Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජපන් උණ ජය ගත් රතු ප්‍රතිකර්මය.

ක්‍රි.ව. 735 – 737 කාලවල දී ජපානය ගිල ගත් උණ වසංගතය වසූරියෙහි දිගුවක් බවට විශ්වාස කෙරිණි. මෙයින් එම රාජ්‍යයේ ජනගහණයෙන් තුනෙන් එකක් මිය ගියහ. සියලු ම වසූරිය වසංගතවල උල්පත ජපානය බවට වර්තමානයේ දී විශ්වාස කෙරුණ ද රෝගය කොරියාව සමඟ සම්බන්ධ වී සිටි ජපන් ධීවරයින් පිරිසක් හරහා එරටට පැමිණි බවට සොයා ගැනිණි. වසංගතය පළමුවෙන් ම ගිල ගත්තේ “කියුෂු” දූපත යි. පසුව එය “ඩසයිෆු” සහ “ෆුකෝකා” නගර දක්වා පැතිරී ගියේ ය. රෝගය මෙලෙස ව්‍යාප්ත වෙමින් යන අතර, ඒ පිළිබඳ එතරම් දැනුවත් නොවූ රාජ්‍ය නිළධාරීන් පිරිසක් “කියුෂු” නගරයේ සංචාරයක යෙදුණාහ. දෙ වන දින වන විට ම ඔවුහු අසනීප වූහ. රටෙහි නොයෙක් ප්‍රදේශවල පදිංචිකරුවන් වූ ඔවුන් නැවත සිය ගම් රටවල් බලා ගිය අතර, එම පිරිස හරහා රට පුරා වසංගතය පැතිරිණි. නිවැරදි ප්‍රතිකාරයක් පිළිබඳ නොදැන සිටි ජපනුන්ට සිදු වූයේ මිය යාමට යි. ඔවුන්ගේ කෙත්වතු පාළු විය. මෙවෙලෙහි වැසියන්ගේ පිහිටට පැමිණියේ මිත්‍යා විශ්වාස යි. 

මුල් කාලයේ වසූරිය ජපන් ජනප්‍රවාදයේ මිථ්‍යා ආත්මයක් වන “ඔන්රියෝ” නම් යක්ෂයෙකුගෙන් පැමිණි බව විශ්වාස කෙරිණි. ජනතාවගෙන් පළිගැනීම සඳහා භෞතික ලෝකයට නැවත පැමිණීමට මෙම ආත්මයට හැකි වී තිබිණි. පළිගැනීමේ භූතයා සමඟ කටයුතු කිරීමට ජපන් වැසියෝ ඇතැම් සිරිත් විරිත් අනුගමනය කළහ. ඔන්රියෝ භූතයන් රතු පැහැයට මෙන්ම බල්ලන්ටද බිය වූ බවට විශ්වාස කෙරිණි. රතු ඇඳුමින් සැරසී හෝ සරල ව රතු පාටින් පින්තාරු කරන ලද බෝනික්කන් ප්‍රදර්ශනය කිරීමෙන් භූතයා පළවා හැරිය හැකි බව කියවිණි. ඔවුන් සංගීත භාණ්ඩයක් වන “සැන්ෂින්” භාණ්ඩය වාදනය කළ අතර රතු ඇඳුම් ඇඳගත් රෝගියෙකු ඉදිරියේ “සිංහ නැටුම්” ඉදිරිපත් කළහ. චාරිත්‍රය අතරතුර, යක්ෂයා සතුටු කිරීම සඳහා මල් පූජා කරන ලද අතර සුවඳ දුම් ද පුළුස්සා දමන ලදී. ඔන්රියෝ වෙනුවෙන් “රියුකා” ශෛලියෙන් කියවුණු කවි ද තිබුණි. යක්ෂයා සතුටු කිරීම හෝ මාරාන්තික ආසාදනයෙන් පෙළෙන රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම මෙම කාව්‍යයේ අරමුණ විය.

රතු පැහැය සම්බන්ධයෙන් මෙවැනි විශ්වාසයන් ඇති වීමට හේතු වූයේ අදාළ උණ රෝගය නිසාවෙන් සිරුර පුරා හට ගත් බිබිළි රතු පැහැයක් ගැනීම යැයි සිතිය හැකි ය. ජපන් වසූරිය රෝගයට ප්‍රතිකාර කිරීමෙන් වසර ගණනාවකට පසුව වුව ද වසූරිය රෝගයට එරෙහි ව රතු පැහැය කෙරෙහි මහජනතාවට තිබූ විශ්වාසය නැති වී ගියේ නැත. චර්ම රෝග විද්‍යාව සහ රතු ප්‍රතිකාරය පිළිබඳ ජපන් වෙද පොත් කිහිපයක් තිබේ. රතු ආලෝකය විසින් වසංගතයේ රෝග ලක්ෂණ දුර්වල කරන බව මෙම පොත්වල සඳහන් වේ.

