මම පාපන්දු ක්‍රීඩාව ජීවිතයට අත්වැලක් ලෙස භාවිත කරමි. යතුරුපැදි පැන්නීම සහ හිම මත ලිස්සා යාම ද එසේම ය. නමුත් ඒවා මට යම් පාලනයක් ඇතිව කිරීමට සිදු වීඇත.” යනුවෙනි.

2008 දී බයිඩෙන් දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ නමුත් අයෝවා කොකේස්හි පස්වන ස්ථානයට පත්වීමෙන් පසුව ඉවත් විය. මාස හතකට පසු ජනාධිපති බැරක් ඔබාමා, බයිඩෙන් ඔහුගේ සහකරු ලෙස තෝරා ගත්තේය. ඒ අනුව ඔහු උප ජනාධිපතිවරයා බවට පත් විය. ධවල මන්දිරයේ පැවති 2009 කුප්‍රකට “බියර් සමුළුවේට” හාවඩ් විශ්වවිද්‍යාලයීය මහාචාර්ය හෙන්රි ලුවී ගේට්ස් සමඟ ඔහු ද සහභාගි විය.

2012 දී ඔබාමා නැවත තේරී පත්වීමේ ව්‍යාපාරය වේගයෙන් ඉහළ යමින් තිබිය දී සමලිංගික විවාහයට තම සහයෝගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඔහු ජනාධිපති ඔබාමා කෝපයට පත් කළේය. 2014 මුල් භාගයේ දී, රුසියාව යුක්රේනයේ කොටසක් වූ ක්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසුව, උප ජනාධිපති බයිඩෙන්, ඔබාමා පාලනාධිකාරයේ රුසියානු ආක‍්‍රමණය ගැන තැතිගත්, යුක්රේනය වැනි නැගෙනහිර යුරෝපීය රටවලට යවනු ලැබූ “දූතයා” බවට පත්විය.

2014 මැයි මාසයේ දී බයිඩෙන්ගේ බාල පුත් හන්ටර්, යුක්‍රේන බලශක්ති සමාගමක් වන බුරිස්මාහි අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳුණේ ය. ඒ වන විටත් එහි හිමිකරු සම්බන්ධ දූෂණ විමර්ශනයක් සිදු වෙමින් පැවතිණි. ආසන්න වශයෙන් වසර පහක සේවා කාලය ඇතුළත හන්ටර් හට ඩොලර් 50,000ක මාසික වේතනයක් ලැබුණි. 2015 දෙසැම්බරයේ දී උප ජනාධිපති බයිඩෙන් යුක්රේනයේ නීතිපති ජෙනරාල් වික්ටර් ෂොකින් නෙරපා හරින ලෙස ඉල්ලා සිටි විට, බොහෝ බටහිර නායකයින් ඔහුට චෝදනා කළේ ඔහු සිය පුත්‍රයා සම්බන්ධ දූෂණය ගැන නිශ්ශබ්ද ව සිටි බවට ය.  “මගේ පුතා කිසිම වැරැද්දක් කළේ නැහැ. මම කිසි වරදක් කළෙත් නැහැ.” බයිඩෙන් පැවසීය. පෙර අනතුරෙන් දිවි ගලවා ගැනීමට තරම් වාසනාවන්ත වූ බයිඩෙන්ගේ වැඩිමහල් පුත් බියු ද මොළයේ පිළිකාවක් හේතුවෙන් 2015 දී මිය ගියේය. 

2014 දී ජෝ බයිඩෙන් ඇමරිකාවේ අඩුවෙන් ම ධනවත් රජයේ නිලධාරියෙකු ලෙස ලැයිස්තු ගත කර ඇති අතර 581 සිට 577 වන ස්ථානයට පත් විය. ඔහු 2016 දී ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීම ගැන සලකා බැලූ නමුත් ඔබාමා ඔහුට ඒත්තු ගැන්වූයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා පරාජය කිරීම සඳහා වඩා හොඳ අවස්ථාවක් හිලරි ක්ලින්ටන්ට ඇති බව යි. එහෙයින් බයිඩෙන් නිහඬ විය. එහෙත් එම අනාවැකිය වැරදිණි. පසුගිය සෙනසුරාදා වන තෙක් සිය දේශපාලන ජීවිතයේ අවුරුදු 32ක් පුරාවට ජෝ බයිඩෙන් තෙවරක් ජනාධිපති ධූරය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබුණ ද, එක් වරක්වත් දිනුම ලබාගෙන තිබුණේ නැත.

සෑම දේශපාලනඥයෙකු පිටුපස ම සුදු මෙන් ම කළු රූපයක් ද ඇත. එහෙයින් ම ඇතැමුන් ජෝ බයිඩෙන් හඳුන්වන්නේ “ක්‍රීපි බයිඩෙන්” ( අප්‍රසන්න බයිඩෙන්) යනුවෙනි. එනමුත් බහුතර ඇමරිකානුවන්ගේ අදහස වන්නේ ජෝ, ට්‍රම්ප්ට වඩා සිය දහස් ගුණයකින් යහපත් බව යි. පවුලක ඇති වැදගත්කම පිළිබඳ දන්නා ඔහු මධ්‍යම පාන්තිකයෙකි. සිය මුළු ජීවිතය ම ඇමරිකාවේ දේශපානය වෙනුවෙන් වැය කළ ඔහු වැනි පුද්ගලයෙකු එරට තවත් නොමැති තරම් ය. නව ජනාධිපතිවරයා රට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ ලොව ම අවධානයෙන් බලා සිටිති.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author