Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මුහුණ දෙන්නේ කොහොමද? අගමැති මහින්ද භික්ෂුන්ගෙන් අසයි

මානව හිමිකම් උල්ලංඝනය, යුධ අපරාද, අධිකරණයේ ස්වාධීනත්වය බිඳවැටීම, කොරෝනා අසාදිත මල සිරුරු භුමදනයට එරෙහි වීම, ජාතීන් අතර අසමානතා නිර්මාණය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් වග උත්තර බැඳීමට ආණ්ඩුවට සිදුව තිබෙනවා.

ඒ මෙවර ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදී යි.

මේ සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ කෙසේදැයි විමසීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා (10) භික්ෂු කණ්ඩායමක් අරලියගහ මැදුරට ගෙන්වා ගෙන තිබෙනවා.

එහිදී භික්ෂුන් දැනුවත් කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටිය දී, අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරී ලෙස මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බවයි.

රටේ ජයග්‍රහණයට මෙන් ම ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇති බව මෙහි දී පවසා තිබෙනවා.

මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අදහස

එහි දී අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව යි .

මෙවැනි අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්, ඒ වෙනුවට අපගේ නිවැරදි භාවය සඳහන් කරමින් විත්ති වාචිකයක් පමණක් ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පවසා තිබෙනවා.

මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන්කිරීම බව පෙන්වා දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය අවසන් කිරීම යුද අපරාධයක් යැයි කීම මහා අපරාධයක් බව පෙන්වා ද සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වයට මුහුණ දීමට බෞද්ධ රටවලට අපගේ ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් යම් බලපෑමක් කළ හැකි බවත්, ඒ ඔස්සේ සාධනීය ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇති බවත් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

බෙංගමුවේ නාලක හිමියන්ගේ අදහස

මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක අනු නාහිමියන් ප්‍රකාශ කර සිටියේ මානුෂීය මෙහෙයුමකින් දිනා ගත් නිදහස ආරක්ෂා කර ගත යුතු බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තීන් සැලකිල්ලට ගනිමින් අප කටයුතු කළ යුතු බවත්ය. මංගල සමරවීර මහතා එකග වූ 30 (1) යෝජනාවේ බලපෑම දීර්ඝ වශයෙන් රටට ඇති බව ද උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අදහස

මෙම යෝජනාවලියෙන් සම්බාධක පැනවීම, රටවල් අතර ගමනාගමනයට හා විදෙස් රටවල සහයෝගය ලබා ගැනීම වැනි කාරණා රැසක් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බව ප්‍රකාශ කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම යෝජනාවලියට විරුද්ධව අපට පක්ෂව සිටින රටවල් සංඛ්‍යාව ඉහළ දමා ගැනීම ඉතාම වැදගත් බව ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍ය ජී.එල්. පීරිස්

නඩු අසා තීන්දු දීම සාමාන්‍ය ක්‍රමවේදය වුව ද මෙම යෝජනාවලියෙන් තීන්දුව ඒමටත් පෙර තීන්දුව ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවත් යුක්තිය නීතිය හා සාධාරණත්වය මෙම යෝජනාවලියට ගෑවිලාවත් නැති බවත් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

කිරින්දේ අස්සජි හිමියන්

මෙහිදී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මෙම අවදානම් තත්ත්වයට සුවිශේෂී කරුණු 2ක් බලපාන බවයි. ඒ ඉස්ලාම් අන්තවාදය හා නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදීම නිසා අවසානයේ අමෙරිකානු අවශ්‍යතා ඉෂ්ට සිද්ධ වන තැනට රට තල්ලු වී ඇති බවයි.

එසේ ම මෙම කාරණාවේ දී අප රට විසින් යම් කල් ඉල්ලීමක් සිදු කළ යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එයට ප්‍රතිචාර දක්වමින් , එවැනි කල් ගැනීමකට එකඟවීම ඇති ඉඩ අවම මට්ටමක පවතින බව කී අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාවට තර්ජනය ඇත්තේ කුමන පැහැදිලි කිරීම කළත් වෙනස් නොවන රටවලින් බව ප්‍රකාශකර තිබෙනවා.

ඇතැම් රටවල ප්‍රතිපත්තිය වෙනස් නොවන බවත්, අපට වාසි සහගතව පවතින රටවල් දිනාගැනීම අප විසින් කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කල බවද වාර්තා වනවා.

පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන් ප්‍රකාශ කර සිටියේ විදේශ රටවල්වල ප්‍රසාදය මෙරට වෙනුවෙන් නතු කර ගැනීම මෙන්ම, දෙමළ ඩයස්පෝරාවේ මතයට ක්‍රියාත්මක නොවන තානාපති සේවයක් ශක්තිමත් කිරීම තුළ මෙම තත්ත්වයට මුහුණ දිය හැකි බවයි.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, පූජ්‍ය මහාචාර්ය ඉත්තෑදෙමළියේ ඉන්දසාර නාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී අනුනාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි, පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමි, පූජ්‍ය එගොඩ උයනේ ඤාණවිමල හිමි, පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි, පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමි, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.