සැබවින් ම රතු පැහැය අදාළ කොට ගෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ සංස්කෘතිය ආරම්භ වූයේ 12 වන සියවසේ යුරෝපයෙන් බව පෙනේ. ප්‍රථමයෙන් ප්‍රංශයේ පස්වන චාල්ස් රජුට කුඩා වසංගතයක් වැළඳී තිබුණු අතර ප්‍රතිකාර වශයෙන් ඔහුගේ හිස සිට පාදය දක්වා රතු පැහැ වස්ත්‍රයකින් වසා තැබිණි . පළමුවන එලිසබෙත් රැජින හට 1562 දී වසූරිය හා සමාන වසංගතයක් වැළඳුණු විට මෙම ප්‍රතිකාර ක්‍රමය දිගටම කරගෙන ගොස් තිබේ. ඇය රතු බ්ලැන්කට්ටුවකින් ඔතා ඇවිළෙන ගින්නක් අසල තබනු ලැබිණි. අනෙකුත් යුරෝපීය රජවරුන් ද මෙම ප්‍රතිකාරය භාවිතා කළ බවට වාර්තා වේ. භක්තියෙන් හා විශ්වාසයෙන් පිරි ජීවිතයක් ගත කිරීම රෝගයෙන් ආරක්ෂා වීමට මාර්ගයක් යැයි පිළි ගැනිණි. ජපානය, ප්‍රංශය සහ එංගලන්තයෙන් පිටත වුව ද, එම වර්ණය වසූරිය සමඟ සටන් කිරීමේ මෙවලමක් බවට පත් විය. චීනය, ඉන්දියාව, තුර්කිය සහ ජෝර්ජියාව යන රටවල් තුළ රතු පැහැ ගත් ආලෝක ධාරාවක් උපයෝගී කරගෙන ප්‍රතිකාර කිරීම සාමාන්‍ය සිරිතක් විය. බටහිර අප්‍රිකාවේ ජනතාව විශ්වාස කරන පරිදි “යොරුබා” නම් වූ දෙවියන් මෙම වසංගතයට හේතු වන අතර ඔහුට ද රතු වර්ණය සමඟ සම්බන්ධයක් තිබිණි. 

අවසානයේ දී, “නීල්ස් රයිබර්ග් ෆින්සන්” නම් වූ ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයෙකු විසින් රතු ප්‍රතිකාරයට සත්‍ය විද්‍යාත්මක පදනමක් ලබා දෙන ලදී. වසූරිය වැනි රෝග සඳහා රතු එළියෙන් ප්‍රතිකාර කිරීම මඟින් බරපතල කැළැල් ඇතිවීම අවම කර ගත හැකි බව ඔහු කියා සිටියේය. පසුව ඔහු මෙම “එරිත්රෝතෙරපි” නම් වූ ක්‍රමය පාලනය කිරීම සඳහා නීති රීති සකස් කළේය. මෙම ප්‍රතිකාර ක්‍රමය වෙනුවෙන් පුහුණුව ලබා දීම 1930 දශකය දක්වා ම පැවතුණු නමුත්, අවසානයේ දී වෙනත් වෛද්‍ය වෘත්තිකයන් විසින් එහි ඇති නිෂ්ඵල බව පිළිබඳ ප්‍රකාශයට පත් කරන ලදී. එහෙයින් බොහෝ උගත්හු මෙම රතු පැහැය සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමට වූහ. එහෙත් සාම්ප්‍රදායික වෛද්‍ය කර්ම විශ්වාස කරන බොහෝ මිනිසුන් එක්වර ම ඒවා බැහැර කිරීමට සූදානම් වූයේ නැත.

ශතවර්ෂ ගණනාවකට පෙර ආරම්භ වුව ද, මෙම සම්ප්‍රදායන් සමහරක් අදටත් පවතින බව පෙනේ. රෝග ඇති කරන යක්ෂයින් පළවා හැරීම සඳහා සාම්ප්‍රදායික නැටුම් වර්තමාන ජපානයේ දී ද දක්නට ලැබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author