2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජස්ටීනියානු වසංගතය.

චීනයේ සහ ඊසානදිග ඉන්දියාව තුළ ඉපදුණු හඳුනා නොගත් විෂබීජයක් (යර්සීනියා පෙස්ටිස්) ගොඩබිම සහ මුහුදු වෙළඳ මාර්ග හරහා අප්‍රිකාවේ මහා විල් කලාපයට ගමන් ගන්නා ලදී. එය වසංගතයක් ලෙස පැතිර යාම ආරම්භ වූයේ ඊජිප්තුවේ දී ය. බයිසන්තියානු ඉතිහාසඥයෙකු වූ “ප්‍රොකෝපියස් ඔෆ් සීසර්යා” (ක්‍රි.ව. 500-565) විසින් නයිල් ගඟේ උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ “පෙලුසියම්” යන ප්‍රදේශයෙහි වසංගතයේ පළමු පැතිරීම සිදු ව ඇති බව හඳුනා ගත්තේය. “Plague” යන ග්‍රන්ථයෙහි කතුවරයා වන “වෙන්ඩි ඔරෙන්ට්”ට අනුව, රෝගය දෙයාකාරයකින් පැතිරී ඇත. එනම්, උතුරින් ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා සහ නැගෙනහිරි පලස්තීනය හරහා යනාදී වශයෙනි. පළමුවන ජස්ටීනියානු අධිරාජ්‍යයාගේ (ක්‍රි.ව. 527-565) පාලන සමයේ දී වසංගතය දරුණු ලෙස පැතිර ගියේ මිලියන ගණනකගේ ජීවිත බිලිගනිමිනි. මෙම වසංගතය ක්‍රි.ව. 542 දී කොන්ස්තන්තිනෝපලය වෙත පැමිණ තිබුණේ එහි ආරම්භයෙන් වසරකට පමණ පසු ය. 

ජස්ටීනියානු වසංගතය පැතිරවීමට වඩාත් දායකත්වය ලබා දුන්නේ “රැටස් රැටස්” නම් වූ කළු මීයන් ය. එකල කප්පම් වශයෙන් ධාන්‍ය නැව් සහ කරත්ත කොන්ස්තන්තිනෝපලය වෙත යවන ලදී.  ක්‍රි.ව. 8 වන සියවසේ දී අධිරාජ්‍යයේ මූලික ධාන්‍ය සපයන්නා උතුරු අප්‍රිකාව බවට පත් ව තිබූ අතර කඩදාසි, තෙල්, ඇත් දළ සහ වහලුන් ඇතුළු විවිධ වෙළඳ භාණ්ඩ ගණනාවක් එහි සිට කොන්ස්තන්තිනෝපලය වෙත යැවිණි. විශාල ගබඩාවල ගබඩා කර තිබූ මෙම ධාන්‍ය, මැක්කන් හා මීයන් සඳහා පරිපූර්ණ අභිජනන භූමියක් සැපයූ අතර එය වසංගතය සම්ප්‍රේෂණය වීම සඳහා අධික ලෙස බලපෑවේ ය. “Justinian’s flea” ග්‍රන්ථයේ රචකයා වූ “විලියම් රොසෙන්” සඳහන් කරන්නේ මීයන් ඕනෑම දෙයක් (එළවලු ද්‍රව්‍ය හා කුඩා සතුන් ඇතුළු ව) ආහාරයට ගන්නා බවත් ධාන්‍ය යනු ඔවුන්ගේ ප්‍රියත ම ආහාරය බවත් ය. තවදුරටත් නිරීක්ෂණය කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ මීයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී උපන් ස්ථානයෙන් මීටර් 200කට වඩා ඈතකට ගමන් නොකරන බවයි. කෙසේ වෙතත්, මෙහි දී සිදු ව තිබුණේ නොදැනුවත් ව ම ධාන්‍ය බෝට්ටු සහ කරත්ත හරහා මීයන් අධිරාජ්‍යය පුරා විසිර යාම යි. 

මෙම යුගයේ දී වසංගතය ව්‍යාප්ත වීමට කාලගුණික තත්ත්වය ද බලපා තිබූ බව පෙනේ. ඉතිහාසඥයෙකු වන “කොලින් බරාස්”ට අනුව, “ප්‍රොකොපියස්” විසින් එකල දකුණු ඉතාලියේ කාලගුණික විපර්යාසයන් වාර්තා කර තිබේ. ඒ අනුව ගිම්හානය මධ්‍යයේ හිම වැටීම සහ හිමවල අසාමාන්‍යතා, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා අඩු කාලගුණය, හිරු එළිය අඩුවීම ආදිය මෙකල ලොව මුහුණ දෙමින් සිටි කාලගුණ විපර්යාස විය. එපමණක් නොව රට කඩාකප්පල් කිරීම්, යුද්ධය ආදිය ද වාර්තා වීමත් සමඟ දශක ගණනාවක් පුරා ඇදි ඇදී යාමට නියමිත ව තිබූ ගැටලුකාරී තත්ත්වයනට මුහුණ දීමට ලොවට සිදු විය. සුපුරුදු කාලගුණයට වඩා හදිසියේ මතු වූ ශීත කාලගුණය අස්වැන්න කෙරෙහි බලපා තිබූ අතර එමඟින් ආහාර හිඟයක් ද ඇති විය. එහෙයින් ආහාර සොයා කලාපය පුරා ගමන් කිරීමට ජනතාවට සිදු විය. මෙම අනිවාර්යය සහ අකැමැත්තෙන් ගමන් ගත් සංක්‍රමණිකයන් සමඟ විෂබීජය ආසාදනය වී තිබූ මැක්කන්ගෙන් පීඩා විඳිමින් සිටි මීයෝ ද වූහ. අධික ශීතල හා වෙහෙසට පත් ව කුසගින්නෙන් පෙළෙන මිනිසුන් සමඟ යුද්ධය මධ්‍යයේ අලුතින් ඇති වූ රෝගාබාධ ද එකතු විය. එ අතර සිදු වූ මීයන්ගේ ජනගහණය වැඩිවීම ද වසංගතයක් සඳහා සුදුසු තත්ත්වයක් නිර්මාණය කළේය. එය කෙතරම් බිහිසුණු වූයේ ද කියතොත් ජස්ටීනියානු වසංගතය හේතුවෙන් යුරෝපයේ ජනගහණයෙන් අඩක් පමණ විනාශ විය.

“ප්‍රොකොපියස්” විසින් ආසාදිතයින්ගේ ස්වභාවය විස්තර කරන්නේ “මායාවන්, බියකරු සිහින, උණ සහ ඉදිමීම, ඉඟටිය, කකුල් සහ කන් පිටුපස ඇති ඉදිමීම්වලින් පෙළෙන අය” ලෙස යි. සමහර රෝගීන් කෝමා තත්ත්වයට පත්වූ අතර අනෙකුත් රෝගීන් මංමුළා වී ඇති බවක් පෙන්නුම් කර තිබේ. බොහෝ වින්දිතයින් මරණයට දින කිහිපයකට පෙර සිට දුක් විඳ ඇති අතර ඇතැම්හු රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම මිය ගියහ. ජස්ටීනියන් වසංගතය යක්ෂයෙකු ලෙස හැඳින්වීමට ජනතාව පෙළඹී සිටියහ. එසේ ම මෙය අධිරාජ්‍යයාගේ වැරදි හේතුවෙන් දෙවියන් වහන්සේ ලබා දුන් දඬුවමක් යැයි පවසමින් වසංගතයේ සම්පූර්ණ වරද ජස්ටීනියන් අධිරාජ්‍යයා වෙත පැවරීමට ද ඔවුහු උත්සාහ කළහ.

වසංගතයෙන් දිනකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර කාර්මික, කෘෂිකාර්මික සියලු අංශ ඇණ හිටියේ ය. අධිරාජ්‍යයින්ගේ පවුල්වලට ද රෝගය වැළඳී තිබුණෙන් රටවල් ද අරාජික විය. වෛද්‍යවරු කර කියාගත හැකි දෙයක් නොමැති ව අසරණ වූහ. කිසිදු ඖෂධයක් විෂබීජයට එරෙහි ව ප්‍රතික්‍රියා නොකළ හෙයින් ජනතාව සීතල වතුර ස්නානය, සාන්තුවරයන්ගේ ආශීර්වාද ලත් කුඩු භාවිතය, මැජික් සුර, මුදු සහ විවිධ විකාරරූපී ඖෂධ (ඇල්කලෝයිඩ්) ප්‍රතිකාර සඳහා යොමු වූහ. 

මෙම වසංගතයේ බලපෑම තවත් වසර 225 ක් පුරා මධ්‍යධරණී ලෝකය පුරා අඛණ්ඩ ව බල පැවැත්වුණු අතර ක්‍රි.ව. 750 දී පමණ එය හදිසියේ අතුරුදහන් විය. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.